ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් 4ට

1917
Red Bull University Cricket 2017

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (12) පැවැත්වූ තරගය, කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව (BMS) මූලික වටයේ සහභාගි වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර මට්ටමේ අවසන් තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පී. සරා ඕවල් පිටියේ දී පළමුව පන්දුවට පහර දීම හොඳ යැයි තීරණය කළේය.

ලහිරු හා හශාන් තවත් දැවැන්ත ජයකට මඟ පාදයි

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ අද (11) ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර…

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 14ක් තුල දවා ගැනීමට සමත් විය. එම කඩුලු 3 අතරට එක් දුවද්දී දැවී යාමක් ද ඇතුළත් විය. සිම්බාබ්වේ ලකුණු පුවරුවේ ආරම්භක අඩිතාලම අසාර්ථක වූ පසුබිමක, සිව්වන කඩුල්ල සඳහා පිටියට පැමිණි ජොනතන්ෆෙඩ්රික්ස් සමඟින් එක්වූ ටවඩ්සවා පෙගා ලකුණු 13ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

ජොනතන් ලකුණු 8ක් ලබාගෙන සිටිය දී ගේශාන් විමලධර්මගේ පන්දුවකට දැවී යන විට, ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 31ක් ලෙස සටහන් විය. සයවන කඩුල්ලට ලකුණු 37ක සබඳතාවයක් ගොඩනැංවීමට මිසින්ගෙයා මඩ්ලොන්ගවා හා ශැඩ්රෙක් ටපිවා සමත් වූයේ, සිම්බාබ්වේ කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් ද ලබා දෙමිනි. එහි දී ශැඩ්රෙක් ටපිවා පන්දු 27ක් තුල ලකුණු 23ක් ලබා ගත්තේ 4 පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

ඔහුට සහය වූ මිසින්ගෙයා මඩ්ලොන්ගවා එක් 4 පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නා ලදි. ඒ සඳහා පන්දු 23ක් වැය විය. අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 108ක් පමණි.

පන්දු යැවීමේ දී මනෝජ් සරත්චන්ද්‍ර, ගේශාන් විමලධර්ම හා කොශාන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 109ක පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්, ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වෙනස් කරමින් මෙම තරගය සඳහා අවතීර්ණ විය.

කෙසේ වෙතත් පන්දුවෙන් දස්කම් දැක්වූ ගේශාන් හට ලකුණු 2කට දැවී යාමට සිදු විය. ඔහුගේ කඩුල්ල ටැවැඩ්වන්ෂේ මැක්වේනාගේ නම ඉදිරියෙන් සටහන් විය.

අනතුරුව පිටියේ ස්ථාවර වූ දිනුක් වික්‍රමනායක හා තිලක්ෂ සුමනසිරි අගනා සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ, තරගයේ සම්පූර්ණ පීඩනය ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායමේ උරමතට පතිත කරමිනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 46ක් ලෙස දිස්වන විට, පිටියේ ස්වභාවය මනාව වටහා ගෙන සිටි තිලක්ෂ, ටැවැඩ්වන්ෂේ මැක්වේනාගේ ගොදුරක් බවට පත්විය. තිලක්ෂ පන්දු 11ක් තුල ලකුණු 30ක් ලබා ගත්තේ 4 පහර 4ක් හා 6 පහර දෙකක් පිටියේ සීමාවෙන් ඔබ්බට යවමිනි.

බංග්ලාදේශය සමඟින් පැවැත්වූ තරගයේ දී සාර්ථක වූ ජනිත ලියනගේ මෙම  තරගයේ දී ලකුණු 6කට දැවී ගිය ද, සුපේශල ජයතිලක හා දිනුක් වික්‍රමනායක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය. එහි දී 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 31* රැස්කළ දිනුක් ඒ සඳහා වැය කළේ පන්දු 25ක් පමණි. සුපේශල පන්දු 13ක දී නොදැවී ලකුණු 15*ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ටැවැඩ්වන්ෂේ මැක්වේනා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 19ක් තුළ කඩුලු 2ක් දවා ගන්නා ලදි.

සිම්බාබ්වේ – 108/10 (20): ශැඩ්රෙක් ටපිවා 23, මිසින්ගෙයා මඩ්ලොන්ගවා 20, මනෝජ් සරත්චන්ද්‍ර 2/04, ගේශාන් විමලධර්ම 2/15, කොශාන් ජයවික්‍රම 2/21.

ශ්‍රී ලංකාව – 109/3 (10.5): දිනුක් වික්‍රමනායක 31*, තිලක්ෂ සුමනසිරි 30, සුපේශල ජයතිලක 15*, ටැවැඩ්වන්ෂේ මැක්වේනා 2/19.

තරගයේ වීරයා – දිනුක් වික්‍රමනායක (ශ්‍රී ලංකාව – BMS)

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ B කාණ්ඩයේ පළමු ස්ථානය ජයග්‍රහණය කරන ලදි. එම නිසා A කාණ්ඩයේ දෙවන ස්ථානය ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟින් ලබන 15 වැනිදා ගාලු ජාත්‍යන්තර පිටියේ දී මෙහි අවසන් පූර්ව තරගය සඳහා මුහුණ දෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<