පළමු දිනයේ ආධිපත්‍යය කොදෙව්වන්ට

465
Sri Lanka A vs West Indies A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද (11) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසික තත්ත්වයකින් යුතුව මෙම තරඟය සඳහා අවතීර්ණ විය.

පසුගිය ලිපි: රෝස පන්දුව වාර්තා සමඟින් සිංහයන්ට ජය ගෙන එයි

දෙවන සිව්දින තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සංචාරක කොදෙව් A කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව උදා කරගන්නා ලදි.

කෙදෙව් පළමු ඉණිම ආරම්භ කරමින් ප්‍රථමයෙන් පිටියට පිවිසි ආරම්භක ක්‍රීඩකයින් වන රජේන්ද්‍ර චන්ද්‍රික හා කිරෙන් පවෙල් පළමු කඩුල්ල සඳහා ලකුණු 52ක සබඳතාවයක් ගොඩනංවමින් කොදෙව් A ඉණිමට සවිමත් අඩිතාලමක් දමන ලදි. එම සබඳතාවය අවසන් කරමින් පළමු කඩුල්ල ලෙස 4 පහරවල් 6ක් සමඟින් කිරෙන් පවෙල් ලකුණු 29කට දැවීයන ලදි.

එම සාර්ථක ආරම්භක සබදතාවය සමඟින් දෙවන කඩුල්ල සඳහා ද ලකුණු 68ක සබඳතාවයක් ගොඩනැංවීමට ශිම්රන් හෙට්මයර්, රජේන්ද්‍ර චන්ද්‍රික හා නායක ශම්රා බෘක්ස් සමත් වූ අතර, එම සබඳතාව තිදෙනෙකු අතර බෙදී ගියේ, රජේන්ද්‍ර චන්ද්‍රික 4 පහරවල් 6ක් සමඟ ලකුණු 51*ක් ලබාගෙන දක්ෂ ඉණිමක් දියත් කරමින් සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීම නිසාවෙනි.

ශම්රන් හෙට්මයර් 4 පහරවල් 6ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 48කට දැවීයන විට, ලකුණු 140කට කඩුලු 3ක් ලෙස ප්‍රබල තැනක කොදෙව් ලකුණු පුවරුව සටහන්ව තිබිණි. එසේ තිබියදී සිව්වන කඩුල්ල සඳහා ද දක්ෂ හා මනරම් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 188ක දැවැන්ත සබඳතාවයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දියත් කිරීමට විශාල් සිං හා කඩුලු රකින ක්‍රීඩක ජමාර් හැමිල්ටන් සමත් විය. එම විශිෂ්ට හා වේගවත් සබඳතාවයට අවාසනාවන්ත ලෙස අවසන් කිරීමට ජමාර් හැමිල්ටන්ට සිදුවූ අතර, ඔහු ලකුණු 99ක් ලබාගෙන ශතකයකට අතපොවන මානයේදී, දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ලහිරු කුමාර සමත් විය. ඔහුගේ ඉණිමට 4 පහරවල් 15ක් අන්තර්ගත විය.

කෙසේ වෙතත් දෙවන සිව්දින තරගයේ පළමු දිනය අවසන් වීමට තවත් එක් පන්දුවාරයක් පමණක් ඉතිරිව තිබියදී පන්දුව අතට ගත් ශ්‍රී ලංකා A නායක දිමුත් කරුණාරත්න තමා යවන ලද ප්‍රථම පන්දුවාරයේ සිව්වන පන්දුවේදී, රහකීම් කෝන්වෙල්ව කඩුල්ල මුවා කිරීමකට හසුකර එක් ලකුණකට දවාගනිමින් පළමු දිනය සඳහා නිමාව සනිටුහන් කරන ලදි. ඒ වන විට කඩුල්ල තුල රැදී සිටි විශාල් සිං 4 පහර 9ක් සමඟින් ලකුණු 81*ක් නොදැවී ලබාගෙන ඇත.

මෙම තරගයේ දෙවන දිනය හෙට (12) ද ක්‍රියාත්මක වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් A පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 331/05 (89.4): ජමාර් හැමිල්ටන් 99, විශාල් සිං 81*, රජේන්ද්‍ර චන්ද්‍රික 51*, ශිම්රන් හෙට්මයර් 48, දිමුත් කරුණාරත්න 1/0, චරිත් අසලංක 1/74,

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට