එංගලන්තයේ සිට ශ්‍රී ලංකාව කරා – මාවින් හැමිල්ටන්

325

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගියදා “FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලිය” සඳහා සූදානම් වීමට ක්‍රීඩකයින් 31 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරන ලදි. එම තරගාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ මැකාවු රාජ්‍යයි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන පාපන්දු තේරීම් තරග වලදී දැක්වූ දක්ෂතා

2022 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත මීළඟ “FIFA ලෝක කුසලාන තරගාවලිය” සඳහා අදියර 5කින් සමන්විත සුදුසුකම් ලබාගැනීමේ…

එම ක්‍රීඩකයින් 31 දෙනා අතර සිටින සුවිශේෂීම ක්‍රීඩකයා නම් එක්සත් රාජධානියේ මාවින් හැමිල්ටන් ය.

මෙම 31 දෙනාගේ සංචිතය ගැන දිවියින පුරා ක්‍රීඩා ලෝලීන් විවිධ අදහස් දක්වද්දී ThePapare.com මේ සූදානම මාවින් හැමිල්ටන් ගේ වතගොත සොයා යන්නටයි.

කවුද මේ මාවින්? ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ඇයි?

1988 ඔක්තෝබර් මස 08 වනදා එංගලන්තයේ ලේයිටන්ස්ටෝන් හිදී උපත ලැබූ හැමිල්ටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලබා ගන්නේ සිය මව් පාර්ශවය නිසයි.

“මගේ මව ශ්‍රී ලාංකිකයෙක්. ඇයගේ නම කුමාරි සිල්වා. ඇයගේ ගම කොළඹ. ඇය අධ්‍යාපනය සඳහා තමයි එංගලන්තයට ආවේ. මගේ පියාගේ රට නයිජිරියාවයි. ඔහුගේ නම ෆීලික්ස් හැමිල්ටන්.” ThePapare වෙත අදහස් දක්වමින් හැමිල්ටන් පවසා සිටියා.

අඩි හයක් උස මැදපෙළ ක්‍රීඩකයෙකු වන ඔහු, එක්සත් රාජධානියේ දකුණු ජාතික ලීග් පාපන්දු තරගාවලිය සඳහා Eastbourne Borough FC ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.

හැමිල්ටන්ගේ ක්‍රීඩා දිවිය

හැමිල්ටන් ඔහුගේ ක්‍රීඩා දිවිය ආරම්භ කළේ Gillingham FC ක්‍රීඩා සමාජයෙන්. එතැන් පටන් ඔහු දකුණු එංගලන්තය පුරාම ලීග් තරගාවලි ක්‍රීඩා නොකරන ක්‍රීඩා සමාජ කිහිපයකම ක්‍රීඩා කර ඇති අතර සයිප්‍රසයේ, ඕස්ට්‍රේලියාවේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ද ඔහු ක්‍රීඩා කර තිබෙනවා. කනිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස ඔහු Arsenal කණ්ඩායමේ තේරීම් තරගාවලි වලට ඉදිරිපත් වී ඇති අතර පසුව 2005 වසරේදී ඔහු Gillingham FC ක්‍රීඩා සමාජය සමඟ යොවුන් ක්‍රීඩකයෙකු ලෙස එකතු වුනා.

“එක්සත් ජනපදයේ සෑම දෙනෙකුම ළමා කාලයේදී පාපන්දු ක්‍රීඩා කරනවා. කෙසේ වුනත් මම ළමා කාලයේ එතරම් ක්‍රීඩා කළේ නැහැ. මම වයස 12දී තමයි පාපන්දු ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. මගේ පාසලේ ක්‍රීඩකයෙකු ඔහු ක්‍රීඩාකළ රිජ්වේ රෝවර්ස් කියන ක්‍රීඩා සමාජයට මාවත් එක්කන් ගියා. මම එහි වසර කිහිපයක් ක්‍රීඩාකළා. එතැන් පටන් Arsenal ඇතුළු ප්‍රධාන පෙළේ කණ්ඩායම් කිහිපයකටම මම තේරීම් තරගාවලි සඳහා සහභාගී වුනා.”

“මම වෘත්තීමය පාපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නේ වයස අවුරුදු 18ක් වන විටයි. මම ක්‍රීඩාකළ ක්‍රීඩා සමාජය තමයි Gillingham FC ක්‍රීඩා සමාජය. මම 2005 වසරේ සිට 2008 වසර දක්වා එහි ක්‍රීඩාකළා. අනතුරුව මම සයිප්‍රසයට ගියේ APEP ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න. එහි මම පළමු කාණ්ඩයේ එක් වසරක් ක්‍රීඩාකළා. ඉන්පසුව මම නැවත එංගලන්තයට පැමිණ ලීග් තරගාවලි ක්‍රීඩා නොකරන කණ්ඩායම් කිහිපයකටම ක්‍රීඩාකළා. අනතුරුව මම මාස කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. මම නැවත එංගලන්තයට පැමිණියේ දකුණු එංගලන්තයේ ක්‍රීඩා කිරීමේ අරමුණින්. මම එක් වසරක් ඇමරිකා එක්සත් ජනපදයේ ද ක්‍රීඩා කර තිබෙනවා.”

