මැලේසියාව අපරාජිතව පෙරමුණ ගනී

333

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ දෙවන දිනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද දින (09) සාර්ථකව නිමාවිය. එහිදී ප්‍රබල මැලේසියාව හමුවේ කෙන්යාව පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකාව හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජයට පත්විය.

කෙන්යාව හා මැලේසියාව ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජය කරයි

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සිව්කොන් දැල්පන්දු තරගාවලිය ඊයේ (8) කොළඹ…

මැලේසියාව සහ කෙන්යාව අතර තරගය

තරගයේ ආරම්භයේ සිටම මැලේසියානු කණ්ඩායම ප්‍රබල ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ලකුණු රැස්කර ගැනීමෙහි නිරතවන ආකාරය දැකගත හැකිවූ අතර සුළු වේලාවකට පසු කෙන්යානු කණ්ඩායමද තරගයට අවතීර්ණ වී පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 12-11 ක් ලෙස තියුණු තත්වයක පසුවිය.

පළමු කාර්තුව :  මැලේසියාව 12 –  11 කෙන්යාව  

දෙවන කාර්තුවේදී තම ඉදිරිපෙළ ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු හුවමාරු කිරීම් වල ප්‍රතිඵල ලෙස ලකුණු 11ක් වාර්තා කිරීමට මැලේසියානු කණ්ඩායමට හැකිවූ අතර මැලේසියානු ආරක්ෂක ක්‍රීඩිකාවන් හමුවේ තරමක් පසුබැසීමට සිදුවූ කෙන්යානු ක්‍රීඩිකාවන්ට එම කාර්තුවේදී රැස්කර ගත හැකිවූයේ ලකුණු 08ක් පමණි.

දෙවන කාර්තුව :  මැලේසියාව 23 –  19 කෙන්යාව  

යම් පීඩනයක් සහිතව තෙවන කාර්තුව ආරම්භ කළ කෙන්යානු ක්‍රීඩිකාවන් ලකුණු 11ක් රැස් කිරීමට සමත් වුවත් ප්‍රබල මැලේසියානු ක්‍රීඩිකාවන් ද එයට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 11ක් වාර්තා කිරීමට සමත් විය.

තෙවන කාර්තුව  : මැලේසියාව 34  – 30 කෙන්යාව

මැලේසියානු කණ්ඩායමට වඩා ලකුණු 4ක් පිටුපසින් සිටිමින් අවසන් කාර්තුවට පැමිණි කෙන්යානු ක්‍රීඩිකාවන් මැලේසියානු ආරක්ෂක ක්‍රීඩිකාවන්ගේ බල බිඳිමින් ලකුණු 12ක් රැස් කිරීමට සමත් වුවත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූයේ මැලේසියානු ක්‍රීඩිකාවන් ද එම කාර්තුව තුළ ලකුණු 10ක් රැස් කිරීමට සමත් වූ නිසාවෙනි.

අවසන් ලකුණු තත්වය  : මැලේසියාව 44 –  42 කෙන්යාව  

ඒ අනුව ලකුණු 44-42ක් ලෙස කෙන්යාව පරාජයට පත්කරමින් ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රබල මැලේසියානු කණ්ඩායම සමත් වූයේ මේ වනවිට තරගාවලිය තුළ අපරාජිතයන් වෙමිනි.

ආසියානු යොවුන් තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා තේරීම් කමිටුව විසින් ජපානයේ පැවැත්වෙන ආසියානු යොවුන්…


ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තරගය

තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 22ක් වාර්තා කළ අතර එම කාර්තුව තුළ ලකුණු 08කින් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට සිදුවිය.

පළමු කාර්තුව :  ශ්‍රී ලංකාව 22 –  08 ශ්‍රී ලංකා යොවුන්

පෙර කාර්තුවට වඩා යම් ආක්‍රමණකාරී බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් දෙවන කාර්තුව ලකුණු 11ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුවේදී ලකුණු 18ක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවන කාර්තුව :  ශ්‍රී ලංකාව 40 –  19 ශ්‍රී ලංකා යොවුන්

තරගයේ තෙවන කාර්තුවේදී නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 20ක් රැස්කර ගන්නා විට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එම කාර්තුව තුළ රැස්කර ගත හැකිවූයේ ලකුණු 04ක් පමණි.

තෙවන කාර්තුව :  ශ්‍රී ලංකාව 60 –  23 ශ්‍රී ලංකා යොවුන්

තරගයේ වැඩි වාසි සහිතව අවසන් කාර්තුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසය නිසාවෙන් තරමක පසුබෑමක් පෙන්නුම් කළ නමුත් එම කාර්තුව තුළ ලකුණු 13ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එම කාර්තුව තුළ රැස්කර ගත හැකිවූයේ ලකුණු 11ක් පමණි.

අවසන් ලකුණු තත්වය :  ශ්‍රී ලංකාව 73 – 34  ශ්‍රී ලංකා යොවුන්

තරගාවලියේ තෙවන දිනය හෙට (10) දිනයේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහිදී කෙන්යාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය ප.ව. 3.00ට සහ මැලේසියාව සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තරගය ප.ව. 5.00ට ආරම්භ කිරීමට නියමිතය. එම තරග වල සජීව විකාශයන් ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැක.

                            >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<