ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු උපනායිකාව මෙලොවින් සමුගනී

160

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල හා දක්ෂ ක්‍රීඩිකාවක් වන මෙලනි විජේසිංහ අද (20) උදෑසන මෙලොවින් සමුගත් අතර එම ප්‍රවෘත්තිය දැල්පන්දු ක්‍රීඩිකාවන්ට මෙන්ම සමස්ත ක්‍රීඩා සමාජයටම සංවේගයක් ගෙන දුන් එකක් විය. 

මෙලොවින් සමුගන්නා විට 17 හැවිරිදි වූ මෙලනි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියාය.

බලාපොරොත්තු රැසක් සමඟින් යොවුන් දැල්පන්දු කණ්ඩායම නේපාලයට

දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි…..

මෙලනි විජේසිංහගේ සමීපතම පවුලේ ඥාතීන් පවසන ආකාරයට ඇය පසුගිය අගෝස්තු මස පැවති සමස්ත ලංකා දැල්පන්දු තරගාවලිය අතරතුර දී රෝගාතුර වී ඇති අතර ඉන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණවල දී ඇයගේ මෙම රෝගී තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත. 

පසුගිය දින කීපය තුල ඇයගේ රෝගී තත්වය උත්සන්න වී ඇති අතර මහරගම පිළිකා රෝහලට ඇතුළත් කර තිබුණි. 

මෙලනි විජේසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් ලෙස ඇය දස්කම් දැක්වීමට සමත්ව සිටියාය. 

2017 වසරේ දී 8 වැනි යොවුන් ලෝක දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනා ගන්නා මෙලනි එම කණ්ඩායමේ දී ඇයට වඩා වසර 4 – 5ක් පමණ වැඩි ක්‍රීඩිකාවන් සමඟින් කරට කර සටන් කිරීමට සමත් විය. 

අඩි 6 අඟල් 3ක් උස මෙලනි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායිකාව ලෙස පසුගිය ජුනි මාසයේ දී තේරී පත්වූ අතර එයට පෙර මෙලනි ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ඇතුලත්ව සිටියාය. ගෝල විදින්නියක ලෙස කණ්ඩායමට ඇයගෙන් ලැබූ දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වැනි ස්ථානය දිනා ගැනීම සඳහා විශාල ලෙස උපකාර විය. 

අ. පො. ස.සාමාන්‍ය පෙළ දක්ෂ ලෙස සමත් වූ මෙලනි මෙලොවින් සමුගන්නා විට වෛද්‍යවරියක වීමේ අරමුණින් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියාය. 

ශ්‍රී ලංකා දැල්පන්දු අනාගතයේ දීප්තිමත් තරුවක් වීමේ සිහිනය අතරමග නවතා දැමීමට සිදු වූ මෙලනි විජේසිංහ හට නිවන් සුව ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කර සිටිමු. ඇයගේ පවුලේ ඥාතීන්ට අපගේ සාතිශය සංවේගය ද දක්වා සිටිමු. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<