සුලෝහිත සංග්‍රාමයට මාන බලන ආනන්ද නාලන්ද සහෝදරත්වය

409
Ananda College -vs-Nalanda College

වසර 65ක් තිස්සේ දිනාගත නොහැකිවූ ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ ශූරතාව දිනා ගැනීම සඳහා කොළඹ නාලන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මාර්තු තුන්වැනි දා SSC ක්‍රීඩාංගණයේ දී ආනන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම හා ගැටෙනු ඇත.

සුලෝහිත සංග්‍රාමය මාර්තු 3 සහ 4 යන දින දෙකේ දී පැවැත්වෙන අතර හැටපස් වසරක ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් නාලන්ද කණ්ඩායම තියුණු සටනකට දොරටු විවර කරනු ඇත.

84 වැනි සාන්තුවරයන්ගේ සටනට පිටිය සූදානම්

තියුණු සටනක පෙරනිමිති පෙන්නුම් කරන සාන්ත ජෝසප් විදුහල හා සාන්ත පීතර විදුහල

අතීතයෙන් බිඳක්

කොළඹ ආනන්ද විදුහල දොළොස් වතාවක් සුලෝහිත සංග්‍රාමය ජය ගෙන ඇති අතර නාලන්ද විදුහල ජය ගෙන ඇත්තේ හය වතාවක් පමණි. අවසාන වරට තරගය ප්‍රතිඵලයක් සමඟ අවසන් වූයේ  2003 දී ඩී. කුලරත්නගේ නායකත්වයෙන් ආනන්දයට ජය ගෙන එමිනි. වසර 65කින් නාලන්දය ජයග්‍රහණයක පහස විඳීමට සමත් නොවූ අතර අවසාන වරට ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ කුසලානය නාලන්දයට රැගෙන ගියේ 1953 දී තරම් ඈතක දීය. ඩබ්. ඩබ්. සිල්වා එම අභිමානවත් තරගයට නායකත්වය දුන් අතර වසර 65ක ශාපය අවසන් කිරීම සඳහා නාලන්දය දැඩි වෙහෙසක් ගනු ඇත.  

2006 දී ආනන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම ලකුණු 329ක් වාර්තා කර ගනිමින් ඉනිමක වැඩිම ලකුණු වාර්තාව තමන් සතු කර ගත් අතර ආනන්ද විදුහල වෙනුවෙන් තිළිණ කණ්ඩම්බි වාර්තා කළ ලකුණු 144 එක් ඉනිමක ආනන්ද විදුහලේ පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. තරග ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සාන්ත කලවිටිගොඩගේ ලකුණු 149 වාර්තා පොත් අතරට එකතු වී ඇති අතර 1975 දී අරුණ රණසිංහගේ ලකුණු 39 කඩුලු 8ක් දවාගත් සුපිරි පන්දු යැවීම තවමත් තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.  

රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර ධර්මසේන, බන්දුල වර්ණපුර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් වැනි ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් සුලෝහිත සංග්‍රාමයේ පහස ලැබුවෝ වූ අතර අර්ජුන රණතුංග ඒ අතරින් සුවිශේෂ වේ.

ආනන්ද විදුහලේ සූදානම

මෙවර පාසල් ක්‍රිකට් සමය ආනන්ද ක්‍රිකට් කණ්ඩායම එතරම් සුබ නොවුනේ ඔවුන්ට පූර්ණ තරග 3ක හා තරග 5ක පළමු ඉනිමේ ජයග්‍රහණවලින් පමණක් සෑහීමට පත්වීමට සිදු වූ නිසාවෙනි. කෙසේ වෙතත් අශෙල් සිගේරාගේ නායකත්වයෙන් සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන ආනන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම ආචාර්ය එන්. එම්. පෙරේරා කුසලානය ආනන්දයේම රඳවා ගැනීමට තියුණු සටනක නිතර වනු ඇත.

