යුධ හමුදාවේ අලුත් යුද්ධයට විදුලියේ බලපෑම කෙසේ වේවිද?

1018

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වොලිබෝල් කණ්ඩායම් කිහිපය පමණක් සහභාගී වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් අවසන් කිරුළු පැළඳවීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. අවසන් මහා තරගය එළඹෙන 18 වැනිදා පැවැත්වෙන්නේ විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ යුධ හමුදා කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකාවේ එකම වෘත්තීය වොලිබෝල් කණ්ඩායම වන විදුලිබල මණ්ඩල කණ්ඩායමත්, ආරක්ෂක සේවා අතුරින් හිස ඔසවාගත් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් මේ වන විට අවසන් මහා තරගය සඳහා පුහුණුවීම් වල නිරත වේ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහොමයක් ක්‍රීඩා කිරීමට නියමිත මෙම තරගය ගැන කෙටි විපරමක යෙදෙමු.

අවසන් පූර්ව වටය තරණය

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසය තුළ ප්‍රථම වරට සජීව වෙබ් අඩවි විකාශයක් ලෙස ThePapare.com වෙබ් අඩවිය තුළින් වොලිබෝල් ප්‍රේක්ෂකයන්ට තිලිණ වූ 2017 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් පූර්ව තරගවල දී උක්ත දෙපිලටම හිමි වූ අභියෝගයන් සුළුපටු නොවේ. විදුලිබල මණ්ඩල කණ්ඩායමට පසුගිය වසරේ ශූරතා අවසන් මහා තරගයේ දී හමු වූ ඉකුත් ශූරයන් වන වරාය අධිකාරිය සමඟින් සටන් වදින්නට සිදු විය.

පසුගිය වසරේ වාඩුව ගන්නට එය මනා අවස්ථාවක් වූ නමුත් පළමු වටයේ දී වරාය අධිකාරිය ලකුණු 24ක් ලබා ජයග්‍රහණයට එක් ලකුණක් පමණක් පිටුපසින් සිටිය දී, විදුලිබල මණ්ඩලය ලබා සිටියේ ලකුණු 19ක් පමණි. එහෙත් වොලිබෝල් ක්‍රීඩාවේ චමත්කාරය ප්‍රදර්ශනය කරමින් සටන්කාමීව ක්‍රීඩා කළ විදුලිබල මණ්ඩලය, ප්‍රතිවාදීන්ට ඒ එක් ලකුණ නොදී ලකුණු 29-27ක් වශයෙන් ඔවුන්ව පරාජය කොට තරගයට “ගැම්ම” ගත්තේය.

දෙවන හා තෙවන වට පිළිවෙළින් 25-20ක් සහ 25-21ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයට පියමැනූ විදුලිබල මණ්ඩලය “සුන්දර පළිගැනීමක” පහස විඳගත්තේය.

යුධ හමුදාවට අවසන් පූර්ව වටයේ දී මුහුණ දීමට සිදු වූයේ පෙර වසරේ තෙවන ස්ථානය ලබා ගැනීම සඳහා සටන් වදින්නට සිදු වූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟිනුයි.

එහි දී ලකුණට ලකුණ, පහරට පහර දෙපිලෙන්ම දිස්වූ අතර පළමු වටය ගුවන් හමුදාව විසින් හිමිකර ගත්තේ ලකුණු 25-23ක් ලෙසයි. එහෙත් පසුව ක්‍රියාත්මක වූ යුධ බල ඇණිය 25-20ක්, 25-23ක්, 25-20ක් වශයෙන් ඉතිරි වට තුනම ජය ගත්තා පමණක් නොව අවසන් මහා තරගයේ අසුන් වෙන්කර ගන්නට ද සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය

වසර 101ක ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසය තුළ තුඩ තුඩ නැගෙන රාවයක් වූ “යුධ හමුදා වොලිබෝල් කණ්ඩායම” 90 දශකය දිග්විජය කළ වොලිබෝල් කණ්ඩායම වන අතර තවමත් ඔවුන්ගේ කීර්ති නාමය නොසිඳී පවතියි.

