“පිරිමි ළමයිනුත් එක්ක සෙල්ලම් කරනවා කියලා තාත්තා මට ගැහුවා.” – අන්ජු

13

බිලියනයකට වැඩි ජනගහනයක් සහිත ඉන්දියාවේ ළාබාලතම ‘A’ ශ්‍රේණියේ පුහුණුකාරිනිය බවට අන්ජු තුරඹේකර් පත්වුණේ පසුගිය වසරේ දීයි. ආසියානු පාපන්දු සම්මේලනය විසින් පිළිගත් පුහුණුකාරිනියක වූ අන්ජුගේ කතාව පුදුමාකාරය. 

මේ වන විට ඉන්දියාවේ මූලික පාපන්දු සංවර්ධන වැඩසටහන භාරව සිටින්නේ 30 හැවිරිදි ඇයයි. මේ, ඇය සමඟින් ඉන්දියානු මාධ්‍යවේදිනී ලක්ෂ්මි නේගී (Rediffහි) පැවැත්වූ සාකච්ඡාවක සිංහල පරිවර්තනයයි. මෙය ඕනෑම ළාබාල සිහින මවන්නෙකුට හෝ මවන්නියකට ආදර්ශයක් විය හැකිය.

මහාරාෂ්ත්‍රයේ පොඩි ගමකින් ආපු ගැහැණු ළමයෙකුට කොහොමද පාපන්දු ක්‍රීඩාව ගැන ආසාවක් ඇති වුනේ?

මට ඇවිදින්න පුළුවන් වෙන්නත් කලින් මට ගොවිපලට යන්න සිදු වුනා. ගමේ මුළු ජීවිතයම ගත වුනේ ගොවිපලේ වැඩ කරන්නයි, හරකුන්ව බලාගන්නයි, ගෙදර වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි, මලල ක්‍රීඩාවටයි, පාපන්දු ක්‍රීඩාවටයි. සෙනසුරාදාවක් හෝ ඉරිදාවක් කියලා නිවාඩු දවසක් අපට තිබුනෙම නැහැ. මම වෙන අයගේ ගොවිපලවල් වල වැඩටත් ගියා. සමහර දවස්වල මම ගොවිපලේ සමහර දේවල් විකුණන්න වෙනත් ගම්වලටයි, නගර වලටයිත් ගියා. යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න ලැබුණේ අඩුවෙන්, මොකද මට වෙලාව තිබුණේ නැහැ.

පාසල් කාලේ ඉඳන්ම මම ක්‍රීඩාවට ආසවක් තිබුණා. අපි එතකොට ලන්ග්ඩි කෝකෝ‘ (කබඩි) කළා. ශාරීරිකව මම කොහොමත් ශක්තිමත් කෙනෙක්. ඒ ගැන හැම ස්තුතියක්ම යන්න ඕන ගොවිබිමට.

Watch – Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 1

ප්‍රාථමික පාසලෙන් පස්සේ අපිව මලල ක්‍රීඩා තරගාවලියකට ළඟ තිබුණු ක්‍රීඩාංගණයකට අරන් ගියා. මම හැම ඉසව්වකින්ම ඉදිරියෙන් ඉන්න බව ඔප්පු වුනා. ක්‍රීඩාවත් එක්ක මට තිබුණු බැඳීම ඉදිරියට ගියා. ඒක මුදුනටම ගියේ මම 9 ශ්‍රේණියේ ඉන්නකොට.

පාපන්දු ක්‍රීඩාව සඳහා ගැහැණු ළමයින්ට ආරාධනා කරලා දැන්වීමක් තිබුණා. මම මගේ යාළුවෝ ටිකවත් චාටුවෙන් කැමති කරවගෙන ලොකු පාසල් ක්‍රීඩාංගණයකට ගියා. ඒ ක්‍රීඩාංගණයේ හිටගෙන හිටපු එකත් එතකොට අපිට හරි ලොකු දෙයක්. ඉක්මණින්ම පුහුණුකරු අපිව පුහුණුකරන්න ගත්තා. ගොඩක් ගෑණු ළමයින්ගේ ආසාව නැති වුනා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් විදිහට මගේ ආසාව වැඩි වුනා. පාපන්දු ගැන වැඩිපුර දැනගන්න මට ඕන වුනා. හැම දක්ෂතාවයක්ම ඉගෙන ගන්න මට ඕන වුනා.

මම හිටියේ බස් ප්‍රවාහනය නැති පොඩි ගමක. එතකොට පාපන්දු පුහුණුවීම් වලින් පස්සේ අඳුරේම මම ගෙදරට ඇවිද්දා. ඒත් මම ඒ කිසි දෙයක් බාධාවක් කරගත්තේ නෑ.

මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ ගොවිපලක්

දෙමව්පියන්ගෙනුත් විරෝධයක් තිබුණා. පිරිමි ළමයිනුත් එක්ක පාපන්දු ක්‍රීඩා කරනවා කියලා තාත්තා මට ගැහුවා. ඒත් මම ඒක ගානකටවත් ගත්තේ නැහැ. ඔබ විශ්වාස කරයි ද දන්නෙ නෑ මම කිව්වොත්, මම පාපන්දු ක්‍රීඩා කළේ ට්‍රැක් බොටම් එකක් ඇඳගෙන. මම ගමක කෙල්ලෙක් නිසා මම අඳින දේවල් ගැන මම කල්පනාවෙන් හිටියේ. ඒත් ඒක ප්‍රායෝගික නෑ කියලා මම තේරුම් ගත්තා. ඒ නිසා මම ඉස්කෝලෙදි ඇඳුම් මාරු කරලා ගෙදර යන්න පටන් ගත්තා.

ඉක්මනටම කොල්හාපූර් වලදී 19න් පහළ තෝරාගැනීමේ පරීක්ෂණයක් තිබුණු නිසා මාව මුම්බායි නගරයට යැව්වා. මගේ දෙමව්පියෝ මට අවසර දෙන එක ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ නිසා මම එයාලට කිව්වෙ හෝ සල්ලි ඉල්ලුවේ නැහැ.

සංගමයෙන් මට බස් ගාස්තුවයි, තව දීමනාවකුයි දුන්නා. එතන ඉඳන් ආපහු හැරීමක් තිබුණේ නැහැ. අවුරුදු කිහිපයකින් මම මහාරාෂ්ත්‍ර කණ්ඩායම නියෝජනය කළා.

Watch – Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 2

ඔබේ දෙමාපියන්ව කැමති කරවගන්න කොච්චර අමාරු වුනා ද?

19න් පහළ තේරීම් පරීක්ෂණයෙන් පස්සේ ඇසෑම් වල තිබුණු ජාතික ශූරතාවයට මහාරාෂ්ත්‍ර කණ්ඩායමෙන් ක්‍රීඩා කරන්න මාව තේරුනා. මගේ නම කොල්හාපූර් නගරයේ පත්තරවල ගියා වගේම මිනිස්සුන්ගේ කතාබහට ලක්වුනා.

කොහොම වුනත් මගේ දෙමව්පියෝ පාපන්දු ක්‍රීඩාව වෘත්තීයමය තෝරාගැනීමක් විදිහට පිළිගත්තේ නැහැ. ජාතික තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කරලත්, මහාරාෂ්ත්‍ර පිලේ නායකයා වෙලත් (කොල්හාපූර් වලින් ආ පළවෙනි නායිකාව බවට මම පත්වුනා) දෙමාපියන් කිව්වා පාපන්දු ක්‍රීඩා කරන එක නවත්තලා රැකියා සුරක්ෂිතභාවය ගැන හිතලා පොලිස් සේවයට බැඳෙන්නකියලා. බාගෙට වගේ මම ඉල්ලුම් කරා, ඒත් විභාගෙට පෙනී සිටියේ නැහැ.

රැකියා පරිසරයක හිරවෙලා ඉන්න මට ඕන වුනේ නැහැ. මට ඕන වුනේ පාපන්දු ක්‍රීඩා කරන්න. අන්තිමට අවුරුදු 17 දී මම වෘත්තීය වශයෙන් පාපන්දු ක්‍රීඩා කරන්න ඕන කියලා හිතලා ගෙදරින් පැනලා ගියා. සාමාන්‍යයෙන් ඔබ පත්තරෙන් දකීවි විවාහය සඳහා නිවසින් පැන ගිය තරුණියවගේ දේවල්. ඒත් මම ගෙදරින් පැනලා ගියේ පාපන්දු ක්‍රීඩා කරන්න.

මුල දී ඒක දරාගන්න පහසු වුනේ නැහැ. ඒත් මම මගේ අධ්‍යාපනය අවසන් කරලා, වැඩ කරන්න පටන් අරන්, ගෙදරට උදව් කරන්න පටන් ගත්තට පස්සේ අම්මයි තාත්තයි සතුටු වුනා. එයාලගේ විශ්වාසය දිනාගන්න අවුරුදු ගානක් ගතවුනා.

පාපන්දු ක්‍රීඩාව වැඩිපුරම ගැළපෙන්නේ පිරිමින්ට යැයි මතයක් තිබුණා. ඔබ ක්‍රීඩාව කළමනාකරණය කරගත්තේ කොහොමද?

