වෙස්ලි නිල් අකුණු සැරය ඉසිපතනය දවා අළු කරයි

961
Isipathana vs Wesley

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (8) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ  ප්‍රබල ඉසිපතන විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතරයි. ඉසිපතනයට නොසිතූ ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 29-18ක් ලෙස තරගය ජය ගත්තේ වෙස්ලි විද්‍යාලයයි.

තියුණු පරතරයකින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට ජය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් අන්තර් පාසල්…

පසුගිය වසර තුනේ දී ම වෙස්ලි විද්‍යාලය ඉසිපතන විද්‍යාලය පරාජය කර නොතිබූ නිසාම වෙස්ලි ක්‍රීඩකයින් අද තරගයට පිවිසුණේ දැඩි අධිෂ්ඨානයෙන්.

ඉසිපතන ක්‍රීඩක චමත් කල්හාරගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ සිටම වෙස්ලි කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් විය.

රමිත හිමාෂ් සිල්වා අලංකාර ධාවනයක යෙදෙමින් තරගයේ තුන්වැනි මිනිත්තුවේ දී පළමු වරට ලකුණු රැස් කළේ වෙස්ලි කණ්ඩායම අන්දමන්ද කරමින්. ඉසිපතන පසුපෙළේ අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුව එම උත්සාහක දිනුම වාර්තා වූ අතර මනිල්ක රුබේරු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (ඉසිපතන 05-00 වෙස්ලි)

8 වැනි මිනිත්තුවේ දී වෙස්ලි ක්‍රීඩක කවින්දන පෙරේරා ධවල රේඛාව ඉක්මවා ගියේ නායක මුර්ශිඩ් සුබෙයිර්ගේ අනර්ඝ දිගු පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමින්. කෙසේ වෙතත් පිටිය කොණේ වාර්තා වුණු එම උත්සාහක දිනුම පිටියේ විනිසුරු TMO වෙත යොමු කළ අතර වීඩියෝ දර්ශනවලින් TMO විනිසුරු එම අවස්ථාව උත්සාහක දිනුමක් බව ස්ථිර කරන ලදි. මුර්ශිඩ් සුබෙයිර් අපහසු ස්ථානයක සිට අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (ඉසිපතන 05-07 වෙස්ලි)

කණ්ඩායම් දෙකේම පසුපෙළ ක්‍රීඩකයින් ඉතා වේගවත් වුණු අතර ඒ නිසාම තරගයේ උණුසුම මිනිත්තුවෙන් මිනිත්තුව ඉහළ ගියේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

20 වැනි මිනිත්තුවේ දී කවින්දන පෙරේරා වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය අර්ධයේ සිට ධවල රේඛාව කරා අනර්ඝ ධාවනයක යෙදෙමින්. වෙස්ලි පසුපෙළ නැවත වතාවක් අලංකාර ලෙස පිටිය කොනට පන්දුව යොමු කර සිය Wing ක්‍රීඩකයාට අවස්ථාව ලබා දී සාර්ථක වෙද්දී මුර්ශිඩ් සුබෙයිර් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (ඉසිපතන 05-12 වෙස්ලි)

ඊට මිනිත්තු දෙකකට පසු නිදා සිට ඉසිපතන ආරක්ෂක ක්‍රීඩකයින් අතරින් රිංගා යන්නට මුර්ශිඩ් සුබෙයිර් සමත් වූ අතර මෙවරත් පන්දුව සියතට ගත් කවින්දන සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සාර්ථක කරගනිමින් නැවතුණේ ගෝල කණු පාමුලයි. සුබයිර් පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් විය. (ඉසිපතන 05-19 වෙස්ලි)

ඉසිපතන පසුපෙළ 30 වැනි මිනිත්තුවට ආසන්නයේ උත්සාහක දිනුමක් කරා  ප්‍රබල ආක්‍රමණයක නිරත වූ අතර මිනිත්තු පහක පමණ උත්සාහ කිරීමෙන් පසුව 35 වැනි මිනිත්තුවේ දී වාර්තා වුණු දඬුවම් පහරකින් සෑහීමට පත් වන්නට ඉසිපතනයට සිදු විය.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 08 (1T, 1P) – 19 (3T, 2C) වෙස්ලි විද්‍යාලය

