​වාර්තා තියාගෙන ගෙදර ඉන්න වුන ජයග්‍රාහකයන්

204

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පසුගිය දා අවසන් වූ අතර ජාතික වාර්තා 3ක්, නව තරග වාර්තා 6ක් සහ වාර්තා සම කිරීමකින් මෙම තරගාවලිය වර්ණවත් විය. 

තරගාවලියක් අවසානයේ ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල “සතුට” සාමාන්‍ය දෙයක් වූවත්, තරගකරුවන් කිහිප දෙනෙකුට නම් එය එසේ නොවීය. ඉසව් කිහිපයක් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීම තරගකරුවන්ගේ කනස්සල්ලට හේතුවක් විය. 

විදූෂා ජාතික වාර්තාව බිඳී; ප්‍රථම වරට ශර්මිලා 200යෙන් රන් දිනයි

එළඹෙන දෙසැම්බරයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට…

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය තුල දක්වන දක්ෂතාවය මත මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් බලාපොරොත්තුව වූයේ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමයි.

මෙම තීරණය නිසාවෙන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අහිමි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන්නේ මීටර 3000 බාධක දිවීමේ කාන්තා  ඉසව්ව නියෝජනය කරන නිලානි රත්නායක, මීටර 3000 බාධක දිවීමේ පිරිමි ඉසව්ව නියෝජනය කරන ආර්. එම්. එස්. පුෂ්පකුමාර, රිටි පැනීම ඉසව්ව නියෝජනය කරන ඉෂාර සඳරුවන් ඇතුළු තරගකරුවන් කිහිප දෙනෙක්ය.

මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය තුලින් තරග ඉසව් 6ක් ඉවත් කර ඇත. ඒ මීටර 3000 බාධක, රිටි පැනීම, මිටිය විසිකිරීම ඉසව්වන්ය (කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම). මෙලෙස තමන්ට රට වෙනුවෙන් පදක්කමක් දිනා දිය හැකි ඉසව් ඉවත් කිරීම ක්‍රීඩකයන් තුල මෙන්ම පුහුණුකරුවන් තුල ද දැඩි කනස්සල්ලක් විය. 

වසර 13ක් ශ්‍රී ලංකාවේ දිගු දුර ධාවනය තුල තම අණසක පතුරවා ගෙන සිටින ආර්. එම්. එස්. පුෂ්පකුමාර මීටර 5000 ඉසව්ව සහ මීටර 3000 බාධක දිවීම යන ඉසව් දෙකම එකම දින නියෝජනය කරමින් එම ඉසව් දෙකේම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. එම ජයග්‍රහණයෙන් පසුව ඔහු ThePapare.com වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට අසාධාරණයක් වූ බවය.

100, 200 රජ කළ අඹේපිටිය ධාවන පථයට සමුදෙයි!

ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටිදුර ධාවන පථයේ සුපිරි දස්කම් දැක්වූ ශෙහාන් අඹේපිටිය අද (17) 97 වැනි…

“අද මට අසාධාරණයක් වුනා, එකම දවසේ මට ඉසව් දෙකක් නියෝජනය කරන්න සිද්ධ වුනා. නමුත් මම ඒ අභියෝගය බාරගෙන ඒ දෙකෙන්ම පළමු ස්ථානය ලබා ගත්ත, මම 3000 බාධක ඉසව්ව නියෝජනය කළාට පස්සේ තමයි මට කිව්වේ එම ඉසව්ව නෑ කියල. 3000 බාධක දිවීම ඉසව්ව තිබුණ නම් මම 5000 දුවන්නේ නෑ, තව ක්‍රීඩකයෙක්ට තැන දෙනවා. නමුත් මෙහෙම වෙද්දී මට ඒ දේ කරන්න බෑ මම අවුරුදු 15ක් තිස්සේ ක්‍රීඩාවට වියදම් කරගෙන, මගේ අම්ම තාත්තා හැමෝම බලන් ඉන්නවා.” 

රිටි පැනීම ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද පිහිටුවීමට සමත් වූ ඉෂාර සඳරුවන් ක්‍රීඩකයාට ද මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අහිමි වූ අතර දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ රිටි පැනීම තරග වාර්තාව ද මොහු සතු වීම විශේෂත්වයකි. ඉෂාර ජයග්‍රහණයෙන් පසු ThePapare.com වෙත මෙලෙස අදහස් දක්වන ලදි.

“අද ජයග්‍රහණය කරන්න ලැබීම ගැන සහ නව තරග වාර්තාවක් තැබීම පිළිබඳව ලොකු සතුටක් තියනවා, නමුත් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීමට නොලැබීම ගැන දුකයි. දකුණු ආසියානු තරගාවලියේ වාර්තාව තියන්නෙත් මා සතුව නමුත් මේ වසරේ එම ඉසව්ව ඉවත් කරල තියනවා. ඔක්තෝබර් මාසයේ පැවැත්වෙනවා චීනයේ දී “military games” එකට පුහුණුවීම් කරනවා”

මීටර 3000 බාධක දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් නිලානි රත්නායකට ද මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මග හැරෙනු ඇත. දෝහා කටාර් හිදී පැවැත්වුන 23න් වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ද ඉතාමත් ඉහල දක්ෂතා දැක්වීමට ඇය සමත් වූ අතර මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇයගේ දක්ෂතාවයන් දැක බලා ගන්නට නොහැකි වනු ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වරම් අහිමි වූ ජයග්‍රාහකයන් 

  1. ආර්. එම්. එස්. පුෂ්පකුමාර – මීටර 3000 බාධක දිවීම පිරිමි 
  2. නිලානි රත්නායක – මීටර 3000 බාධක දිවීම කාන්තා 
  3. ඉෂාර සඳරුවන් – රිටි පැනීම පිරිමි 
  4. එස්. කේ. පෙරේරා – රිටි පැනීම කාන්තා 
  5. සිසිර කුමාර – මිටිය විසිකිරීම පිරිමි 
  6. එස්. එන්. රත්නසිරි – මිටිය විසිකිරීම කාන්තා 

මෙම තරග ඉසව් මෙවර දකුණු  ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයෙන් ඉවත් කිරීමට හේතුව ලෙස පවසන්නේ තරගාවලිය සඳහා සහභාගී වන රටවල්වලින් ඒ ඒ ඉසව් සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය අඩු වීමයි. කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ පදක්කම් බලාපොරොත්තු කිහිපයකම අහිමි වීමකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<