උපනායක ලහිරු අත්තනායකගේ සහයෝගය මෙවර නායක සිගේරා හට ඉතා වැදගත් වනු ඇත. ලකුණු 560ක් රැස්කර ගනිමින් කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව බල ගන්වන ලහිරු, මෙවර නාලන්ද පන්දු යවන්නන්ගේ ප්‍රධානතම ඉලක්කය වනු ඇත. අත්දැකීම් බහුල දුශාන් හෙට්ටිගේ ලකුණු 540ක් රැස්කර ගනිමින් සුපිරි ක්‍රීඩා රටාවක නිරත වන අතර නායක සිගේරා හට දුශාන් ඉතා වැදගත් අවියක් වනු ඇත. පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද දස්කම් දක්වන නායක අශෙල් සිගේරා මෙවර තරග වාරයේ දී කඩුලු 50ක් ද දවාගෙන සිය පිත්තෙන් ද ලකුණු 492ක් රැස්කර ගෙන සිටීම කණ්ඩයමේ ජයග්‍රහණ බලාපොරොත්තු තවත් ඉහළ දැමීමට සමත්ව තිබේ.

ආනන්ද සංචිතය

අශෙල් සිගේරා (නායක), ලහිරු අත්තනායක (උප නායක), දමින්ද රෙෂාන්, දුශාන් හෙට්ටිගේ, ශමල් හිරුශාන්, කලන විජේසිරි, හසිඳු විජේවර්ධන, ලක්ෂිත අමරසිංහ, විශ්වජිත් එදිරිසිංහ, කනිෂ්ක රන්තිලකගේ, කාවින්ද තල්ගස්දුව, දෙනෙත් ප්‍රමුධිත, කමල් කාරියවසම්, මෝධිත රණතුංග, මඕෂධ ප්‍රනාන්දු, චාමික ගුණසේකර, සනත් දසනායක, කමේෂ් නිර්මාල්.

නාලන්ද විද්‍යාලයේ සූදානම

පසුගිය වසරේ සුලෝහිත සංග්‍රාමයේ තරගයේ වීරයා හා හොඳම පිතිකරු ලෙස සම්මාන දිනූ ලක්ෂිත රසාංජන මෙවර නාලන්ද කණ්ඩයම මෙහෙය වනු ඇත. මෙවර පූර්ණ තරග ජයග්‍රහණ 4කින් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 7කින් නාලන්දය ආනන්දයට වඩා ඉදිරියෙන් තබන්නට ඔහු සමත් වූ අතර 65 වසරක නිහැඬියාවකින් පසු නාලන්ද හඬ අවදි කිරීමට එය මහත් මානසික ශක්තියක් වනු ඇත.

නායක රසාංජන ලකුණු 655ක් වාර්තා කර ගනිමින් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් වූ උපනායක සුහඟ විජේවර්ධන ලකුණු 613ක් රැස් කර ගනිමින් නාලන්දා පිතිකරණ ලැයිස්තුව බල ගන්වනු ඇත.

දකුණතින් පා දඟපන්දු යවන කවීශ තරුෂ සහ නවක චමිඳු විජේසිංහ මෙවර ආනන්දීය පිතිකරුවන් මුලාවේ දමනු ඇත. පිළිවෙළින් කඩුලු 58ක් හා 48ක් බැගින් රැස්කර ගෙන ඇති ඔවුන් හට මෙවර තරගය ජය ගැනීමේ ප්‍රධානතම වගකීම හිමි වනු ඇත.

නාලන්ද සංචිතය

ලක්ෂිත රසාංජන (නායක), සුහඟ විජේවර්ධන (උපනායක), කළණ කත්‍රිආරච්චි, අවිශ්ක පෙරේරා, සචිත ගුණතිලක, උමෙක්ෂ දිල්ෂාන්, කවීශ තරුෂ, මහිම වීරකෝන්, දිල්හාර පොල්ගම්පොල, රුසිරු ද සිල්වා, දිනේන්ද්‍ර කස්තුරිආරච්චි, රවින් ද සිල්වා, මදූශ හසරංග, චමිඳු විජේසිංහ, නිපුන් දේවින්ද, රනිඳු ද සිල්වා, ප්‍රසන්න දහනායක.

අවසන් සටහන

89 වැනි සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන නාලන්ද ක්‍රිකට් කණ්ඩයම මෙවර ආනන්දයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. වසර 65ක අමිහිරි මතකයෙන් මිදී මෙවර ශූරතාව දිනා ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වි තිබේ. කරට කර දක්ෂතා සහිතව සිටින ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය මෙවර කවරදාටත් වඩා උණුසුම් වනු ඇත.

89 වන සුලෝහිත සංග්‍රාමය ThePapare.com හා ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ සජීව ලෙස ගෙන ඒමට අප සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<