ඉන්දියාව මවිත කරමින් යොවුන් ලෝක කුසලානය බංග්ලාදේශයට!

83

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශයට ලෝක කුසලානයක පහස විඳ ගැනීමට ඉඩ ලබා දෙමින් මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත්විය. ඒ අවසන් මහා තරගයේ දී සුපිරි ක්‍රීඩා රටාවක යෙදෙමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට බංග්ලාදේශයට අද (09) හැකිවූ බැවිනි.

අභියෝගවලට අභියෝග කළ ඉන්දියාවේ අලුත් වීරයා – යශස්වි ජයීස්වාල්

“මම ඔහුව පොරොන්දු කරගත්තා. ඔහු පොරොන්දු වුනා මේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ගන්න. මම ඔහුට කිව්වා ඔහු ඒක කළොත් මම ඔහුට කාරයක් …

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුනු මෙම යොවුන් ක්‍රිකට් මංගල්‍යයේ වීරයින් අභිෂේක ගැන්වීම සඳහා වේදිකාව සැකසී තිබුනේ පෝචෙෆ්ස්ට්‍රෝම් හිදීයි. තීරණාත්මක සහ උණුසුම් තරග 47කට පසුව තරගාවලියේ අවසන් ජවනිකාව රඟ දැක්වීම සඳහා සුදුසුකම් ලැබුවේ ආසියානුකරයේම කණ්ඩායම් ද්විත්වයක් වන ඉන්දියාව සහ බංග්ලාදේශයයි. දකුණු අප්‍රිකාව වැනි වේගවත් තණතිලි වලින් බහුල රටක ආසියානු කණ්ඩායම් දෙකක්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීම සතුටට කාරණාවක් වුවද ශ්‍රී ලංකාවට එහි මුල් වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවීම දැඩි කණගාටුවට කරුණකි.

අද යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගය සඳහා වෙන්වී තිබූ තණතිල්ල නම් එතරම් හොඳ තත්ත්වය නොතිබූ නිසා දෙපිළේම ක්‍රීඩකයින් සිටියේ කාසියේ වාසිය ගැන ඇස ගසාගෙනයි. ඒ එතරම් ලකුණු රහිත මෙවන් තණතිල්ලක මුලින් පන්දු යැවීම වැඩි වාසි ගෙනදෙන බැවිනි. ඒ අනුව දෙපිළේ නායකයින් අතරින් ඉහළ නැගුණු කාසිය බංග්ලාදේශ නායක අක්බාර් අලිට වාසි ගෙනදෙමින් පෙරලී ගියේ ඔහුට වඩාත් පහසු තීරණයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා කරමිනි.

තණතිල්ලේ හැසිරීම ගැන දන්නා ඉන්දීය පිළ ද ඉනිම ආරම්භයේ සිටම ඉතාමත් සුපරීක්ෂාකාරී ලෙස පන්දුවට පහර දුන්නේ අසාමාන්‍ය ලෙස අඩු ලකුණු වේගයක් ද සහිතවයි. කෙසේවෙතත් ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 9 දී අහිමි විය. එතැන් පටන් ඉතාමත් සංයමයෙන් ඉනිම ගොඩ නැගූ යශස්වි ජයිස්වාල් සහ තිලක් වර්මා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවයක් ගොඩ නැගූහ. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ජයිස්වාල් පන්දු 121කට මුහුණ දෙමින් ලකුණු 88ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟයි.

කිවියන්ගේ අලුත්ම අත්හදාබැලීම ඉන්දීය පිළ දණ ගස්වයි!

මීට පෙර කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැති 25 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නෙකුගේ ආගමනයෙන් ශක්තිමත් වුනු නවසීලන්ත පිළට…

අනෙක් අන්තයේ සිට ඉන්දීය ඉනිම ගොඩ නැගීමට හවුල් වුනු තිලක් වර්මා ලකුණු 38ක් ලබා ගැනීම සඳහා පන්දු 65ක් වැය කළේය. ඒ හතරේ පහර 3ක් පමණක් එල්ල කරමිනි. මේ වනවිට කිසිවෙකු ඉන්දීය ඉනිම ලකුණු 177කට සීමා වෙනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතූ අතර අවසානයේ සිදුවූයේ එයමයි. ඒ යශස්වි ජයිස්වාල්, තිලක් වර්මා ගොඩ නැගූ සබඳතාවයෙන් පසු දෘව් ජුරෙල් ලබාගත් ලකුණු 22 හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වීමත් සමඟයි.

බංග්ලාදේශ යොවුන් වේග පන්දුවේ ජවය මීට මූලික හේතුව වූ අතර ශොරිෆුල් ඉස්ලාම්, තන්සිම් සකීබ් සහ අවිශේක් දාස් යන ක්‍රීඩකයින් තිදෙනා අද අවසන් තරගය කණපිට හැරවීමේ මුල් ගල් තුන බවට පත්වූහ. ඒ ඉන්දියානු කඩුලු 7ක් තමන් අතරේ බෙදා ගනිමිනි. මීට අමතරව නායක අක්බාර් අලි නැණවත් අයුරින් පිටිය සකසමින් නියමිත පරිදි පන්දු යවන්නන් මාරු කරමින් තරගාවලිය පුරාවට තමන් ලබාදුන් නායකත්වය මෙම අවසන් තරගයේදීත් අකුරටම ලබා දුන්නේය.

ත්‍රිත්ව ශතකලාභීන්ගේ නව සාමාජිකයා – රමේෂ් මෙන්ඩිස්

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුව ඉතා කෙටිය. එහි අලුත්ම සාමාජිකයා වූයේ රමේෂ් මෙන්ඩිස් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන…

ඒ අනුව ලකුණු 178ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ පිළේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවේ ජයග්‍රහණයක් පිලිබඳව තිබූ සියලු සැක සැංකා දුරු කර දමමිනි. මේ අතර පිටියේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි පාවේස් එමොන් තම වම් පාදයේ ආබාධයකට ලක්ව පිටිය මැද ඇද වැටුනු අතර ප්‍රතිකාර වලින්ද සුවයක් නොවූ නිසා ඔහුට සිදුවූයේ පිටියෙන් ඉවත්ව යාමටයි. මේ අනුව ලද අවස්ථාවෙන් ක්ෂණිකව ඵල නෙලා ගැනීමට සිතූ ඉන්දීය පිළ ඉක්මනින් බංග්ලාදේශ කඩුලු 6ක් බිඳ හෙලුවේ නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමිනි.

එන පොට හොඳ නැති බව වටහාගත් පාවේස් එමොන් තම වේදනාව පසෙක දමා නැවතත් පිටිය මැදට ගියේ මෙවර ජයග්‍රහණය මග හැරුනොත් තවත් වසර ගණනාවකට බංග්ලාදේශයට කුසලානයක් හිමි නොවීමට ඉඩ ඇති බව දන්නා නිසාවෙනි. ඒ අනුව ඔහු අද දිනයේ දැවී ගියේ පන්දු 79කට ලකුණු 47ක් රැස් කරමින් තම සේවය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමෙන් අනතුරුවයි. බොහෝ බංග්ලාදේශ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යද්දී එක් අන්තයක් රැකගෙන තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කළ නායක අක්බාර් අලි අද නොදැවී ලකුණු 43ක් ලබා ගත්තේය.

ඒ අනුව බංග්ලාදේශයට කඩුලු 3ක තියුණු ජයක් ලබමින් කුසලානය දෝත දැරීමේ වරම් උදාවිය. තරගයේ අවසන් කොටසේ දී ක්‍රීඩාංගණයට වැසි පතිත වුවද නැවත සුළු වේලාවකින් තරගය ඇරඹීමට හැකි වූ නිසා එය බංග්ලාදේශ ජයග්‍රහණයට බාධාවක් වූයේ නැත. එහිදී පන්දුවාර 46කදී බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 170කි. පන්දු යැවීමේදී රවී බිශ්නෝයි කඩුලු 4ක් දවා ගත්තේය. තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවූයේ සුපිරි නායකත්වයක්, සුපිරි පිති හරඹයක් සමඟින් තම රටම සතුටු කළ බංග්ලාදේශ යොවුන් නායක අක්බාර් අලිටයි.

සචිත්‍රගෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම අංශවලට සමු දීමට…

තරගාවලියේ වීරයා සම්මානය අනුශූරතාවය දිනාගත් ඉන්දීය පිළ වෙනුවෙන් පිත්තෙන් සුවිශාල සේවයක් ඉටු කරමින් තරග 6කදී ලකුණු 400ක් ලබාගත් යශස්වි ජයිස්වාල්ට හිමිවිය. මෙය ශ්‍රී ලංකා පුහුණුකරුවෙකු ලෝක කුසලානයක ශූරයින් සඳහා ගුරුහරුකම් ලබාදුන් පළමු අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්වෙයි. ඒ 2018 වසරේ සිට බංග්ලාදේශ පිළේ ප්‍රධාන පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකා පිළේ හිටපු වමත් පිතිකරුවෙකු සහ පා දඟ පන්දු යවන්නෙකු වන නවීඩ් නවාස් වීම නිසයි.

ඉන්දියාව – සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 47.2)

යශස්වි ජයිස්වාල් 88, තිලක් වර්මා 38, දෘව් ජුරෙල් 22, ප්‍රියාම් ගාග් 7, අවිශේක් දාස් 3/40, තන්සිම් සකීබ් 2/28, ශොරිෆුල් ඉස්ලාම් 2/31.

බංග්ලාදේශය – කඩුලු 7ක් දැවී ලකුණු 170 (පන්දුවාර 42.1) 

පාවේස් එමොන් 47, අක්බාර් අලි 43*, තන්සිඩ් හසන් 17, රකිබුල් හසන් 9, රවී බිශ්නෝයි 4/30, සුශාන්ත් මිශ්රා 2/25.

ප්‍රතිඵලය – ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<