ත්‍රිත්ව ශතකලාභීන්ගේ නව සාමාජිකයා – රමේෂ් මෙන්ඩිස්

201

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුව ඉතා කෙටිය. එහි අලුත්ම සාමාජිකයා වූයේ රමේෂ් මෙන්ඩිස් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ පැවති  මුවර්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේ දී රමේෂ් මෙන්ඩිස් පන්දු 270කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 300ක් ලබා ගන්නවා. එය රමේෂ්ගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමයි. 

කවර් ඩ්‍රයිව් පහරේ සන්නාමය – කුමාර් සංගක්කාර

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කරවන සචින් ….

“දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුව කාලයක සිටම තිබුණා. ඒක ඉෂ්ට කර ගැනීමට හැකි වීම ගැන සතුටුයි. ලකුණු අතරට එද්දි මේ වගේ දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්න හැකි වෙයි කියල හිතුවෙ නැහැ. නමුත් ශතකය ලබා ගත් පසුව විශාල ඉනිමකට යන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුනා. ඒ ගැන සතුටුයි.”

රමේෂ් අප සමඟ කතාවට එක් වුණේ එ් ආකාරයෙන්. රමේෂ්ගේ ඉනිමට හතරේ පහර 28ක් සහ හයේ පහර 10ක් ඇතුළත් වුනා. ඔහු පළමු ලකුණු 50 වාර්තා කරන්න පන්දු 85ක් වැය කරනවා. නමුත් ශතකය දක්වා යන්න ඔහු ඊට පසුව වැය කරන්නේ පන්දු 41ක්. ඊට පසුව තරමක් මන්දගාමී වන ඔහුගේ ඉනිමේ අවසන් ලකුණු 100 වාර්තා කිරීමට වැය කරන්නේ පන්දු 62ක් පමණයි. 

“තරමක් පීඩාවක් නොතිබුණාමත් නොවේ. නමුත් මට මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න නම් ඒ සියලු අභියෝග ජය ගත යුතු බැව් වැටහී තිබුණා. ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායමේ ද ප්‍රබල පිතිකරුවෝ කිහිප දෙනෙක්ම හිටියා. මේ නිසාම අපිට වැඩි ලකුණු ප්‍රමාණයක අවශ්‍යතාව ද දැඩිව දැනී තිබුණා. කණ්ඩායමට වැඩි ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය නම් කඩුලු අතර හොඳ ලකුණු සබඳතා කිහිපයක් එක්විය යුතුයි. මෙතැන දී මට සචිත්‍ර සේරසිංහ සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 294ක සබඳතාවක් සහ නිමන්ද සුබසිංහ එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 154ක සබඳතාවක් ගොඩ නගන්න හැකි වෙනවා. මම විශ්වාස කරනවා මට මේ වගේ ඉනිමකට යන්න ඒ සබඳතා වැදගත් වුනා කියලා.” රමේෂ් තම ත්‍රිත්ව ශතකය කරා පැමිණි ගමන පැවසුවේ එලෙසින්.

රමේෂ් ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියට දායාද වෙන්නේ පිට පළාත් ක්‍රීඩකයෙක් ලෙසින්. රමේෂ්ගේ උපන් ගම වෙන්නේ අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශය. එය පිහිනුම් ක්‍රීඩකයන්ගේ තෝතැන්නක්. රමේෂ්ගේ උපත සිදු වෙන්නේත් මේ කියන ඌරවත්ත බිමේ. ගමේ ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ම තැනක් නොමැති වූවත් රමේෂ්ගේ හිත යන්නේ ක්‍රිකට් වෙත. ලැබෙන සුළු හෝ විවේකය රමේෂ් ගත කළේ ක්‍රිකට් සමඟ.

රමේෂ්ගේ ගෙදර පරිසරය හැඩ ගැන්වුණේ පිහිනුම් ක්‍රීඩාවත් සමඟ. ඒකට ප්‍රබලතම හේතුව වුනේ රමේෂ්ගේ පියා ප්‍රසන්න මෙන්ඩිස්. ඔහු SAG පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙක්. ප්‍රසන්න මෙන්ඩිස් 1987 සහ 1989 වසරවල පැවති SAG තරගාවලි නියෝජනය කළා. 

