“කිසිම ක්‍රීඩකයෙකුට අසාධාරණයක් නැහැ” – පාසල් මලල ක්‍රීඩා ලේකම්

168
Young Athletes to be presented with certificates of achievement at the Junior Tarbet

සුවහසක් දැයේ දූ දරුවන්ගේ මලල ක්‍රීඩා දිවියේ ප්‍රාරම්භක තරගාවලිය ලෙස සැලකෙන “ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය” අතිසාර්ථකව 87 වැනි වරටත් පැවැත්වීමට නියමිතයි. පාසල් මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්ෂණයෙන් සහ 6 වැනි වරටත් සිලෝන් බිස්කට්ස් සමාගමේ අනුග්‍රාහකත්වය සමඟින් පැවැත්වෙන්නේ රිට්ස්බරි චොකලට් සන්නාමය යටතේයි.

සුපුරුදු පරිදි මෙවරත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර මේ වන විටත් එහි කනිෂ්ඨ තරග ආරම්භ වී අවසන්ය.

කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට පස් දෙනෙක්

කොරියාවේ ඉන්චියොන් නුවර දී පැවැත්වෙන කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා..

පසුගිය වසරේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී කනිෂ්ඨ තරගාවලිය සාර්ථකව පැවති අතර ඒ සඳහා සහභාගී වූ අධික පාසල් තරගකරුවන් ප්‍රමාණය සලකා බලා මෙවර කනිෂ්ඨ තරගාවලියේ පළමු අදියර කාණ්ඩ තුනක් යටතේ කලාප තුනක දී පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

එහි දී උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් පළමු කාණ්ඩයේ තරගාවලිය ජුනි මස 16 සහ 17 යන දිනයන්වල දී පොළොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩා පිටියේ දී සාර්ථක පැවැත්විය. ඒ සඳහා 1700කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූ බව පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ටී. බී. වෙදගෙදර මහතා සඳහන් කළේය.

එහි දෙවැනි කාණ්ඩයේ තරග දකුණ සහ බස්නාහිර පළාත්වල ක්‍රීඩක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ජුනි 30 සහ ජුලි 01 වැනි දා හංවැල්ල රාජකීය විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන තෙවැනි සහ අවසන් කාණ්ඩයේ තරග අගෝස්තු මස 05 සහ 06 යන දිනයන්වල දී නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

එක් එක් කාණ්ඩයන්වලින් තේරී පත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනිෂ්ඨ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉදිරිපත් කරන අතර තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් මස 23 සිට 25 දක්වා මහනුවර බෝගම්බර පිටියේ දී පැවැත්වෙනු ඇත.

වෙදගෙදර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පසවා සිටියේ,

“දෙවැනි කාණ්ඩයේ තරග සඳහා 2500කට අධික බාලක පිරිසක් සහ 1500කට අධික බාලිකාවන් පිරිසක් මේ වන විටත් අයැදුම් පත් බාර දී අවසන්. කෙසේ නමුත් දෙවැනි කාණ්ඩය සඳහා අයදුම්පත් තවමත් ලැබෙන අතර අපේක්ෂා කරන පරිදි 4000 අධික පිරිසක් දෙවැනි කාණ්ඩයේ තරග සඳහා සහභාගී වෙතැයි අපි අපේක්ෂා කරනවා.”

“මෙවර තරගාවලියේ අපි සහතිකයක් නිකුත් කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා මේ මේ ක්‍රීඩකයා මේ මේ පරිසාධන මට්ටම් ඉක්මවා ගිහින් තියෙනවා කියලා සහ අනාගතයේ දී මීට වඩා දස්කමක් ප්‍රකට කරාවි කියලා. ඒ හරහා ඇත්තටම ඒ ක්‍රීඩකයෝ තවදුරටත් මලල ක්‍රීඩාව සඳහා උනන්දු වෙයි කියලා අපි විශ්වාස කරනවා.” ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

අද (27) පැවති මාධ්‍ය හමුවට සිලෝන් බිස්කට් සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි එම ආයතනයේ අලෙවි කළමනාකරු නිලුපුල් ද සිල්වා මහතා සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ වසර 87ක ඉතිහාසයකට හිමිකම් කියන මෙම තරගාවලිය සඳහා සිය ආයතනයට අනුග්‍රාහකත්වය සැපයීමට ලැබීම ඉතාමත් සතුටට කරුණක් බවයි.

“ඇත්තටම මමත් පොඩි කාලේ මේ තරගාවලියට සහාභාගී වෙලා තියෙනවා. නමුත් පදක්කම් ජයග්‍රහණය කරලා නම් නැහැ (සිනාසෙමින්). ඉතින් ඒ කාලෙත් එක්ක සංසන්දනය කරලා බලද්දී ඉතාමත් හොඳ ප්‍රගතියක් තරගාවලියේ දක්නට ලැබෙනවා. ඒ වගේමයි අප ආයතනයේ අනුග්‍රාහකත්වයත් සමඟින් අවුරුද්දෙන් අවුරුද්ද තරගාවලිය තවත් සාර්ථක ඉදිරියට ඇදෙනවා. ඉතිං මම පොරොන්දු වෙනවා ඉස්සරහටත් මෙම තරගාවලිය සඳහා අප ආයතනය ඇපකැප වෙනවා කියලා.” සිය කතාව අවසන් කරමින් ඔහු පැවසීය.

කනිෂ්ඨ තරගාවලියේ කාණ්ඩ තරග පැවැත්වීමේ දී, පළාත් තීරණය කරන විට ක්‍රීඩකයින්ට අසාධාරණයක් සිදු වේ දැයි මාධ්‍යවේදියෙකු නැගු ගැටලුවකට පිළිතුරු දෙමින් ලේකම් වෙදගෙදර මහතා ප්‍රකාශ කර සිටියේ එක් එක් පළාත්වලින් සහභාගී වන ක්‍රීඩකයින් ප්‍රමාණය පදනම් කර ගනිමින් එක් එක් කාණ්ඩ සඳහා පළාත් තීරණය කර බවයි.

“දෙවැනි අදියරේ දී බස්නාහිරින් සහ දකුණින් ක්‍රීඩකයෝ 4000ක් පමණ සහභාගී වෙනවා. ඉතිං අනෙක් කාණ්ඩ තරගවලදීත් එවැනිම ප්‍රමාණයක් සහභාගී වුනා. කොහොමවුනත් තරගාවලියේ වෙන වෙනම පරිසාධන මට්ටම් තිබෙනවා. එම පරිසාධන මට්ටම් ඉක්මවා යන ක්‍රීඩකයින් අවසන් තරගය සඳහා තෝරා ගනු ලබනවා. ඉතිං එහෙම බැලුවම අවම වශයෙන් එක් ඉසව්වකට ක්‍රීඩකයෝ 64ක් සහභාගී කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. කොයිම මොහොතකවත් ක්‍රීඩකයින්ට අසාධාරණයක් සිදුවන්නේ නැහැ.” වෙදගෙදර මහතා ප්‍රකාශ කළේය.

මෙහි ජ්‍යෙෂ්ඨ තරගාවලිය සඳහා දිවයින පුරා පිහිටි පාසල් 200කින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් මෙවර සහභාගී වන්නේ ඉතිහාසයේ වැඩිම සහභාගීත්වයක් වාර්තා කරමිනි. ජ්‍යෙෂ්ඨ තරගාවලිය ජුලි මස 04 සිට 06 වැනි දා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තරග 12. 13, 14 සහ 15න් පහළ වයස් සීමාවන් යටතේ ද, ජ්‍යෙෂ්ඨ අංශයේ තරග 16, 18 සහ 20න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<