ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්තුෂ්ක සසිඳු ඉදිරියටම

479
Ranthushka Sasindu

ශ්‍රී ලංකාවේ අනාගත බැඩ්මින්ටන් බලාපොරොත්තුවක් වන රන්තුෂ්ක සසිඳු, නොර්වේ කණ්ඩායමේ මාකස් බාත් පරාජය කරමින් ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල බාලක ඉසව්වෙන් 5 වන වටය දක්වා ඉදිරියට යෑමට සමත් වූ අතර මීළඟ තරඟයේදී ජපානයේ මසයුකි ඔනෙදෙරා හෝ ස්ලොවේනියාවේ මිහා ඉවානිච් සමඟින් තරඟ වැඳීමට නියමිතය.

පසුගිය ලිපි: ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට 36වන ස්ථානය

2016 ලෝක ශූරතා කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලිය ඉකුත් 2 වන දා ස්පාඤ්ඤයේ බිල්බාඕ හිදී ආරම්භ වූ අතර එහි ඒකල ඉසව් ආරම්භ වූයේ මිශ්‍ර යුගල සහ යුගල ඉසව් අවසන් වීමෙන් පසුව ය. ශ්‍රී ලාංකික කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට ලෝකයේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිවරා තරඟ බිමට පිවිස ඇත.

බාලක ඒකල ඉසව්ව වෙනුවෙන් මූලික වශයෙන් තෝරා ගත් ක්‍රීඩකයන් 170 දෙනෙක් අතරට පත්වීමට ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු, මධුක දුලංජන සහ සෙව්මිණ ගුණතිලක සමත්විය. මැලේසියාවේ ෆොන්ග් හවු සිම් සමඟ ක්‍රීඩා කළ ප්‍රථම තරඟය පරාජය වීමත් සමඟින් සෙව්මිණ ගුණතිලකට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එම තරඟයේ ලකුණු තත්වය දැක්වූයේ 21-12ක් හා 21-17ක් ලෙසිනි.

තම ප්‍රථම තරඟයේදී බ්රූනෝ බුරේටෝ ඩේසාට එරෙහිව ජය ලැබීමට මධුක දුලංජන සමත් වූවත්, දෙවන තරඟයේදී ස්කොට්ලන්තයේ ක්‍රිස්ටෝෆර් ග්‍රිම්ලි අතින් 21-12ක් සහ 21-13ක් වශයෙන් පරාජය වීමට ඔහුට සිදුවිය.

මේ වන විට පස්වන වටය දක්වා ඉදිරියට ගොස් සිටින නාලන්දීය ක්‍රීඩකයෙකු වන රන්තුෂ්ක සසිඳු මත සියළු ශ්‍රී ලංකා බලාපොරොත්තු පොදි බැදී ඇත. සසිඳු අතින් චීන තායිපේ කණ්ඩායමේ චෙන් සියු යුආන් 21-08ක් සහ 21-18ක් ලෙස දෙවන වටයේ තරඟයකින් පරාජය වූ අතර පසුව නොර්වේ රාජ්‍යයේ මාකස් බාත් පරාජයට පත්කරමින්, රන්තුෂ්ක සසිඳු ඒකල අංශයේ පස්වන වටයට තේරී පත්විය. තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා යාමට තවත් ඔහුට ලබා ගැනීමට ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකත්වයක් ලැබූ එකම ක්‍රීඩිකාව වූයේ බුත්මි ගලගමගේ වන අතර ඉතාලියේ සිල්වියා ගරීනෝ පරාජය කරමින් ඈ තරඟාවලියේ දෙවන වටය දක්වා පැමිණීමට සමත් විය. අනතුරුව ඇය ජපානයේ අසුකා ටකහෂි හට පරාජය වූවාය. ශ්‍රී ලංකාව නියෝජනය කළ අනෙකුත් ක්‍රීඩිකාවන් දෙපල වූ ඉනුරි කුරුප්පු හා චතුම්හාරි විජේරත්න ප්‍රථම වටයෙන්ම තරඟාවලියෙන් ඉවතට විසිවිය.

අද (10) සවස් භාගයේදී, රන්තුෂ්ක සසිඳු සහභාගී වන මීළඟ තරඟය පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට