ඊයේ (13) අවසන් වූ පාසල් රග්බි ලීගයේ තීරණාත්මක අවසන් සතියේ දී, තරගාවලිය සුවිශේෂී අවසානයක් කරා සූදානම් කරමින් රාජකීය, ත්‍රිත්ව, සා. පීතර, සා. ජෝසප් යන කණ්ඩායම් ජයග්‍රහණයන් ලැබූ අතර එළඹෙන සති අන්තයේ දී පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ තරග යුග්මයේ පළමු අදියර, පාසල් ලීග් ශූරයන් අභිෂේක කරන අවසන් මහා තරගය වනු ඇත.

වෙස්ලි, රාජකීය සහ ඉසිපතනයට ජය

කවදත් උද්වේගකර පාසල් රග්බි වසන්තයේ දෙවන වටය ආරම්භ වී දෙවන සතිය අවසන් වන විට තරගාවලියේ උණුසුම තව තවත් වැඩි කරමින් සියලුම පාසල් තමන් සතු උපරිම දක්ෂතා ප්‍රකට කරමින් තරගාවලිය ක්‍රීඩා කරනු දැකිය හැකි විය.

එක් තරගය බැගින් පරාජය වී ලීගයේ පළමු ස්ථාන තුන අතර වැජඹුණු ඉසිපතන, ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම් අතුරින් ඉසිපතන විද්‍යාලය මේ සති  අගදී (13) පරාජය වූ බැවින් බ්‍රැඩ්බි පළමු අදියරෙන් අවසන් වීමට නියමිත ලීගයේ පෙරමුණේ පසුවන්නේ රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම් වන නිසා බ්‍රැඩ්බි පළමු අදියර, “අවසන් මහා තරගයක” වෙස් ගනු ඇත.

මේ සති අන්තයේ රග්බි පිටිය උණුසුම් වූයේ මෙසේයි.

දෙවන අර්ධයේ දී පීතරයන්ගෙන් ප්‍රහාරයක්

SPC v ZC

මරදානේ දී පැවති සහිරා විද්‍යාලයට එරෙහි තරගයෙන් සාන්ත පීතර විද්‍යාලය ජය ලැබුවේ ලකුණු 43-16ක් ලෙසයි. පැහැබර සහ උණුසුම් කාලගුණයක් යටතේ පැවති තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ සයිඩ් සිංහවන්ස යි. ඒ දඬුවම් පහරින් අනතුරුව දැඩිව ක්‍රීඩා කළ සහිරා ක්‍රීඩකයන් පීතරයන්ට අභියෝග කළේ මීළඟ දඬුවම් පහරත් සාර්ථක කර ගනිමිනි. (සහිරා 06-00 පීතර)

සුළු වෙලාවකින් අනතුරුව ස්ථාවර වූ පීතරයින් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ෆායිස් අබ්දුල්ලා ය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ අතර සිංහවන්ස තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. නැවතත් උත්සාහක දිනුමක් කරා ගිය පීතරයින් තරගයේ පෙරමුණ ගත්තේ ඉන් අනතුරුවයි. (සහිරා 09-12 පීතර)

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 12 (2T 1C) – 09 (3P) සහිරා විද්‍යාලය

දෙවන අර්ධයට සූක්ෂම උපක්‍රම යොදමින් එක්වුණු පීතරයින් සහිරා ඉදිරිපෙළ ක්‍රීඩකයන් රවටමින් මිනිත්තු 12ක් ඇතුළත උත්සාහක දිනුම් තුනක් රැස්කළේය. ඒවායින් දෙකක හිමිකරුවන් වූයේ රවීන් ප්‍රනාන්දු ය. අනෙකුත් උත්සාහක දිනුම තීක්ෂණ හේෂාන් ගෙනි. සුහේල් ප්‍රනාන්දු ප්‍රවර්තනයන් දෙකක් සාර්ථක කර ගත්තේය. (සහිරා 09-31 පීතර)

සුළු මොහොතකින් පසු සහිරා ක්‍රීඩක මොහොමඩ් අම්ජාඩ් උත්සාහක දිනුමක් රැස්කළේය. සිංහවන්සගේ ප්‍රවර්තනය සාර්ථකයි. යළිත් ඉදිරියට ඇදුණු පීතරයින් වෙනුවෙන් අශේන් මෙන්ඩිස් සහ මොහොමඩ් ඉර්ශාඩ් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර සුහේල්ගේ එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක විය.

සම්පූර්ණ කාලය: සාන්ත පීතර විද්‍යාලය 43 (7T 4C) – 16 (3P 1T 1C) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – දියත් ප්‍රනාන්දු. (පීතර)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

පීතර – ෆායිස් අබ්දුල්ලා 1T, දියත් ප්‍රනාන්දු 1T 1C, රවීන් ප්‍රනාන්දු 2T, තීක්ෂණ හේෂාන් 1T, අශේන් මෙන්ඩිස් 1T, මොහොමඩ් ඉර්ශාඩ් 1T, සුහේල් ප්‍රනාන්දු 3C.

සහිරා – මොහොමඩ් අම්ජාඩ් 1T, සයිඩ් සිංහවන්ස 3P 1C.


ත්‍රිත්වයන්, ඉසිපතනය හමුවේ නොසැලී ඉදිරියටම

TCK v ICඉසිපතන විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ජය ලැබීමට ත්‍රිත්වයින් සමත් වූයේ 15-10ක් ලෙසයි. මෙම තරගය, ලීගයේ තීරණාත්මක තරගයක් වූයේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් පරාජය වී තිබීම හේතුවෙනි.

ඉසිපතනය විසින් ලබා දුන් දඬුවම් අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් අවීෂ ප්‍රියංකර, ත්‍රිත්ව විදුහලට පළමු උත්සාහක දිනුම ලබා දුන් අතර මේ තරගයේ ආරම්භක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් වූ ලශේන් විජේසූරිය එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (ත්‍රිත්ව 07-00 ඉසිපතන)

රෙෂාන් බණ්ඩාරනායක විසින් මීළඟ උත්සාහක දිනුම සටහන් කළේ ද ත්‍රිත්ව ලකුණු පුවරුවෙනි. එහි ප්‍රවර්තනය අසාර්ථක වූවත් ලකුණු පරතරය 12ක් දක්වා ඉහළ ගියේය.

පළමු අර්ධය ආරම්භ වන විට  හරිහැටි උපක්‍රම තෝරාබේරා නොගත් ඉසිපතනය හරිත් බණ්ඩාරගේ දස්කම් වල පිහිටෙන් උත්සාහක දිනුමක් රැස්කළේය. ඔහු ප්‍රතිවාදීන් පස්දෙනෙකු පමණ අවිනිශ්චිත කරමින් එය ලබා ගත්තේ පරතරය ලකුණු 5ක් දක්වා අඩු කරමිනි.

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 12 (2T 1C) – 05 (1T) ඉසිපතන විද්‍යාලය

දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලශේන් ලකුණු 3ක් ත්‍රිත්වයින්ට එක්කළේය. (ත්‍රිත්ව 15-05 ඉසිපතන)

තරගාවලිය පුරාම සාර්ථක පන්දු ධාවනයන් සිදු කළ චමෝද් ප්‍රනාන්දු, ඉසිපතනයට බලාපොරොත්තුවක් ගෙන එන්නට සමත් වූයේ උත්සාහක දිනුමක් රැස්කරමිනි. (ත්‍රිත්ව 15-10 ඉසිපතන)

කෙසේ වෙතත් අවසන් මිනිත්තු 10 දැඩිසේ උණුසුම් වූ තරගයක දර්ශන ගෙන ආවත් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන් මනා ආරක්ෂණයේ ප්‍රතිඵල අත්විඳින්නට සමත් වූ අතර ලීග් ශූරයන් වීම සඳහා දැන් ඔවුන්ගේ මඟ අවුරා සිටින්නේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම පමණි. ඔවුන් දෙපලගේ තරගය ලබන 20 වැනිදා පැවැත්වෙන අතර අතිශය උණුසුම් තරගයක් වනු ඇති.

සම්පූර්ණ කාලය: ත්‍රිත්ව විද්‍යාලය 15 (2T 1C 1P) – 10 (2T) ඉසිපතන විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අවීෂ ප්‍රියංකර. (ත්‍රිත්ව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

ත්‍රිත්ව – අවීෂ ප්‍රියංකර 1T, රෙෂාන් බණ්ඩාරනායක 1T, ලශේන් විජේසූරිය 1C 1P.

ඉසිපතන – හරිත් බණ්ඩාර 1T, චමෝද් ප්‍රනාන්දු 1T.