ඉතිං මේ SAG පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයා, රමේෂ්ව හය හතර තේරෙන්න ගත්ත දා සිට කළේ පිහිනුම් ක්‍රීඩකයෙක් කිරීමේ මංපෙත හදන එක. ඔහු ඒ වෙද්දී ගමේ පිරිස වෙත මාදම්පා ගඟේ දී තම අත්දැකීම් බෙදා හදා දුන්නා. මේ යන ගමනට කුඩා රමේෂ්ව ද එක් කර ගැනීමට ඔහු අමතක කළේ නැහැ. 

තම අඩි පාරේ යමින් රමේෂ් දිනෙන් දින පිහිනුම් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වද්දී ප්‍රසන්න මෙන්ඩිස් තරම් සතුටු වූ වෙනත් කෙනෙක් සිටින්නට නැතිව ඇති. ඔහු දකින්නට ඇත්තේ තමන් සේ ම තම වැඩිමහල් දරුවා ද දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන අයුරුයි. මේ සිහිනයේ සිටි රමේෂ්ගේ පියා, කුඩා රමේෂ්ව අම්බලන්ගොඩ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගයටත් සහභාගී කරවනවා. එහි දී රමේෂ්ට ඉදිරි පෙළ ස්ථානයක් නොමැති වුනත් තමන් සහභාගී වූ තරග දෙකම නිමා කරනවා. 

නමුත් දිනෙන් දින රමේෂ් පිහිනුම් ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. පොලිස් සේවයේ නියුතු පියාගේ කාර්යබහුලත්වය හේතුවෙන් රමේෂ්ගේ පිහිනුම් පුහුණු කටයුතුත් ඔහු වෙතින් ටිකෙන් ටික දුරස් වෙනවා. කුඩා රමේෂ් පිහිනුම් ක්‍රීඩාව පසෙක තබමින් පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙනවා. නොබෝ දිනකින්ම දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙන රමේෂ් සමස්ත ලංකා මට්ටමේ දක්ෂතා දක්වනවා.

පියා පිහිනුම් ක්‍රීඩාවේ දී  රමේෂ් අසලින්ම සිටියා සේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී රමේෂ් අසල දැවටුණේ ඔහුගේ මව වන දුල්මිණි කහඳවල. ඇය සමස්ත ලංකා පදක්කම්ලාභී මලල ක්‍රීඩා සහ දැල්පන්දු ක්‍රීඩිකාවක්. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් පැහැදිලි අනාගතයක් පෙන්නුම් කළ ද  රමේෂ් එය එකපාරටම අතහැර දමනවා. ගෙදරින් ඊට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

රමේෂ්ගේ තෝරා ගැනීම වී තිබුණේ ක්‍රිකට්. මේ සම්බන්ධයෙන් පියා නිහඬ වතත් පෙන්නුම් කළත් මව ඊට තදින්ම විරුද්ධ වුනා. ඇය රමේෂ් බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහරිනවාට කොහෙත්ම කැමති වී තිබුණේ නැහැ. එහෙත් රමේෂ් ද තම ආසාව අතහැරියේ නැහැ. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට තිබෙන තම ආසාව බැගෑපත්ව පැවසුවා. මුරණ්ඩු වෙමින් පැවසුවා. එහෙත් ඔහුට ඉඩක් නොලැබෙන බවකුයි පෙනෙන්නට තිබී ඇත්තේ. 

මෙතැන දී රමේෂ්ගේ සිහිනය සැබෑ කර ගැනීමට උදව්වට පැමිණෙන්නේ විශ්‍රාමික මේජර් නිමල් මෙන්ඩිස් වන රමේෂ්ගේ බාප්පා. ඔහු රමේෂ්ගේ වගකීම් සියතට ගනිමින් දෙමාපියන්ගේ ආශීර්වාදය ද සමඟින් රමේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළා. 

රමේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන්. ඒ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමෙන්. ඔහුගේ මුල්ම පුහුණුකරු වුනේ සුරාජ් සංජීව මහතා. ඔහු යටතේ පුහුණුවීම් කරමින් රමේෂ් වසර ත්‍රිත්වයක් ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. 2008 වසරේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ ද රමේෂ්. 