වෙස්ලි කණ්ඩායමේ නැවත තරග ආරම්භය සාර්ථක නොවූ අතර පළමු තත්පරයේ සිටම ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු කරා ආක්‍රමණයේ යෙදෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් නැවත වතාවක් ක්‍රියාත්මක වුණු වෙස්ලි පසුපෙළ ඉසිපතන ආරක්ෂක ක්‍රීඩකයින් මුලා කළේ අලංකාර පන්දු යොමු කිරීම් කිහිපයකින් පසු ලකුණු රැස් කරමින්. අවිශ්ක ගම්මන්පිල සැමුවෙල් ඔග්බෙබෝර්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් ග්‍රහණය කර ගෙන එම උත්සාහක දිනුම වාර්තා කළ අතර සුබෙයිර‍ෙගේ අමතර ලකුණු කිරීමේ උත්සාහය සාර්ථක වූයේ නැත. (ඉසිපතන 08 – 24 වෙස්ලි)

සෑහෙන වෙලාවක් නිද්‍රාවේ සිටීමෙන් පසු 43 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන පසුපෙළ නදීන් බාසික්ගේ සුරතින් ලකුණු රැස් කිරීමට සමත් විය. මනිල්ක රුබේරුගේ අමතර ලකුණු එකතු කිරීමේ උත්සාහය ව්‍යර්ථ කරන්නට වෙස්ලි ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයා සමත් විය. (ඉසිපතන 13-24 වෙස්ලි)

ලකුණු ලබා ගැනීමේ අවස්ථා සියල්ලෙන්ම උපරිම ප්‍රයෝජන ගත් වෙස්ලි ක්‍රීඩකයෝ 51 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට උත්සහ කළත් එම අවස්ථාව සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් උපක්‍රමශීලී ලෙස ක්‍රීඩා කළ සුබෙයිර් මිනිත්තුවක් පමණ කාලය කා දැමුවේ විනිසුරුගේ ඔරලෝසුවත් සමඟ ක්‍රීඩා කරමින්.

අවසන් මොහොතේ වික්‍රමයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය 2019…

ඉසිපතන ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල වී තිබුණු අතර ඔවුන්ගේ සැලසුම් කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම ඉසිපතනයට ප්‍රබල අවාසියක් විය.

Line Out අවස්ථාවක සිය පන්දුව ලබා ගත් ඉසිපතන ක්‍රීඩක කවින්දන පෙරේරා සුපිරි ධාවනයක යෙදෙමින් පිටිය කොණෙන් සිව්වැනි උත්සාහක දිනුමත් වාර්තා කළේ 55 වන මිනිත්තුවේ දී. සුබයිර්ගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ඉසිපතන 13-29 වෙස්ලි)

60 වැනි මිනිත්තුවේ දී වෙස්ලි ක්‍රීඩක වැල්පිටගේ ඉසිපතන ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් මුලා කර දමමින් අලංකාර ධාවනයක යෙදුනත් ඔහුට ලකුණු රැස් කරන්නට ඉසිපතන ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

කෙසේ වෙතත් අවසන් මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු මනිල්ක රුබේරු පන්දුව රැකගෙන තනිවම දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේ ඉසිපතනයේ ගෞරවය රැක ගනිමින්. පරාජිත ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ අරමුණින් ඔවුන් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ලබා ගත්තේ නැත.

ප්‍රසාද ලකුණ සඳහා ඉසිපතන ක්‍රීඩකයින් ප්‍රබල සටනක නිරත වූ අතර ඔවුන්ගේ ප්‍රබල උත්සාහය නිසාම වෙස්ලි ක්‍රීඩකයින් අතිශය කලබල විය. එම නිසාම වෙස්ලි ක්‍රීඩකයින් තිදෙනෙක් කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත් වුණු අතර ඉසිපතනය තරගය 75 වැනි මිනිත්තුව කරාම රැගෙන යන්නට සමත් විය.

කෙසේ වෙතත් ඉසිපතන ක්‍රීඩක ගෞතම් පන්දුව ධවල රේඛාව අසලටම රැගෙන ගිය අතර පන්දුව බිම තැබීමට කළ උත්සාහයේ දී ඔහු අතින් පන්දුව අත හැරුණේ උණුසුම් තරගයක් තියුණු ලෙස නිමා කරමින්.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 18 (3T, 1P) – 29 (5T, 2C) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – කවින්දන පෙරේරා (වෙස්ලි)

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය – රමිත සිල්වා (1T), මනිල්ක රුබේරු (1T, 1P), නදීන් බාසික් (1T)
  • වෙස්ලි විද්‍යාලය – මුර්ශිඩ් සු‍බෙයිර් (2C), කවින්දන පෙරේරා (4T), අවිශ්ක ගම්මන්පිල (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<