පළමු අර්ධයේ දී තෝමසුවන් කරකවා අතහැරි ජෝසප් ප්‍රහාරය

SJC v STC

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත්, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණු අතර පළමු අර්ධයේ දී ම උත්සාහක දිනුම් 4ක් ලබාගෙන ඉදිරිය ගත් ජෝසප්වරු මෙහි දී ජය ලැබුවේය.

සචිත් සිල්වාගේ දැකුම්කළු ක්‍රීඩා රටාව සහ පාපන්දු ප්‍රහාරයන් මඟින් තරගය ඇරඹී මිනිත්තු කිහිපයකින්ම සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 19-00ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය. ඊට යම් ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීමට සමත් වූයේ තෝමස් ක්‍රීඩක ශරිත් නානායක්කාර පමණි. ඔහු ලබා දුන් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ ඩියොන් ඩයස් ය. (ජෝසප් 19-07 තෝමස්)

මෙදින අතිරේක ක්‍රීඩක බංකුවේ සිට පැමිණි චතුර සෙනවිරත්න, ප්‍රතිවාදීන් පස්දෙනෙකු පමණ අභිබවා ගොස් උත්සාහක දිනුමක් රැස්කළ අතර එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගන්නට සචිත් සිල්වා සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 26 (4T 3C) – 07 (1T 1C) සාන්ත තෝමස් විද්‍යාලය

පළමු අර්ධයේ දී පිටියේ නොසිටි තෝමස් ක්‍රීඩක ක්‍රිස්ටියන් ඩි ලයිල්, දෙවන අර්ධය සඳහා යොදවා තිබූ අතර එය සාර්ථක කරමින් උත්සාහක දිනුමක් රැස්කරන්නට ඔහු සමත් විය. නමුත් ඩයස්ගේ ප්‍රවර්තනය අසාර්ථකයි. (ජෝසප් 26-12 තෝමස්)

ජෝසප් ක්‍රීඩකයන්ගෙන් පළමු අර්ධයේ දී දැකිය හැකි වූ පිළිවෙළ මේ අර්ධයේ දී දැකිය නොහැකි වූ අතර පළමු අර්ධයේ වික්‍රමයෙන් පමණක් තරගය ජය ගන්නට තරම් ඔවුන් වාසනාවන්ත විය.

ThePapare.com තරගයේ වීරයා – සචිත් සිල්වා. (ජෝශප්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

සාන්ත තෝමස් – ශරිත් නානායක්කාර 1T, ක්‍රිස්ටියන් ඩි ලයිල් 1T, ඩියොන් ඩයස් 1C.

සාන්ත ජෝසප් – සචිත් සිල්වා 2T 3C, ගිහාන් පෙරේරා 1T, චතුර සෙනවිරත්න 1T.


අවිශ්වාසයෙන් අරඹා, විශ්වාසයෙන් අවසන් කළ රාජකීය මෙහෙයුම

RC v WC

දෙවන අර්ධයේ දී දක්වන ලද දක්ෂතා සමඟින් වෙස්ලි විද්‍යාලයට එරෙහි රග්බි තරගය 35-19ක් ලෙස ජය ගෙන, ලීග් ශූරතාවය වෙත තවත් පියවරකින් ලංවන්නට රාජකීයයන් සමත් විය. දැන් ඔවුන්ගේ මඟ අහුරා සිටින්නේ ත්‍රිත්ව විද්‍යාලය පමණක් වන බැවින් එළඹෙන බ්‍රැඩ්බි පළමු අදියර අතිශය උණුසුම්කාරී වනු ඇතැයි රග්බි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවයි.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ජනිඳු ඩිල්ෂාන් අතට පත්වූ පන්දුව ඔහු හරිහැටි ලබා ගත්තේ නම් උත්සාහක දිනුමකින් තරගය අරඹන්නට රාජකීයයන්ට හැකියාව තිබුණි. එහෙත් එය එසේ සිදු නොවීය. ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ වෙස්ලි ක්‍රීඩක අවිශ්ක ලී විසිනි. (වෙස්ලි 03-00 රාජකීය)

තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් වෙස්ලි කණ්ඩායම ඉදිරියට ඇදුණු අතර ඊට ප්‍රතිචාර දක්වන්නට රාජකීයයන්ට ඔවුන්ට සුපුරුදු රෝලින් මෝල් එකක්ම අවශ්‍ය විය. ලීගයේ සිය 12 වන උත්සාහක දිනුම සම්පූර්ණ කරන්නට හම්සා රීසා සමත් වෙද්දී ශාකිර් නව්ෆර් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (වෙස්ලි 06-07 රාජකීය)

