ශ්‍රී ලංකාවේ ලෝකඩ සිහිනය භූතානය හමුවේ බිඳ වැටේ

132

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි වූ සිව්වැනි තරගය අද (07) භූතානය සමඟින් පැවති අතර එම තරගයේ දී ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට භූතාන කණ්ඩායම සමත් විය. තරගය නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්විය. 

SAG – ශ්‍රී ලංකා – මාලදිවයින් තරගය ජය පරාජයෙන් තොරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු…..

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මෙම තරගයට පෙර ක්‍රීඩා කළ තරග දෙකක් ජය පරාජයකින් තොරව අවසන් කළ අතර එක් තරගයක් පරාජය විය. ලෝකඩ පදක්කම් බලාපොරොත්තු සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වී තිබුණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ආරම්භයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර මුල් මිනිත්තු කීපය තුල දී ම ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වූයේ මොහොමඩ් ෆසාල් යොමුකළ පා පහරක් මඟිනි. එහි දී මොහොමඩ් ආකීබ්ට පහසුවෙන් ලබා ගැනීමට තිබූ ගෝලය මඟහැරී ගියේය. 

භූතාන කණ්ඩායම ද ශ්‍රී ලංකාව වෙත ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර සුජාන් පෙරේරාගේ දක්ෂ ගෝල රැකීම නිසා භූතාන ලකුණු පුවරුව ක්‍රියාත්මක වීම තරමක් කල් දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

19 වැනි මිනිත්තුවේ දී භූතාන ක්‍රීඩක චිමි දෝර්ජිගේ පහරක් සාර්ථක ගෝලයක් බවට පත්වූ අතර භූතාන ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ එම අවස්ථාවේ දී ය. 

භූතාන කණ්ඩායමට ගෝල ලබා ගැනීමට අවස්ථා කීපයක් ලැබුණ ද එම අවස්ථාවන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ගෝල රකින්නා වන සුජාන් පෙරේරා සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය සමකිරීමට 34 වැනි මිනිත්තුවේ දී අවස්ථාව උදා වූ අතර එම අවස්ථාව සාර්ථක කර ගැනීමට චමෝද් ඩිල්ශාන් හට නොහැකි වූයේ භූතාන ආරක්ෂක ක්‍රීඩකයන් නිසාවෙනි. ශ්‍රී ලංකාවට ගෝලයක් ලබා ගැනීමට තිබූ තවත් අවස්ථාවක් මඟහැරී ගියේ භූතාන ගෝල රකින්නා විසින් පන්දුව පිටතට යොමුකිරීම නිසාවෙනි. 

 පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 01 භූතානය

දෙවන අර්ධය ආරම්භයේ දී ම භූතාන කණ්ඩායමට ගෝල ලබා ගැනීම සඳහා අවස්ථාව උදා වූ අතර එය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. 

60 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ෆසාල් හට ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුවද එය සාර්ථක වූයේ නැත. 

තරගයේ දී ජූඩ් සුමන් විසින් කරන ලද වැළැක්වීමක් නිසාවෙන් ගෝල සීමාව ආසන්නයේ දී දඬුවම් පහරක් භූතානයට හිමි වූ අතර ඩාවා ට්ශෙරින් එම දඬුවම් පහර සාර්ථක කරගනිමින් භූතාන ලකුණු පුවරුව ගෝල 2ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. 

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජය වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි…..

ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා තවත් භූතාන ගෝල ලබා ගැනීමේ අවස්ථාවන් කීපයක් සාර්ථකව ව්‍යර්ථ කළ අතර 80 වැනි මිනිත්තුවේ දී භූතානය එල්ල කළ ප්‍රබල ආක්‍රමණය හමුවේ ඔහුට තුන්වැනි ගෝලය වැළැක්වීමට නොහැකි විය. භූතානය වෙනුවෙන් තුන්වැනි ගෝලය යෙශේ ඩෝර්ජි විසින් වාර්තා කළේය. 

තරගය අවසන් වීමට පෙර ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථා කීපයක් උදාවූවද එම අවස්ථාවන් සියල්ල භූතාන පසුපෙළ හමුවේ ව්‍යර්ථ විය. තරගය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ගෝල 3-0ක පරාජයක් හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 00 – 03 භූතානය 

ගෝල ලබා ගැනීම

භූතානය: චිමී දෝර්ජි 19′, ඩාවා ට්ශෙරින් 69′, යෙශේ දෝර්ජි 80′

මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමි විය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<