2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය චීනයට?

2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා වූ සටන දකුණු කොරියාව විසින් අතහැර දැමීමෙන් අනතුරුව…

2010 වසරේදී හැමිල්ටන් සයිප්‍රසයේ APEP ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකළ අතර එහිදී ඔහු තරග 26ක් තුළ ගෝල 5ක් වාර්තා කිරීමට සමත් වුනා. පසුව ඔහු 2012-13 තරගවාරයේදී Eastbourne Borough ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකළ අතර එහිදී ඔහු තරග 33ක් ක්‍රීඩා කරන්නට සමත් වුනා. එම වසරෙන් පසුව ඔහු ක්‍රීඩක හුවමාරු කිරීම් (Loan) යටතේ වෙනත් ක්‍රීඩා සමාජ කිහිපයකද ක්‍රීඩාකළා.  

හැමිල්ටන්ගේ ඊළඟ නවාතැන වුනේ ඕස්ට්‍රේලියාව. වික්ටෝරියා ප්‍රිමියර් තරගාවලියේ සදර්න් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩාකළ ඔහු පසුව බ්‍රිස්බේන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඇල්බනි ක්‍රීක් කණ්ඩායමට ක්‍රීඩාකළා. කෙල්ම්ස්ෆොර්ඩ් සිටි ක්‍රීඩා සමාජයේ ද ක්‍රීඩාකළ ඔහු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලයේදී ක්‍රීඩා සමාජ තුනක ක්‍රීඩා කරමින් තරග 19කදී ගෝල 10ක් වාර්තා කළා.

ඔහු 2014-15 තරගවාරය සඳහා යළි Eastbourne Borough ක්‍රීඩා සමාජයට එකතු වුනු අතර යළි තරග 35ක් ඔහු එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකළා. එතැන් සිට ඔහු දිගටම ක්‍රීඩා කළේ Eastbourne Borough ක්‍රීඩා සමාජයේමයි.   

ශ්‍රී ලංකාව සමඟ අනාගත බලාපොරොත්තු

පාපන්දු ක්‍රීඩා කරන අතරම පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකාවට ඉතා වටිනා සම්පතක්.

“මම 2015 වසරේදී සයිප්‍රසයෙන් පැමිණි පසු UEFA B සහතිකය ලබා ගෙන මම එතැන් සිට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. මම මගේ පළමු පුහුණුකරුවා ලෙස කටයුතු කළ ඩැනී බේලි සමඟ පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කළා. ඔහු තමයි මගේ පාපන්දු දිවියට ගොඩක් උපකාර කළේ.”

ඔහු පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පසුව ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වා තිබුනා.

“මම පසුගිය වසරේදී මගේ පවුලේ අයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණියා. පසුව මට අවස්ථාවක් ලබාගත හැකිදැයි කියා මම බලධාරීන් සමඟ වසරක් පමණ සාකච්ඡා කළා. මට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න හැකි වෙයි කියා විශ්වාසයක් තිබුනේ නැහැ. ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පිළිබඳව මෙතරම් උනන්දුවක් ඇති කියා මම ඇත්තටම සිතුවේ නැහැ.”

“නමුත් මට දැන් පේනවා ඔවුන් ඉතා උනන්දුයි කියා. මම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම ජාත්‍යන්තර තලයට රැගෙන යන්න මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.”

ලෝක කුසලාන තේරීම් තරග සහ දකුණු ආසියානු තරගාවලියට සූදානම

එළඹෙන ජුනි මස 06 වන දින මැකාවු හිදී ආරම්භ වන 2022 ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරග සහ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට…

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම කටාර් රාජ්‍යයේ දී මැකාවු කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තේරීම් තරග වලට සුදානම් වෙනවා. හැමිල්ටන් බලාපොරොත්තු වෙන්නේ මැකාවු කණ්ඩායමට එරෙහිව තරගයේදී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන්නටයි.

“මම කටාර් වෙත එන්න මඳක් ප්‍රමාද වුනත් දැන් මම කණ්ඩායම සමඟ එකතු වෙලා ඉන්නේ. මට ද්විත්ව පුරවැසිභාවය ඉක්මණින් ගන්න පුළුවන් වුනොත් මට මැකාවු කණ්ඩායම සමඟ තරගය ක්‍රීඩා කරන්න හැකි වෙනවා.”

                 >> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<