90 දශකයේ දී K. M. K. සුනිල් වැනි අතිදක්ෂ ප්‍රහාරකයන් ශ්‍රී ලංකාවට තිලිණ කළ ඔවුන්, 2016 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ තෙවන ස්ථානයත් රූපවාහිනී-තරුණසේවා වොලිබෝල් ශූරතාවලියේ පළමු ස්ථානයත් දිනා ගත්තේය. දැනටත් ජාතික කණ්ඩායමේ නායක ෂමිල් මලින්ත ඇතුළුව ජාතික කණ්ඩායම නියෝජනය කරන දිලින සුධාරක, චාමර මිහිරාන් සහ වසන්ත ලක්මාල් වැනි ක්‍රීඩකයන් ද යුධ හමුදාව සතුය.

සරත් ද සිල්වා මහතාගේ පුහුණුකාරිත්වයෙන් වොලිබෝල් පිටියට පිවිසෙන ඔවුන්, මෙවර තමන්ට ලැබුණු අවස්ථාව කිසිසේත්ම අත්හරින්නට සූදානම් නැත.


ප්‍රබල ක්‍රීඩකයන්

  • ෂමිල් මලින්ත – මොහු වත්මන් ශ්‍රී ලංකා වොලිබෝල් නායකයාය. දක්ෂ කෙටිපන්දු ප්‍රහාරකයෙකු වන ෂමිල්, නිමා වූ ආසියානු වොලිබෝල් ශූරතාවලිය ද නියෝජනය කළේය. නවගමුව මහා විද්‍යාලයෙන් ඔහු ජාතික තලයට පිවිසියේය.
  • චාමර මිහිරාන් – පසුගිය ආසියානු වොලිබෝල් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඕනෑම අංශයකින් දස්කම් දැක්විය හැකි මොහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ වොලිබෝල් නිෂ්පාදනයක් වේ.
  • මහේෂ් කුමාර – නිමා වූ අවසන් පූර්ව තරගයේ පළමු වටය පරාජය වීමෙන් පසු යුධ හමුදාවට අවශ්‍යව තිබූ ජවය සැපයූවේ ඔහුයි. ගුවනේ රැඳී සිට වේගවත් පහරවල් එල්ල කළ හැකිවා සේම, ඔහුට හොඳ පන්දු පිරිනැමීම් ද සිදු කළ හැකිය. ඔහු වොලිබෝලය අතට ගෙන ඇත්තේ පොල්ගහවෙල මධ්‍ය විද්‍යාලයෙනි.

පසුගිය වසරේ මන්චි වොලිබෝල් ශූරතාවලියේ දී තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදු වූ පසු, පුහුණුකරු සරත් ද සිල්වා ThePapare.com අප හට පැවසූ වදන සිහිවේ.

“ශූරතාවය දිනන්න තිබුණු කණ්ඩායමක් මේ.”

දැන් ඔවුන්ට ඒ සඳහා ඉඩකඩ ලැබී ඇති අතර අවසන් පිම්ම පැන ගැනීමේ අභියෝගය දැඩි විය හැක්කේ පසුගිය වසරේ අනුශූරයන් මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති හෙයිනි.

යුධ හමුදා වොලිබෝල් සංචිතය ෂමිල් මලින්ත (නායක), චමින්ද පුෂ්පකුමාර, අනුරාධ දයාරත්න, ඉසුරු මධුෂාන්, මහේෂ් කුමාර, නලීන් කරුණාරත්න, කසුන් කීර්තිරත්න, රොමේෂ් එරංග, කලෙයි චෙල්වන්, චාමර මිහිරාන්, මහේෂ් වන්නිගම, හර්ෂ සිල්වා, ලක්ෂාන් ලියනගේ, වසන්ත ලක්මාල්.

විදුලිබල මණ්ඩලය

මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය වොලිබෝල් කණ්ඩායමයි. අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාගේ සංකල්පයකට අනුව නිර්මාපිත කණ්ඩායමෙන් සියලු දෙනාම පාහේ කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ ජාතික ක්‍රීඩකයන් වේ.

