සඳුන් මෙන්ඩිස්ගේ දක්ෂතාවයෙන් ශූරතාව දෙවැනි වරටත් ගාල්ලට

2698

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) නිමාවූ 2017/18 සිංගර් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ලකුණු 29කින් පරාජය කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නොකඩවා දෙවන වරටත් එහි ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

රිච්මන්ඩ් සහ සාන්ත පීතර අවසන් ක්‍රිකට් සංග්‍රාමය

ක්‍රිකට් පිටියේ පෙළහර පාන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව තමන්ගේ හැකියාවට

පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 9කින් පරාජයට පත්කරමින් මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර පසුගිය 24 වැනිදා පැවති දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ කඩුලු 5ක ජයක් ලබා ගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාල නායක ධනංජය ලක්ෂාන් ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ සවස් කාලය වන විට තණතීරුව දඟ කැවීමට ඉඩකඩ තිබූ නිසාවෙනි.

පළමුව පිටියට පිවිසි ධනංජය ලක්ෂාන් හා ආධිත්‍ය සිරිවර්ධන පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවූ අතර නිමාවූ දෙවන අවසන් පූර්ව තරගයේ දී ශතකයක් නොදැවී ලබාගෙන සිය විද්‍යාලය ජයග්‍රහණය කරා මෙහෙයවූ ධනංජය ලක්ෂාන් රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු දැවී යන විට පන්දු 13ක දී ලකුණු 21ක් ලබා ගත්තේ එක් 4 පහරක් හා 6 පහර දෙකක් සමඟිනි. පා ඉන්නට මදක් පිටතින් ඇදී ආ පන්දුවකට පහරක් එල්ල කිරීමට ගොස් ධනංජය ලක්ෂාන් දැවී ගියේ ප්‍රභාසර හේරත්ගේ පන්දුවකටයි.

අනතුරුව ආධිත්‍ය හා පිටියේ එක්වූ දුවින් කලන්සූරිය දෙවන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවමින් රිච්මන්ඩ් විද්‍යාලයේ මුල්පෙළ සවිමත් කළ අතර 4 පහර 4ක් සමඟ ලකුණු 27ක් ලබාගෙන සිටි ආධිත්‍ය සචින් සිල්වාගේ පන්දුවකට දැවී ගියේ රන්මිත් ජයසේනගේ අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස්, දුවින් කලන්සුරිය, තවීෂ අභිෂේක් හා අවිඳු තීක්ෂණ හට රිච්මන්ඩ් විද්‍යාලයේ මැදපෙළ එතරම් හොඳට සවිමත් කිරීමට නොහැකි වූයේ උපනායක මිෆ්ලාල් අමීන් ඇතුළු සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයින්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි.

2021 ශූරයින්ගේ කුසලානය නෑ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019-2023 දක්වා කාල පරාසය තුල දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම්

ලකුණු 106කට කඩුලු 6ක් දැවී ගොස් තිබිය දී රිච්මන්ඩ් විද්‍යාල ලකුණු සටහන ගොඩනැංවීම වෙනුවෙන් පිටියට ආ කම්ඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් හා දිලුම් සුධීර 7 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවයක් ගොඩනංවූයේ රිච්මන්ඩ් විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන්ට යම් ආදර්ශයක් ලබා දෙමිනි. එම සබඳතාවය රිච්මන්ඩ් විද්‍යාල ලකුණු සටහනේ අද දිනය සඳහා ගොඩනැංවුණු හොඳම සබඳතාවය විය. දකුණතින් පිත්ත හසුරුවන සඳුන් 4 ලකුණු 42කට දැවී ගියේ දුවද්දී දැවී යාමකට හසුවීම නිසාවෙනි.

පන්දු 85කට මුහුණ දෙමින් ලකුණු 39ක් ලබාගත් දිලුම් සුධීර වමතින් පා දඟපන්දු යවන කනිෂ්ක මදුවන්තගේ පන්දුවකට දැවී ගියේ ස්ටම්ප්ස් කිරීමකට හසුවීම නිසාය. සිය නියමිත පන්දුවාර 50 අවසානයේ රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබාගෙන සිය ඉනිම අවසන් කරන ලදි.  

පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන මිෆ්ලාල් අමීන් (2/25) හා කනිෂ්ක මදුවන්ත (2/34) අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.  

නව ක්‍රීඩා ඇමති ක්‍රිකට් නිලවරණය නතර කරයි?

නව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට පටහැනි වාර්ෂික මහා සභා රැස්වීමක් කැඳවීම හේතුවෙන් /p>

ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භය සාර්ථක නොවූයේ ධනංජය ලක්ශාන්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. එහි දී නායක සන්තුෂ් ගුණතිලක හා උපනායක මිෆ්ලාල් අමීන් යන දෙදෙනාම ලකුණු නොලබා දැවී ගියේ ධනංජය එවූ පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි.

