ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන එංගලන්ත ක්‍රීඩකයා

370

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ක්‍රියාත්මක වන ඉන්දියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ නිමාවෙන් පසු ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනු ඇත.

එංගලන්තය ක්‍රිකට් ඉතිහාසයේ සිය භූමියෙන් පිට ලැබූ විශිෂ්ටතම ටෙස්ට් ජයග්‍රහණ දෙකකට පිත්තෙන් සිය දායකත්වය දැක්වූ ඇලෙස්ටයාර් කුක් පිටියට සමුදෙන්නේ එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටයෙකු ලෙසයි.

>> ඉන්දියාව නැවත එංගලන්තය හමුවේ දණ නමයි

2010/11 අළු බඳුන ශූරතාවලිය මෙන්ම 2012/13 ඉන්දියා තරගාවලි ජයග්‍රහණය ද කුක්ගේ නමට ලියැවුණි. කෙසේ වුවත් පසුගිය කාල සමයේ කුක් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසුණේ නැත. පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවට හා බටහිර ඉන්දීය කොදෙව් දේශයට එරෙහිව රැස්කළ ද්විත්ව ශතක හැරෙන්නට අනෙකුත් තරගවල දී ඔහුගේ සාමාන්‍ය දැක්වුණේ ලකුණු 35ටත් අඩුවෙන්ය. 2016 අවසන් භාගයේ ඔහු කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ අතර මේ වසරේ ඔහු රැස්කර ගත්තේ එක් අර්ධය ශතකයක් පමණි.

නායකයෙකු ලෙස අළු බඳුන කුසලානය දෙවරක් දිනා ඇති කුක් ක්‍රීඩකයෙකු ලෙස ද අළු බඳුන දෙවරක් දිනා ගෙන තිබේ

“සෑහෙන කල්පනා කිරීමෙන් පසු මම තීරණය කළා ඉන්දියාව සමඟ සංචාරයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන්න.” ඔහු අදහස් දක්වා තිබුණි. ”මෙය ඉතා දුක්බර දිනයක්, නමුත් මට ලොකු සිනවහක් මුවේ දරාගෙන සමුදෙන්න පුළුවන්, ඒ මා සතුව කිසි දෙයක් නැතිවෙන තුරු මම හැමදේම කණ්ඩායමට ලබා දුන් නිසයි.”

>> අළු ගසා දමා අවදි වූ ඉන්දියානුවන්ට දැවැන්ත ජයක්

කුක්ගේ පිතිකරණ වාර්තාව අනෙක් ක්‍රීඩකයින්ට පසුකර යෑමට ඉතා අපහසු වනු ඇත. ටෙස්ට් ලකුණු 12,254ක් රැස්කර ඇති ඔහු ටෙස්ට් ශතක 32ක්ද සිය පිත්තෙන් වාර්තා කර ඇත.

ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ඔහු අඛණ්ඩව සහභාගී වන 159 වන ටෙස්ට් තරගයයි. එය ආකෘති තුනේම ක්‍රීඩකයෙකු අඛණ්ඩව සහභාගී වූ වැඩිම තරග සංඛ්‍යාවයි.

“මට මම සිතුවාටත් වඩා දක්ෂතා පෙන්වන්න ලැබුණා, එතරම් තරග සංඛ්‍යාවක්, එංගලන්ත ක්‍රිකට් විශිෂ්ටයන් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක්, මගේ මිතුරන් සමඟ නැවත ක්‍රීඩාගාරයට යෑමට අවස්ථාව නොමැතිවීම තමයි මගේ තීරණයේ මට දරාගන්න අපහසුම ප්‍රතිඵලය, නමුත් මම දන්නවා මේ වේලාව තමයි හොඳම වේලාව.”

ඔහු තමන්ට ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය පවුලට ද ස්තුතිය කිරීමට අමතක කළේ නැහැ. ”මගේ සිහින පසුපස හඹා යමින් මම සහ මගේ පවුලේ අය විශිෂ්ට වසර 12ක් ගත කළා, ඔවුන් නොමැතිව මේ දෙය කරන්න බැරි වෙන්න තිබුණා, ඉතින් මම මගේ දෙමව්පියන්ට, සහෝදරයින්ට, මගේ බිරිඳ ඇලිස් හා ඇයගේ පවුලට ස්තුතිවන්ත වනවා.”

කුක් දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන අතර ඔහුගේ ප්‍රාන්තය වන එසෙක්ස් කණ්ඩායමට දිගටම ක්‍රීඩා කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.

“මම එසෙක්ස් කණ්ඩායමටත් ස්තුති කරන්න කැමතියි, ඔවුන් මට අවුරුදු 12 හේ සිටම උදව් කළා, මම එංගලන්ත කණ්ඩායමට සුබ ප්‍රාර්ථනා කරනවා, බොහොම උනන්දුවෙන් මම ඔබ දෙස බලා සිටිනවා”

ICC නිල වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<