ග්‍රේෂාන් ජාතික වාර්තාවක් පිහිටුවද්දී ධාවකයෝ පිටිය උණුසුම් කරති

455

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට හා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වැනි ඉදිරියට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පළමු අදියර අද (22) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට තේරීම් පරීක්ෂණ ඇරඹේ

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු…

තරගාවලියේ පළමු දිනය වූ අද මූලික තරග වටයන් රැසක් පැවැත්වුණු අතර අවසන් තරග ද කිහිපයක් පැවැත්විය. තරගාවලියේ දෙවන දිනය එළඹෙන 24 වන ඉරිදා පැවැත්වීමට නියමිත අතර එදිනට ඉතා උණුසුම් අවසන් තරග රැසක් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩකයින් සඳහා අවම පරිසාධන මට්ටම් නිවේදනය කර තිබුණි.

පිරිමි    ඉසව්ව කාන්තා
10.25 100M 11.5
20.7 200M 23.5
46.2 400M 53.2
01:48.0 800M 02:04.5
03:44.0 1500M 04:18.0
14:05.0 5000M 16:00.0
30:00.0 10000M 32:50.0
13.85 110MH/100M කඩුලු මතින් දිවීම 13.7
50.5 400M කඩුලු මතින් දිවීම 58
08:46.0 3000MSC 10:00.0
39.5 4*100M 44.5
03:06.0 4*400M 03:37.0
2.23 උස පැනීම 1.84
5.4 රිටි පැනීම 4
7.9 දුර පැනීම 6.3
16.4 තුන් පිම්ම 13.5
18.5 යගුලිය දැමීම 16.5
58 කවපෙත්ත විසි කිරීම 54.5
68 මිටිය විසි කිරීම 58
78.5 හෙල්ල විසි කිරීම 57
7400 දස ප්‍රයාම / සත් ප්‍රයාම 5400

ග්‍රේෂාන්ට ජාතික වාර්තාවක්

යුධ හමුදා ක්‍රීඩක ග්‍රේෂාන් ධනංජය තුන් පිම්ම ඉසව්වෙන් අද නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ මීටර 16.71ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය ද දිනා ගනිමිනි. පෙර පැවති වාර්තාව සංජය ජයසිංහ සතු වූ අතර ඒ මීටර 16.39ක දුරක්. ජයසිංහ ද මේ තරගය ඉසව්වට එක්වූ අතර ඔහු අද සිය හොඳම දක්ෂතාව ලෙස වාර්තා කළේ මීටර 15.66ක් පමණයි.

යුධ හමුදාවේම එන්. එස් අහමඩ් මීටර 16 සීමාව ඉක්මවා යන්නට සමත් වූ අතර දෙවන ස්ථානය දිනා ගනිමින් ඔහු වාර්තා කළ දුර මීටර 16.02කි. ග්‍රේෂාන්ගේ නව තරග වාර්තාවත් සමඟින් ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පරිසාධන මට්ටම ද (16.5) ඉක්මවා යන්නට සමත් විය.

ග්‍රේෂාන්ගේ ජාතික වාර්තාවට අමතරව පළමු දිනයේ වඩාත්ම කැපී පෙනුණේ මීටර 100 හා 200 ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුපිරි දක්ෂතා වීම විශේෂත්වයකි.

පිරිමි මීටර 100 යේ සුපිරි කාල ගණනයන්

අද දිනයේ මීටර 100යේ පළමු වටයන් හා අවසන් පූර්ව වටයන් පැවත්විණි.

මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව උසුලන හිමාෂ එශාන් අද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ හොඳම මීටර 100 කාලය වාර්තා කළේ තත්පර 10.11ක කාලයක් (+3.1-wind assisted) වාර්තා කරමින් ඉසව්ව අවසන් කරමිනි.

පසුගිය වසරේ එතරම් දක්ෂතා දැක්වීමට අසමත් වූ එශාන් මෙම සුපිරි දක්ෂතාවය සමඟින් නැවත සිය සුපුරුදු රිද්මයට පිවිසුණු අතර අවසන් පූර්ව වටයේ දී ඔහු තත්පර 10.12කින් ඉසව්ව නිමා කළේ +2.6ක සුළඟේ සහයත් සමඟයි. හිමාෂගේ දක්ෂත්වයන් ජාතික වාර්තා සඳහා සලකා නොබලන්නේ තරග පැවැත්වෙන මොහොතේ දී නියමිත සුළං මට්ටම්වලට වඩා සුළඟ පැවති හෙයිනි.

හිමාෂගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන විනොජ් සුරන්ජයත් සුපිරි ධාවනයක යෙදුණේ ඔහුගේම පෞද්ගලික හොඳම කාලය (10.27) සම කරමිනි. සුරන්ජයගේ තත්පර 10.27ක දක්ෂතාව මලයාසියාවේ දී වාර්තා විය. හිමාෂ එශාන් ඉන්දියාවේ දී වාර්තා කළ තත්පර 10.26ක ජාතික වාර්තාවේ දී නිලධාරීන් සුළං සහය හරි හැටි මැනීමට අසමත් වූ බව පවසමින් ඇතැමුන් විනොජ්ගේ 10.27ක කාලය සම ජාතික වාර්තාව ලෙස ද සලකයි.

“ඉන්දියාවට සත්කාරකත්වය තහනම්” – අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව

ඉන්දියාව විසින් ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීම සඳහා යොමු කෙරෙන සියලු අයදුම්පත්…

ශෙලින්ඩා දිගටම දක්ෂතා අතර

නැගී එන යොවුන් ක්‍රීඩිකා ශෙලින්ඩා ජැන්සන් පසුගිය සති අන්තයේ පැවැත්වුණු ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දැක්වූ දස්කම් දිගටම පවත්වා ගනිමින් අද දිනයේ ද මීටර 100, 200 ඉසව්වල ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. එම ඉසව් දෙකේම පළමු අදියරයන් හි හොඳම කාලය වාර්තා කළේ ඇයයි.

මීටර 100 තෙවන තේරීම් තරගයේ තරග කළ ශෙලින්ඩා තත්පර 12.06කින් ඉසව්ව නිමා කරමින් සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කරන්නට සමත් විය. ශර්මිලා ජෑන් (12.16) හා ශෆියා යමික් (12.15) පළමු හා දෙවන තේරීම් තරඟ දිනා ගැනීමට සමත් විය. ජාතික වාර්තාවට හිමිකම් කියන රුමේශිකා රත්නායක හා දකුණු  ආසියානු කනිෂ්ඨ ශූරිය වන අමාෂා ද සිල්වා තේරීම් තරගාවලියට සහභාගී නොවීම විශේෂත්වයක්.

ශෙලින්ඩා මීටර 200 ඉසව්ව ද තත්පර 24.41කින් නිමා කිරීමට සමත් විය. පසුගිය සතියේ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඇය වාර්තා කළ 24.88ක කාලය සතියක් ඉක්මවා යන්නට පෙර ඇය විසින්ම අලුත් කිරීම විශේෂත්වයක්.

ශන්මුගේස්වරන් සිය හොඳම කාලය වාර්තා කරයි  

ධාවකයින්ගේ නොදෙවෙනි වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කේ. ශන්මුගේස්වරන් මීටර 10000 ඉසව්වේ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කළේ 30:30.38කින් ඉසව්ව නිමා කරමිනි.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<

>> Click Here To View Results