සිඩ්ල් නව වෙනසක් සමඟින් පිටියට බහින්න සූදානම්

38

එළඹෙන සෙනසුරාදා (12) ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින සංග්‍රාමය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ ගියවර ලෝක ශූරයින්ගේ ලෝක කුසලාන සංචිතයේ සංයුතිය පිළිබඳව ඉතාමත් තීරණාත්මක ඉදිරි පියවර කිහිපයක්ම ගැනීම සඳහා එරට තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් පසුවන නිසාවෙනි.

ඉන්දියාව සමඟ සටනට සැරසෙන ඕස්ට්‍රේලියානු එක්දින බලඇණිය නම්කෙරේ

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව …

ඒ අනුව පසුගිය දා නම් කෙරුණු ඕස්ට්‍රේලියානු එක්දින බලඇණිය කැපී පෙනෙන සහ තරමක අනපේක්ෂිත වෙනස්කම් රැසක් ද සමඟින් මාධ්‍ය වෙත එළිදැක්වීම ක්‍රීඩා විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද කුතුහලය වර්ධනය කිරීමට සමත් වූ අතර ඒ අතරින් වසර අටකට පසු එක්දින තරග පිටියට පැමිණෙන වන වේගපන්දු යවන පීටර් සිඩ්ල් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇත.

2015 වසරේ සිය මව්බිමේ දී ම ලෝක කුසලානයේ පහස විඳ ගැනීමේ භාග්‍ය හිමිකරගත් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු වීමේ වරම එදා ඔහුට අහිමි වූ අවස්ථාවේ දී නැවතත් එක්දින පිටියට පා තැබීමට අවස්ථාවක් උදා නොවේවි යැයි අපේක්ෂාභංගත්වයෙන් පසු වූ සිඩ්ල් හට නැවත වරක් තම රට වෙනුවෙන් එක්දින වර්ණයන් පැලදීම සඳහා හිමි වූ අවස්ථාව පිළිබඳ ඔහු පසුවන්නේ ඉමහත් සතුටකිනි.

පුහුණු සැසියක් අතරතුර

පසුගිය දිනක ක්‍රිකට් ඕස්ට්‍රේලියා ක්‍රීඩා මාධ්‍ය ජාලය හා පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී ඔහු තමාගේ එක්දින තරග ආගමනය පිළිබඳ අදහස් දක්වමින් තම ක්‍රිකට් දිවියේ ඉදිරි ගමන පිළිබඳ මෙසේ සිය අදහස් ගෙන හැරපෑවේය.

“2015 ලෝක කුසලානය ක්‍රීඩා කිරීම මගේ එක්දින ක්‍රීඩා ජීවිතයේ ලැබුණ අවසාන අවස්ථාව කියලයි මම හිතාගෙන හිටියේ. නමුත් පහුගිය අවුරුදු කිහිපය පුරාම බිග් බෑෂ් වැනි තරගකාරී විස්සයි විස්ස තරගාවලි කිහිපයක දී වගේම දේශීය එක්දින තරගාවලීන් වලදී මට හැඟුණු දෙයක් තමයි තාමත් වේගපන්දුව කියන දේ මගේ ඇඟේ තියෙනවා කියන එක. ඉතින් දැන් මම ඉන්න තත්වයත් එක්ක මට මේ ලැබුණු දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව.”

“එක්දින සංචිතයට ඇතුළත් වීමෙන් කියැවෙන්නේ තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලිය සඳහා මගේ සේවය, දායකත්වය අවශ්‍යයි කියන ස්ථාවරය නම් මම මගේ උපරිමය මගේ රටටත් කණ්ඩායමත් ලබා දීලා මට පුළුවන් ආකාරයෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න සූදානමින් සිටිනවා.”

පසුගිය බිග් බෑෂ් තරගවාරයන් දෙක පුරාවටම සිඩ්ල් දැක්වූ දක්ෂතා එක්දින සංචිතයට ඔහුගේ මෙම අනපේක්ෂිත  කැඳවීම සඳහා ඉවහල් වූ බව ඔහු තදින්ම විශ්වාස කරන අතරවාරයේ නියත වශයෙන්ම මෙය ඔහුගේ ක්‍රිකට් දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

බිග් බෑෂ් ලීගයේ ඇඩිලේඩ් කණ්ඩායම නියෝජනය කරමින්

මගේ වයස දැන් 34ක්. මේ වගේ වයසක දී විශේෂයෙන්ම ඉතා දිගු කාල සීමාවක් මේ ආකෘතියෙන් ඉවත් වෙලා ඉඳලා නැවතත් ඕස්ට්‍රේලියාව වැනි ඉතා තරගකාරී කණ්ඩායමකට ඇතුළු වෙනවා කියන්නේ ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.”

“ඇඩිලේඩ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනකොට මම ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් පුහුණු වීම් කටයුතු කළා. මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා තවමත් සීමිත තරගවලට ක්‍රීඩා කරලා මගේ හැකියාවන් පෙන්වන්න. ඒ අවස්ථාව මට දැන් උදාවෙලා තියෙන්නේ.”

“තරුණ ක්‍රීඩකයෙක් තමන්ගේ මංගල තරගාවලියට සුදුසුකම් ලැබුවාම තියෙන සතුටමයි මටත් මේ වෙලාවෙදි දැනෙන්නේ. මම මට උදව් කළ හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<