පසුගිය වසරේ දී මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට ද, රූපවාහිනී-තරුණසේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගයට ද සුදුසුකම් ලැබූ නමුත් ශූරතාවයකින් තම උත්සාහයට මල් මාලා පැළඳ ගැනීමට ඔවුන්ට නොහැකි විය. එහෙත් මෙවර යළිත් යුධ හමුදාව හමුවේ තමන්ගේ දස්කම් එළිදැක්වීමේ වරම ඔවුන්ට හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වේගවත්ම උස පන්දු ප්‍රහාරකයා වන දීප්ති රොමේෂ්, ජාතික කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩක ඩබ්ලිව්. ලක්මාල්, ශ්‍රී ලංකා 23න් පහළ සංචිත නායක අයේෂ් පෙරේරා ඔවුන් සතු සම්පත් වේ.

චමින්ද ජයරත්න මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඔවුන් තරගයට සහභාගී වේ.

ප්‍රබල ක්‍රීඩකයන්

  • දීප්ති රොමේෂ් – මේ ශ්‍රී ලංකාවේ වේගවත්ම උසපන්දු ප්‍රහාරකයා යි. ඔහුගේ පහරක් වැළකීම කෙතරම් අසීරු දැයි දන්නේ දන්නෝමය. ඔහු සීදූව දවිසමර විද්‍යාලයේ ආදි සිසුවෙකි.
  • ගයාන් ප්‍රේමරත්න – ශ්‍රී ලංකා උපනායකයා මෙන්ම තවත් වේගවත් උසපන්දු ප්‍රහාරකයෙකු වන ගයාන්, පන්දු පිරිනැමීමෙන් ලබා දුන් ලකුණු 4, අවසන් පූර්ව තරගයේ පළමු වටය ජය ගැනීමට අවශ්‍ය මනෝ ශක්තිය කණ්ඩායමට එක්කළේය. රුවන්වැල්ල රාජසිංහ විදුහලෙන් ශ්‍රී ලංකාවට බිහි වූ ක්‍රීඩකයෙකි.
  • සඳුන් විමලසේන – උසින් අඩු, ඉහළ ඉපිලීමක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ඔහුව හැඳින්විය හැකිය. ශරීර ශක්තිය පමණක් නොව උපක්‍රමශීලීත්වය ද ක්‍රීඩාවේ අංගයක් බව සිහිකරවන ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ද නියෝජනය කොට ඇති ඔහු රුවන්වැල්ල රාජසිංහ විදුහලෙන් ක්‍රීඩාවට පිවිස ඇත.

පසුගිය වසරේ තරගාවලි දෙකක දී අවසන් මහා තරගයට පිවිස, ශූරතාවය පෙනී පෙනී අහිමි වූ ඔවුන්, මෙවර වඩාත් හොඳ සූදානමකින් පසුවන බව වරාය අධිකාරියට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ඔහු දැක්වූ දස්කම් වලින් පෙනී ගියේය.

විදුලිබල මණ්ඩල සංචිතය ගයාන් ප්‍රේමරත්න (නායක), දීප්ති රොමේෂ්, කසුන් චතුරංග, ඩබ්ලිව්. ලක්මාල්, අයේෂ් පෙරේරා, කසුන් ලහිරු, ලසන්ත පතිරණ, සඳුන් විමලසේන, කවිඳු චන්ද්‍රසිරි, නිශාන් කොඩිසිංහ, සුජීව ජයතුංග, රුවක්ශාන් ඔබේසේකර, ලහිරු මධුශංක, තරිඳු මධුශාන්.

කණ්ඩායම් දෙකටම සුබ පතන අතරම උණුසුම් අවසන් මහා තරගයක වාර්තාමය අත්දැකීම ලබා ගන්නට ThePapare.com හා එක්වන ලෙස ද ආරාධනා කරන්නෙමු.

 >> වොලිබෝල් ලිපි සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<