රාජකීය අර්ධය තුළට පාදයෙන් යොමු කෙරුණු උස් පන්දු පහරවල් ලබා ගැනීමේ දී රාජකීය කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වූ අතර ඉන් ඵල ලබා ගත් වෙස්ලි ක්‍රීඩකයන් පෙරට ඇදෙන්නට විය. තවත් දඬුවම් පහරක් ඔවුන් දිනා ගත් අතර අවිශ්ක එහිදීත් සාර්ථකයි. (වෙස්ලි 09-07 රාජකීය)

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 09 (3P) – 07 (1T 1C) රාජකීය විද්‍යාලය

සිතන්නට ලැබුණු කාලයත් සමඟින් රාජකීයයන් පෙරට වඩා සංවිධානගතව ක්‍රීඩා කරන අයුරක් දෙවන අර්ධයේ දී දිස්වූ අතර නිකිල් ගුණවර්ධන විසින් ලබා ගත් උත්සාහක දිනුමක් සමඟින් දෙවන අර්ධය ඇරඹිණි. ප්‍රවර්තනය සාර්ථකයි. (වෙස්ලි 09-14 රාජකීය)

මෙතෙක් අවිශ්වාසයෙන් ක්‍රීඩා කළ ජනිඳු ඩිල්ෂාන් හට පන්දුව ලැබුණු අතර කෙලින්ම ගෝල කණු යටට දිවයන්නට ඔහු සමත් විය. ශාකිර්ගේ ප්‍රවර්තනය යළිත් සාර්ථකයි. (වෙස්ලි 09-21 රාජකීය)

රාජකීය ඉදිරිපෙළ ආධිපත්‍ය යළි තහවුරු වෙන අතරම ඉඳුවර කරුණාරත්න තවත් උත්සාහක දිනුමක් රැස්කළේය. ශාකිර්ගේ ප්‍රවර්තනය සාර්ථකයි. (වෙස්ලි 09-28 රාජකීය)

නිහඬව සිටින්නට අකමැති වූ වෙස්ලි ක්‍රීඩකයන් වෙනුවෙන් ඊ.හර්ෂණ, උත්සාහක දිනුමක් ලබා ගත්තේ ඉන් අනතුරුවයි. ඊට සබාර් විසින් එක්කළ තවත් උත්සාහක දිනුමකින් පිටිය ආරක්ෂණයේ වැදගත්කම රාජකීය කණ්ඩායමට නැවතත් සිහිපත්කර දෙන්නට වෙස්ලි ක්‍රීඩකයන් සමත් විය. ඉන් එක් ප්‍රවර්තනයක් හෝ අවිශ්ක විසින් සාර්ථක කර නොගන්නා ලදි. (වෙස්ලි 19-28 රාජකීය)

තරගය දෙපිලටම විවර වූ පසුබිමක දෙපිලේම ප්‍රේක්ෂකයන් ඝෝෂා නගද්දී සාර්ථක වූ රාජකීය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් රැස්කළ හම්සා රීසා, රාජකීය ජය තහවුරු කළේය. එහි ප්‍රවර්තනයත් සාර්ථකයි. (වෙස්ලි 19-35 රාජකීය)

ඒත් සමඟින් එළඹෙන බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ පළමු අදියර ඉතාමත් තීරණාත්මක වන්නේ ලීගයේ පළමු ස්ථානයන් දෙක හොබවන රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම්, එක් ශූරතාවයක් වෙනුවෙන් නොව ශූරතාවයන් ද්විත්වයක් සඳහා තරග වදින්නට සුදුසු වන බැවිනි.

සම්පූර්ණ කාලය: රාජකීය විද්‍යාලය 35 (5T 5C) – 19 (2T 3P) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ඔවින් ඇස්කි. (රාජකීය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

රාජකීය – හම්සා රීසා 2T, ජනිඳු ඩිල්ෂාන් 1T, ඉඳුවර කරුණාරත්න 1T, නිකිල් ගුණවර්ධන 1T, ශාකිර් නව්ෆර් 5C.

වෙස්ලි – ඊ.හර්ෂණ 1T, සබාර් 1T, අවිශ්ක ලී 3P.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට