‘සුපුරුදු’ පරාජයට දැන්වත් තිත තියමු ද…?

497

‘සුපුරුදු’ පරාජයන්ගෙන් ශ්‍රී ලංකාව යළිත් වෙළාගෙන ඇත. එංගලන්තය සමඟ පැවති තරගාවලියේ දී වුණු පොඩි පොඩි අඩුපාඩු ඒ පරාජයට හේතු වූ බව පරාජයේ අඳෝනා අතරින් යළිත් වරක් කණට ඇසේ. ඇසට පෙනේ.

එසේ කියන, ඒත් හැමදාම සිද්ධ වෙන අඩුපාඩු මේ තරගාවලියේදීත් හදාගන්න උනන්දුවක් නොදැක්වීමේ උපරිම වාසිය තම පැත්තට පෙරළාගත් ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට දායාද කිරීමේ සින්නක්කර අයිතිය හිමි එංගලන්තය, ගෙදරටම විත් 3-0ක් විදියට ශ්‍රී ලංකාවට සම්පූර්ණ ‘සුද්දයක්’ දමා ජයග්‍රාහී කුසලාන රැගෙන දැන් ගම් රට බලා ගොසිනි. මෙය වසර 36කට අධික දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය වාර්තා කරන ලද විශාලම ටෙස්ට් තරගාවලි ජය ලෙසින් ද සටහන් විය.

මේ කොයි යන්නේ? නැත අප දන්නේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය …

මෑත කාලයේ දී ශ්‍රී ලංකාව ලැබූ පරාජයන් දෙස බැලීමේ දී මේ තරගාවලි පරාජය පිළිබඳව අමුතුවෙන් කනගාටුවට පත්විය යුතු නැති බව අපගේ අදහසයි. ඒ ඇයි ද කිවහොත් දශක 4කට ආසන්න කාලයක් තිස්සේ ගොඩ නගා ගත් මෙරට ක්‍රිකට් අභිමානය, ක්‍රිකට් ක්‍රීඩාවේ ‘අ’ යන්න තවමත් සොයමින් සිටින ඇෆ්ගනිස්තානය හමුවේ ඉකුත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී දිය කර හැරීම, තවමත් අපේ මතකයන් අතරින් මැකී නොමැති නිසාය. ආසියානු කුසලාන තරගාවලියේ ලද එම අමිහිරි පරාජයත් එක්ක මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තවත් වැටෙන්නට නැති නැත. එවැනි වටපිටාවක දී, ලිපිය ආරම්භයේ සඳහන් කළ විදියට ක්‍රිකට් ලෝකයට දායාද කළ රට හෙවත් වත්මන් අංක 1 ටෙස්ට් කණ්ඩායම ලෙසින් මෙරටට පැමිණි එංගලන්තය හමුවේ පරාජයට පත්වීම ඒ හැටි ගණනකට ගත යුතු නොවේ.

මෙය මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රතිවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති සියලුම ටෙස්ට් තරග ජය ගත් හෙවත් 3-0ක් වශයෙන් ජය ගනු ලැබූ තෙවැනි අවස්ථාව ලෙස සටහන් වෙයි. මීට පෙර 2004 වසරේ දී මෙරටට එන රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ම පූර්ණ සුද්දයක් දැමූ පළමු රට බවට පත්විය. හෂාන් තිලකරත්නගේ නායකත්වය යටතේ සහභාගි වූ එම තරගාවලියේ පැවති තරග 3ම පළමු ඉනිමේ ශ්‍රී ලංකාව ඉදිරියෙන්  සිටිය ද, අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව සෑම තරගයක්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීම විය. අපිව සුන්නත් දූලි කළ අනෙත් රට ඉන්දියාවයි. විරාත් කෝලිගේ නායකත්වය යටතේ ගෙවී ගිය 2017 වසරේ මෙරටට පැමිණි ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 3ම ජය ගත්තා පමණක් නොව එම තරගාවලිය යටතේ පැවති එක්දින තරග 5 සහ විස්සයි විස්ස තරගය ද ජය ගැනීමට සමත් විය. එය මෙරට ක්‍රිකට් වංශ කතාවේ තරගාවලියක සියලුම තරග පරාජයට පත්වූ පළමු තරගාවලිය බවට වූ ‘කළු පැල්ලම” එක් කරන ලද තරගාවලියක් බවට පත්විය.

