13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය අද (08) නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් මල්ලට තවත් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 11ක් එක් කරමින්. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුළු පදක්කම් 201ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී මෙතෙක් දිනා ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා විය. මීට පෙර 2016 වසරේ දී පදක්කම් 186ක් හා 2006 වසරේ දී 178ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  

පදක්කම් 150 පසුකරමින් දකුණු ආසියාවේ මලල ක්‍රීඩා අණසක ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය ලෙස අද (07) නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට…

තරගාවලියේ හයවැනි දිනය ලෙස ඊයේ දිනය නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 31ක්, රිදී පදක්කම් 58ක් හා ලෝකඩ පදක්කම් 83ක් සමඟින් සමස්ත පදක්කම් 172ක් දිනා ගනිමිනි. 

ඔවුන් පදක්කම් සටහනේ තවමත් තුන්වැනි ස්ථානයේ රැඳී සිටි අතර ඉන්දියාව ‍රන් පදක්කම් 110ක්, රිදී පදක්කම් 69ක් හා ලෝකඩ පදක්කම් 35ක් සමඟින් පෙරමුණ ගෙන තිබුණි. දෙවන ස්ථානය ලබාගෙන සිටින නේපාලය රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 34ක් හා ලෝකඩ පදක්කම් 65ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණි. 

අද දිනයේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක්වූ රන් පදක්කම් ද්විත්වයම හිමි වූයේ බීච් වොලිබෝල් ක්‍රීඩාවෙන් වීම විශේෂත්වයකි. එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් ද්විත්වයම හා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් ද්විත්වයම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඒ අනුව එම තරග ඉසව්වේ රන් හා රිදී පදක්කම් සියල්ල හිමි වූයේ ශ්‍රී ලංකාවටයි. එම තරගවල සම්පූර්ණ විස්තර සඳහා පහත Link එක Click කරන්න. 

SAG බීච් වොලිබෝල් කාන්තා පිරිමි රන් රිදී සියල්ල ශ්‍රී ලංකාවට

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් අවසන් මහා තරග අද (8) නේපාලයේ දී පැවැත්වුණා…

තරගාවලියේ පිහිනුම් තරග කීපයක් ද අද පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ජයග්‍රහණය නොකළත් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. 

කාන්තා මීටර් 4*200 සහය පිහිනුම් තරගයේ රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු වූ අතර පිරිමි මීටර් 4*200 සහය පිහිනුම් තරගයේ රිදී පදක්කම ද ශ්‍රී ලංකාව සතු විය. මේ අතර ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් ද්විත්වයම හිමිකර දීමට පිරිමි මීටර් 50 පසුපස ආර තරග ඉසව්ව සඳහා සහභාගි වූ අකලංක පීරිස් හා ශෙවින්ද ද සිල්වා සමත් විය. එහිදී අකලංක පීරිස් විසින් නව ජාතික වාර්තාවක් ද පිහිටු වීමට සමත් විය. තරගාවලියේ අද පැවති පිහිනුම් තරග පිළිබඳව සියලු තොරතුරු පහත Link එක Click කරන්න. 

තවත් වාර්තාවක් බිඳ වැටේ; පිහිනුම්වලින් නව පදක්කම් 6ක්

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ…

ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි වූ කඩු සටන් තරග ඉසව් කීපයක් අද පැවති අතර එහි දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට හැකි විය. Sabre හා Epee යන ඉසව් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් එහි ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළ අතර Foil තරග ඉසව්ව සඳහා සහභාගි වූ කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා අත්පන්දු කණ්ඩායම අද තුන්වැනි ස්ථානය සඳහා බංග්ලාදේශය සමඟින් තරග වැදුණු අතර එම තරගය ලකුණු 26-23ක් ලෙස ජයග්‍රහණය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

මේ අතර ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල තරග ඉසව්ව නියෝජනය කළ අනිකා සෙනවිරත්න එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම ද අද දිනයේ තවත් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒ පිරිමි re curve තරග ඉසව්වේ දී ය. එම කණ්ඩායම සඳහා සංජීව් ද සිල්වා, සඳුන් හේරත් හා රේවියන් දල්පදාදු එක්ව සිටියහ. 

දකුණු ආසියානු කබඩි ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අද පැවති අර්ධ අවසන් තරගයේ දී බංග්ලාදේශය ලකුණු 35-20ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඔවුන් හෙට තම අවසන් තරගය සඳහා සහභාගි වීමට නියමිතය. 

අද පැවති කිලෝග්‍රෑම් 109 බර පන්තියේ බර ඉසිලීමේ තරග ඉසව්ව නියෝජනය කළ උශාන් චාරුක එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම අද රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී රන් පදක්කම පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කළ චාමර ධර්මවර්ධන විසින් ජයග්‍රහණය කළ අතර කිලෝග්‍රෑම් 60 බර පන්තියේ රිදී පදක්කම බුද්ධික ප්‍රේමරත්න විසින් ජයග්‍රහණය කළේය. 

කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට එම්. පී. සී. දිලානි සමත් වූ අතර කාන්තා කිලෝග්‍රෑම් 52 බර පන්තිය සඳහා ක්‍රීඩා කළ ශලනි හතුරුසිංහ එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. කිලෝග්‍රෑම් 63 කාන්තා ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාව සතු වූ අතර එය හෆ්සරා යමීනා විසින් දිනා ගත්තාය. 

අද පැවති මල්ලවපොර තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය. රන් පදක්කම් දෙක හිමි වූයේ කාන්තා කිලෝග්‍රෑම් 72 බර පන්තිය නියෝජනය කළ අයෝමි සෙනවිරත්නට හා කිලෝග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කළ දිල්හානි වීරබාහු හටය. 

රිදී පදක්කම් ද්විත්වය ජයග්‍රහණය කිරීම සඳහා කාන්තා කිලෝග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කළ ප්‍රියංගා කුමාරි හා පිරිමි කිලෝග්‍රෑම් 92 නියෝජනය කළ නිශාන් වල්පිට සමත් විය. ලෝකඩ පදක්කම හිමි වූයේ පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තිය නියෝජනය කළ උදාර ප්‍රනාන්දු හටය. 

තරගාවලියේ හත්වැනි දිනය ලෙස අද දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 36ක්, රිදී පදක්කම් 73ක් හා ලෝකඩ පදක්කම් 96ක් සමඟින් මුළු පදක්කම් 205ක් දිනා ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව තවමත් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.

තරගාවලියේ 07 වැනි දිනය ලෙස හෙට (08) දිනයේ දී ද තරග ඉසව් කීපයක් පැවැත්වීමට නියමිත අතර එම තරග ඉසව් පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<