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් බෞතිස්ම ලැබූ රමේෂ් 2008 වසරේ දී එහි ක්‍රිකට් ක්‍රීඩාවට තිත තබනවා. රමේෂ්ගේ අලුත් නවාතැන් පොළ වෙන්නේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ප්‍රතිවාදීන් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. එහි වයස අවුරුදු 15න් පහළ සිට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් දක්වා සෑම වයස් කාණ්ඩයකම නායකත්වය ද සමඟින් ධර්මාශෝක ධජය යටතේ තම දක්ෂතා ලබා දෙනවා. එහි උච්චතම අවස්ථා දෙකක් සටහන් වෙනවා. 

පළමු වසර වෙන්නේ 2012/13 තරග සමය. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 98ක් සහ ලකුණු 500කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා රමේෂ් එම වසරේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් සහ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාවෙන් ද පිදුම් ලබනවා. ඒ වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නේ සධීර සමරවික්‍රමයි. 

අනතුරුව එළඹි 2013/14 වසරේ දී ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ රමේෂ්ට. රමේෂ්ගේ එම වසරේ දක්ෂතාව වන්නේ තරග 8කට සහභාගී වෙමින් කඩුලු 60ක් සහ ලකුණු 800කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමයි. ඒ වසරේ නැවත වතාවක් දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන රමේෂ්, කුසල් මෙන්ඩිස්ට දෙවැනියා වෙමින් දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාවය පිට පිට දෙවැනි වරටත් දිනා ගන්නවා. 

 

රමේෂ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් 2014 වසරේ ලෝක කුසලාන තරගාවලිය, එම වසරේම පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ බංග්ලාදේශය, ඉන්දියාව යන රටවල් සමඟ පැවති තරගාවලියන් ද නියෝජනය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශයට එරෙහිව ද ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව ද ක්‍රීඩා කරනවා. 

මේ ලැබූ සෑම තරගයක දී ම සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට රමේෂ් සමත් වෙනවා. නැගී එන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 54ක් සහ නොදැවී ලකුණු 97ක් ලබා ගැනීමට රමේෂ් සමත් වෙනවා. ඒ තමයි ඔහුගේ විදෙස් රටකට එරෙහිව හොඳම දක්ෂතාව. පන්දු යැවීමේ දී එම තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 5ක් ලබා ගැනීමට ද ඔහු සමත් වෙනවා. 

රමේෂ් පළමු පෙළ තරගාවලියට එක් වෙන්නේ 2015 වසරේ දී එස්. එස්. සී. කණ්ඩායමෙන්. අනතුරුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයටත් සහ වර්තමානයේ මුවර්ස් ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කරනවා. ඊට අමතරව ඔහු පාසල් සමයේ දී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා.

එමෙන්ම නිමා වූ 27 වැනි සිංගර් කුසලාන වෙළඳසේවා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට හිමිකම් කීමට ඩිමෝ කණ්ඩායම නියෝජනය කරන රමේෂ් සමත් වුනා. 

රමේෂ්ගේ පාසල් කාලයේ පුහුණුකරුවන් පෙළ ගැසෙන්නේ සුරාජ් සංජීව, විරාජ් චමින්ද, පී. මිල්ටන් සහ ඉසුරු අනුෂ්ක ය. ඔවුන්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්, පළාත් සහ දිස්ත්‍රික් කණ්ඩායම් නියෝජනයේ දී ඔහුගේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු සෑම දෙනෙක්ට ද ස්තූති කිරීමට රමේෂ් අමතක කළේ නැහැ. එමෙන්ම තමන්ගේ කළමනාකරු ලෙසින් කටයුතු කරන සීනිගම ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර ව ද සිහිපත් කිරීමට රමේෂ් අමතක කළේ නැහැ. 

රමේෂ්ගේ බාල සහෝදරයන් දෙදෙනා ද ක්‍රිකට් ක්‍රීඩකයන්. නිමේෂ් මෙන්ඩිස් මීට වසර දෙකකට පමණ ඉහත දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරුවා. අනෙක් සහෝදරයා වන මලිත්ත මෙන්ඩිස් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙක්.

මොවුන්ට තමන් දන්නා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුරුහුරුකම් ලබා දෙන රමේෂ්, අනාගතයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම දක්ෂතා එක් කිරිමට බලා සිටී. ඔහුගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු.   

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<