ශ්‍රී ලංකාව කඩුලු 48 ක් බිඳ හෙලූ ජැක් ලීච්, මොයින් අලී සහ අදෙල් රශීඩ්

ලද පරාජයන් එසේ වුවද ශ්‍රී ලංකාවද ප්‍රතිවාදී රටවල් පූර්ණ සුද්දයකට ඇද දැමූ අවස්ථා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ තිබෙන බව ද කිව යුතුය. අදටත් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලාභියාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන බ්‍රයන් ලාරා ද ඇතුළුව 2002 වසරේ දී මෙහි පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ 3-0ක් ලෙස පරාජයේ අහිමිරිත්වය විඳි පළමු රට බවට පත්විය. කොදෙව්වන්ට අමතරව එම වසරේ දී ම තරග වැදි සිම්බාබ්වේ කණ්ඩායම සහ 2007 වසරේ තරග වැදි බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වුණු තරග 3ම ශ්‍රී ලංකාව හමුවේ ඉනිමකින්ම පරාජයට පත්වී තිබේ. අදාළ ජයග්‍රහණ අතරින් වඩාත්ම වටිනා ජයග්‍රහණය බවට පත්වූයේ 2016 වසරේ දී මෙහි පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලද පූර්ණ තරගාවලි ජයග්‍රහණයයි. ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටි ස්ටීවන් ස්මිත්ගේ නායකත්වය යටතේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසින් ඔවුන් මෙහි පැමිණීම එම ජයග්‍රහණයේ වටිනාකම වැඩි විය.

මෙරට පූර්ණ තරගාවලි සුද්දයේ ඉතිහාසය එසේ වද්දී වමතින් පන්දු යවමින් ලොවක් වසඟයට ගත් රංගන හේරත් විශ්‍රාම ගනිද්දී අප සිතුවේ ඊළඟ තරග 2 දී නම් එංගලන්ත පිතිකරුවන්ගෙන් කිසිම සහනයක් නොලැබෙනු ඇති කියාය. එහෙත් පන්දු යැවීමේ අංශයෙන් තමන්ට හිමි වගකීම අකුරටම ඉටු කිරීමට පන්දු යවන්නන් සමත්වද්දී පිතිකරුවන්ගේ අසාර්ථක භාවය පරාජයට පැහැදිලිම හේතුව බවට පත්විය. ඉකුත් තරගාවලිවල අසාර්ථකත්වයට හේතු වූ පරිදිම මේ තරගාවලි පරාජයේ කටුක යථාර්ථය ද පිතිකරුවන්ගේ දුර්වලතාව විය.

අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික ….

තම මව්බිමේ දී තරග වැදි නමුත්, ඉනිම් 6ක් ක්‍රීඩා කරන ලද සමස්ත තරගාවලියේ දී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පිතිකරුවකු හෝ ශතකයක් වාර්තා කිරීමට අපොහොසත්වීම ඊට කදිම නිදසුන වේ. එම තත්ත්වය ප්‍රධාන කොට එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරන ලද ඉනිම් 6 දී ම ලකුණු 300 සීමාව ඉක්මවාලීමට අප සමත් වූයේ එක් අවස්ථාවක දී පමණි. පළමු ටෙස්ට් තරගයේ ලකුණු 250ක් සහ අවසන් ටෙස්ට් තරගයේ දී ලකුණු 284ක් ලබා ගත්තා ඇරෙන්නට අනෙක් ඉනිම 3ම ල

රූපය 1තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ ඩිල්රුවන් පෙරේරා.

කුණු 250ට අඩුවෙන් සීමා වීම පිතිකරුවන්ගේ දුර්වලතාව පෙන්වීමට නිදසුන් අනවශ්‍යය.

සත්කාරකයන්ගේ තත්ත්වය එවන් මට්ටමක පවතිද්දී මෙරටට පැමිණි සංචාරක කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණි. ඉන් එක් පිතිකරුවකු කෝඩුකාරයෙකි. ඒ අනුව බැලීමේ දී දෙරට අතර වූ පැහැදිලි පරස්පරතාව වූයේ පිතිකරුවන්ගේ දක්ෂතා අතර බව පැහැදිලිය.

ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවට වඩා එංගලන්තය ඉදිරියෙන් සිටියේ නම්, ඒ පන්දු රැකීමෙන් පමණි. පන්දු රැකීමේ දුර්වලතා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අත්වැල් බැඳගත් ප්‍රශ්නයකි. එය අද ඊයේ සිදු වූවක් නොවේ. හතුරුසිංහ මහතා  පුහුණුකරු තනතුරට පැමිණීමට පෙර සිටම එය ගැටලුවකි. ඒ අඩුපාඩුව පිළිබඳව පුහුණුකරු ද තර්කයකින් තොරවම පිළිගැනීම ද අගය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය එසේ වෙද්දී එංගලන්ත පැත්තෙන් නම් එය හාත්පසින්ම වෙනස්ය. විටෙක අදහාගත නොහැකිය. දෙවැනි ටෙස්ට් තරගයේ දී දිමුත් කරුණාරත්න දවා ගැනීම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් ද, අවසන් තරගයේ දී කුසල් මෙන්ඩිස් දවා ගැනීම වෙනුවෙන් ජැක් ලීච් විසින් ද තනි අතට අහුලාගත් පන්දුව කෙළින්ම කඩුල්ලට දමා ගසමින් පෑ අති විශිෂ්ට දක්ෂතා ඒ අදහගත නොහැකි මට්ටමේ පන්දු රැකීම් ලෙස සඳහන් කළ හැක. එසේ නොවන්නට තත්ත්වය මීට වඩා ශ්‍රී ලංකාවට වාසි වන්නට ඉඩ නොතිබුණාම නොවේ. ස්ටෝක්ස්ට අමතරව ෆෝවර්ඩ් ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි කීටන් ජෙනිංග්ස් ද පන්දු රැකීමෙන් එංගලන්ත ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්විය. ජෙනිංග්ස් පැවති තරග 3 දී ශ්‍රී ලංකා පිතිකරුවන් 8 දෙනෙකුම දවා ගැනීමට දායකත්වය දැක්විය.

මේ අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා එංගලන්ත පිතිකරුවන්ගේ ඉවසීම ද, ඔවුන්ව ලකුණු

ජයග්‍රාහී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම

කරා රැගෙන ගිය ප්‍රධානම සාධකයක් බවට පත්විය. ඔවුන්ට අප පිතිකරුවන් මෙන් වේගයෙන් ලකුණු ලබා ගැනීමේ පිපාසයක් නොතිබුණි. තමන් වෙතට එන පන්දුවට නිසි ගෞරව දක්වමින් එංගලන්ත පිතිකරුවන් ලකුණු රැස් කරද්දී අපේ පිතිකරුවන් වැඩි දෙනෙක් ලකුණු රැස් කිරීම සඳහා උපයෝගී කරගන්නා ලද්දේ ටෙස්ට් තරග සඳහා කිසිසේත්ම නුසුදුසු රිවර් ස්වීප් පහරවල්ය. වෘත්තීමය ක්‍රීඩාවක දී මෙවැනි ආකාරයේ වගකීම් විරහිත අයුරින් ක්‍රීඩා කිරීම කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවන බව මේ අවස්ථාවේ දී මතක් කර දීමට පසුබට නොවෙමු.

මම අංක එකට ආවේ මෙහෙමයි – ජස්ප්‍රීත් බුම්රා

“තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ ….

ශ්‍රී ලංකාවට අවාසි ගෙන දුන් කරුණු අතරට, සත්කාරකයින්ට හිමි වාසිය 100% කින්ම හිමි වූයේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. මෙම තරගාවලිය සඳහා අප සකස් කරන ලද්දේ දඟපන්දු යවන්නන්ට උචිත තණතීරුය. දඟපන්දු යවන්නන් හමුවේ පන්දුවට පහර දීමේ දී එංගලන්ත පිතිකරුවන්ට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන ලද වාසිය ලබා ගැනීමේ අටියෙන් එසේ දඟපන්දු යවන්නන්ට උචිත තණතීරු සමඟ තරග බිමට පිවිසුණ ද එය තමන්ට පාරා වළල්ලක් බවට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 60න් 48ක්ම දවා ගත්තේ දඟපන්දු යවන්නන් වූ ජැක් ලීච් (18), මොයින් අලී (18) සහ ආදිල් රශීඩ් (12) තිදෙනා විසිනි. මේ පිළිබඳව පහතින් දැක්වෙන ක්‍රීඩක දක්ෂතා සම්බන්ධව වූ වගුව නිරීක්ෂණය කිරීමේ දී සියල්ල පැහැදිලිව අවබෝධ වනු ඇත.

පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ෆෝක්ස්

තරග ජයග්‍රහණයන් සඳහා සෘජුවම බලපාන අනෙක් සාධකය වන ප්‍රේක්ෂක සහාය ද මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නොලැබුණි. මන්දයත් තරග පැවති ක්‍රීඩාංගණ 3ම අතුරු සිදුරු නැතිව පිරී සිටියේ බාමි ආමි කණ්ඩායම හෙවත් ටෙස්ට් තරග නැරඹීම සඳහා එංගලන්තයෙන් පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගෙන් වීමය. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට කිසිසේත් ඔරොත්තු නොදෙන මිල ගණනකට ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමට ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබීම, මෙරට ප්‍රේක්ෂකයින් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලට නොපැමිණීම සෘජු හේතුව බවට පත්විය.

තරගාවලි පරාජයක් අභිමුව තවත් තරගාවලි ඇරඹුමක් ඇත. ඒ නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියයි. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි සතියේ දී නවසීලන්තය බලා පිටත්ව යනු ඇත. ක්‍රීඩකයන් තුළ වූ එකමුතු භාවය ගිලිහී යෑම ද කණ්ඩායමේ අසාර්ථකතාවයට හේතු වූ බවට ඇතැම් මාධ්‍යයන් හරහා වාර්තා වූ නමුත් එහි පූර්ණ සත්‍යය යන්න පිළිගත නොහැකි මට්ටමේය. එහෙත් එවැන්නක් සිදු වී ඇත් නම් එය කණ්ඩායමට සුබ ලකුණක් නොවනු ඇත. ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයකි. වැදගත් වන්නේ එවැනි වූ ගැටලු සහ පැටලිලි සහගත අවස්ථා පැන නැගුණේ නම් සැණින් එයට විසඳුම් ලබා දීමය. නොඑසේ නම් විවෘතව කතා කොට විසඳා ගැනීමය. එසේ නොවුණහොත් සිදුවන්නේ පූර්විකාවේ සඳහන් කළ පරිදිම පරාජිත තරගාවලියක් අවසානයේ එයට නිදහසට කරුණු ලෙසින් වූ සුපුරුදු කියමන යළි යළිත් කරළියට ගෙන ඒමය.

තරගාවලියේ තුළ වැඩිම ලකුණු ලද පිතිකරුවන් 10 දෙනා මෙසේය.

ක්‍රීඩකයා තරග ඉනිම නොදැවීම් ලකුණු වැ.ල. සාමාන්‍ය 100 50
බෙන් ෆෝක්ස් 3 6 2 277 107 69.25 1 1
දිමුත් කරුණාරත්න 3 6 0 256 83 42.66 0 3
ජොස් බට්ලර් 3 6 0 250 64 41.66 0 2
කීටන් ජෙනිංග්ස් 3 6 0 233 146* 46.60 1 0
ජෝ රූට් 3 6 0 229 124 38.16 1 0
ඇන්ජලෝ මැතිව්ස් 3 6 0 223 88 37.16 0 3
රොෂේන් සිල්වා 2 4 0 190 85 47.50 0 2
බෙන් ස්ටෝක්ස් 3 6 0 187 62 31.16 0 2
කුසල් මෙන්ඩිස් 3 6 0 179 86 29.83 0 1
ධනංජය ද සිල්වා 3 6 0 168 73 28.00 0 2

තරගාවලිය තුළ වැඩිම කඩුලු ලද පන්දු යවන්නන්10 දෙනා මෙසේය.

ක්‍රීඩකයා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුලු හො.ප.යැ. සාමාන්‍ය
ඩිල්රුවන් පෙරේරා 3 6 169 20 527 22 75/5 23.95
ජැක් ලීච් 3 6 142.4 16 385 18 83/5 21.38
මොයිනී අලී 3 6 124 14 385 18 66/4 24.50
අදෙල් රශීඩ් 3 6 99 7 338 12 49/5 29.16
අකිල ධනංජය 2 4 77.5 5 378 10 115/6 37.80
මාලින්ද පුෂ්පකුමාර 2 4 82 10 282 09 28/3 31.33
ලක්ෂාන් සඳකැන් 1 2 38 1 171 7 95/5 24.42
බෙන් ස්ටෝක්ස් 3 5 31 4 102 5 30/3 20.40
සුරංග ලක්මාල් 3 6 57 11 201 4 73/3 50.25
රංගන හේරත් 1 2 48 5 137 3 59/2 45.66

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<