මිරාන් නිලංගන අභියෝගතා කුසලානය හඟුරන්කෙතට

336

පසුගිය ජුනි 07, 08 සහ 09 යන දිනයන්හිදී දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති මිරාන් නිලංගන අභියෝගතා කුසලාන යොවුන් තායි බොක්සිං තරගාවලිය ජය ගැනීමට හඟුරන්කෙත ක්‍රීඩා සමාජය සමත් විය.

වයස අවුරුදු 10 සිට 17 දක්වා කාණ්ඩ වලින් පැවති තරග වලින් අනතුරුව රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් හඟුරන්කෙතට ජය හිමිවන විට, ක්‍රීඩා සංගම් 30ක පමණ සහභාගීත්වය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කගේ පමණ සහභාගීත්වය මෙවර කැපී පෙනිණි.

හඟුරන්කෙත ක්‍රීඩා සමාජයේ ජයග්‍රාහී ක්‍රීඩකයන් ඔවුන්ගේ පුහුණුකරු සමඟ

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී තුර්කියේ දී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් මුයි තායි ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම ද මෙයින් සිදුකෙරිණි. ලෝක මට්ටමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුයි තායි දස්කම් වලට හොඳම උදාහරණය පසුගිය වසරේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වූ කසුන් කෞෂල්‍ය (පොඩ්ඩා) සහ මෙවන්යා පීරිස් ලෝක ශූරතා තරගාවලියේ දී පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් රැගෙන පැමිණීමයි.

ලෝකය ජයගත් මුයිතායි පොඩ්ඩෝ දෙන්නා

මෙය යොවුන් ලෝක ශූරතා තරගාවලියක දී ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ලබා ගත් ඉහලම ජයග්රහණය ලෙස ඉතිහාසයට යනු ඇත.

මේ වන විට හඟුරන්කෙත පල්ලේබෝවල මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආධිපත්‍යය තහවුරු වී ඇති ක්‍රීඩාවක් වන මෙහි දී ඔවුන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ජමිත ගයාන් නම් තරුණ පුහුණුකරුවායි. ජයග්‍රාහී හඟුරන්කෙත ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ද ඔහුය.

ජමිත ගයාන්

මුයි තායි නැතහොත් තායි බොක්සිං ක්‍රීඩාව මෙරට පමණක් නොව ලොව පුරාම ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවකි. ඔන්ග්-බැක් චිත්‍රපටයට ද පාදක වූ මුයි තායි ක්‍රීඩාව මෙරට ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ මිරාන් නිලංගන මහතාව සිහිකරමින් මෙම තරගාවලියට උක්ත නම යොදා තිබේ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<