සුලක්ෂණ ප්‍රනාන්දු හා එක්වූ වමතින් පිත්ත හසුරුවන ශැනොන් ප්‍රනාන්දු තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් කඩා වැටුණු සාන්ත පීතර ඉනිම යම් මට්ටමකට ගොඩනංවන ලදි. 4 පහර 4ක් සමඟ ලකුණු 25ක් ලබාගත් සුලක්ෂණ ප්‍රනාන්දුගේ දැවී යාමට පසුව දකුණතින් දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් ප්‍රමුඛ රිච්මන්ඩ් පන්දු යවන්නන් සාන්ත පීතර මැදපෙළ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 26ක් තුළ දවා ගන්නා ලදි.

ලකුණු 89/7ක් ලෙස සාන්ත පීතර ලකුණු පුවරුව දැක්වෙද්දී වමතින් පිත්ත හසුරුවන ශැනොන් ප්‍රනාන්දු හා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම සඳහා පිටියට පිවිසි දකුණතින් පිත්ත හසුරුවන කනිෂ්ක මදුවන්ත පිටියේ එක්වෙමින් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වූහ. ඔවුන් දෙදෙනා අතරේ 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැංවිණි.

එහි දී අර්ධ ශතකයක් ලබාගත් වමතින් පිත්ත හසුරුවන ශැනොන් 4 පහර 6ක් හා එක 6 පහරක් සමඟ ලකුණු 52ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. ඔහු දැවී ගියේ සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවකට ධනංජය ලක්ෂාන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

එහි දී ධනංජය ලක්ෂාන් රැක ගත්තේ සුපිරි උඩපන්දුවකි. සචින් සිල්වා ද ලකුණු 12කට දැවී ගිය පසුව අවසන් කඩුල්ල වෙනුවෙන් ද සාන්ත පීතර විද්‍යාලයේ පසුපෙළ පිතිකරුවන් ඉතාමත් තියුණු සටනක් ලබා දුන්නේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි සිටි දහසකුත් ප්‍රේක්ෂකයින් හට තියුණු තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙමිනි. මෙතුවක් වේලාවක් සාන්ත පීතර විද්‍යාලයේ පසුපෙළ සවිමත් කළ දකුණතින් පිත්ත හසුරුවන කනිෂ්ක මදුවන්ත 4 පහර 3ක් සමඟ ලකුණු 39ක් ලබාගෙන සිටිය දී දකුණතින් දඟපන්දු යැවූ කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී ගියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ගියවර ශූරතාවය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයට නොකඩවා දෙවන වතාවටත් ශූරතාවය හිමි කර දෙමිනි.

තියුණු සටනකින් සාන්ත පීතර ක්‍රීඩකයින් අවසන් සටනට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට්

පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 20ක් තුළ කඩුලු 5ක් දවා ගත්තේ පිතිකරණයෙන් ලබා ගත් ලකුණු 42ට අමතරවයි.  එසේම ධනංජය ලක්ෂාන් හා අවිඳු තීක්ෂණ අතරේ ද කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

“මම පිතිකරණය සඳහා පිටියට ගියේ ලොකු පීඩනයක් තියෙන වෙලාවක. මම පිටියට යන විට අපේ කණ්ඩායම පන්දුවාර 40ක් තුළ ලකුණු 150ක් ලබාගෙන තිබුණේ, මට ඕන වුනේ අපේ කණ්ඩායම ලකුණු 200කට අරගෙන යන්න. ශැනොන් හා සචින් අවසන් මොහොතේ දී හොඳින් පිතිකරණයේ නිරත වුනා. ඒ මොහොතේ දී අපි හොඳින් පන්දු යවලා තරගය ජයග්‍රහණය කළා.” යැයි ThePapare.com වෙත අදහස් දැක්වූ සඳුන් මෙන්ඩිස් පැවසීය.

රිච්මන්ඩ් විද්‍යාලය – 201/9 (50): සඳුන් මෙන්ඩිස් 42, දිලුම් සුධීර 39, ආධිත්‍ය සිරිවර්ධන 27, මිෆ්ලාල් අමීන් 2/25, කනිෂ්ක මදුවන්ත 2/34.

සාන්ත පීතර විද්‍යාලය – 172 (46.4): ශැනොන් ප්‍රනාන්දු 52, කනිෂ්ක මදුවන්ත 39, සුලක්ෂණ ප්‍රනාන්දු 25, සඳුන් මෙන්ඩිස් 5/20, ධනංජය ලක්ෂාන් 2/28, අවිඳු තීක්ෂණ 2/42.

තරගයේ වීරයා – සඳුන් මෙන්ඩිස් (රිච්මන්ඩ් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<