ඒක අනිවාර්යයෙන්ම විවාදාත්මකයි. මම මගේ පවුලෙයි ගමෙයි වැඩිහිටියන්ගේ විවාදවලට පැටලුණා. ගැහැණු ළමයින් කොට කලිසම් අඳින එක, වෙලාවක් අවේලාවක් නැතුව ගෙදර එන එක සහ සාමාන්‍යයෙන් පිරිමින්ගේ ක්‍රීඩාවක් කියලා සැලකුණ ක්‍රීඩාවක් කරන එක මිනිස්සු එකඟ වෙන්න ලෑස්තියෙන් හිටපු දෙයක් නෙමෙයි. මමත් ගොඩක් තැන්වල දී ඒක අත්දැකලා තියෙනවා.

“ඒත් ඒක ප්‍රායෝගික නෑ කියලා මම තේරුම් ගත්තා.”

මගේ පවුල පැත්තෙන් ගත්තහම නම් ඒක අනුමත කළ නොහැකි හැසිරීමක්‘. මගේ ගමේ සහ අවට ගම්වල සමහරු මගේ තාත්තව පොලඹවන්න හැදුවා. මම බයික් පදින්නත් පුරුදු වුනා. ඒකෙන් තවත් කතා කරන්න දේවල් නිර්මාණය වුනා, මොකද වාහන පදවන එකත් අතිශයින්ම පිරිමින්ට අයත් එකක්නේ.

මුලින්ම මගේ තාත්තා මැදිහත් වෙලා මට පාපන්දු සහ ඉස්කෝලේ යන එක නවත්තන්න කිව්වා. ඒ වගේම දහය වසරේ විභාගෙන් පස්සේ විවාහ වෙන්න කියලත් කිව්වා. ඇත්තටම ඒක විහිළුවක්.

ඔබ ආදරය කරන දේ හඹා යෑම සඳහා ඔබ ගොඩක් කරදර සහ අභියෝග පසු කළා. මේ එක මොහොතක දී හරි ඔබට හිතුණ ද ඒක අතාරින්න?

මගේ තාත්තා මට පොලිසියට බැඳෙන්න කියලා බල කරයින් පස්සේ මට කරන්න තිබුණේ එක දෙයයි. ඒ තමයි ගෙදරින් යන එක. මම මගේ බෑග් එක පැක් කරගෙන ගෙදරින් ගියා.

එතකොට අහමදාබාද් වල ජාතික ශූරතා තරගාවලියක් පැවැත්වෙමින් තිබුණා. මහාරාෂ්ත්‍ර කණ්ඩායමට මාව ඕන වුනා. ඒත් මට ඔවුන්ට එකතු වෙන්න බැරි වුනා. මම මගේ අසල්වැසි පාපන්දුලෝලී වැඩිහිටියෙකුගෙන් රුපියල් 1000ක් ඉල්ලගෙන මුම්බායි වලට ගිහින් එතනින් අහමදාබාද් වලට ගියා. අන්තිම තරග දෙකට මම ඔවුන් එක්ක එකතු වුනා. අපි අනුශූරයන් වුනා.

පුහුණුකරු මගේ දක්ෂතා ගැන සතුටු වුණු නිසා ඔහුට ඕන වුනා මාව පූනේ වල ඔහුගේ පාපන්දු සමාජයට බඳවා ගන්න. මට යන්න තැනක් තිබුණේ නැති නිසා මම එක පයින්ම හාකිව්වා. ඔවුන් පොරොන්දු වුනා මගේ නවාතැන් ගාස්තුයි අධ්‍යාපන ගාස්තුයි ගෙවන්න.

මම දවසේ ආදායම හොයාගන්න මම නැවතිලා හිටපු ගෙදර භාජන හේදුවා. මම අම්මා තාත්තා එක්ක කතා කළේ නැහැ. ඔවුන් මට කතා කරන්න උත්සාහ කළෙත් නැහැ. පාපන්දුවලින් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න ඕන කියන අධිෂ්ඨානයෙන් මම ගියා.

ඒ මම දක්ෂතාවලින් උඩින්ම හිටපු කාලයක්. ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න මම අවුරුද්ද පුරාම මහන්සි වුනා. ඒ කාලේ දී මම දෙපාරක්ම ඉන්දියානු පුහුණු කඳවුරට තේරුනත් අවාසනාවකට ඒ එකක්වත් පැවැත්වුණේ නෑ.

අවුරුදු එක හමාරක් මම පූනේ වල හිටියා. පූනේ වල ඉන්න එක මුම්බායි වල ඉන්නවා වගේම අභියෝගාත්මකයි. එක කාලයක් තිබුණා මම දවල්ට කන්නේ මොනවද කියලා හිත හිත හිටපු, මොකද මට සල්ලි නැති නිසා.

ඒ අවුරුද්ද අවසානයේ මම ජාතික කණ්ඩායමේ තෝරාගැනීමේ කඳවුරකට සහභාගී වෙනකොට මහාරාෂ්ත්‍ර කණ්ඩායමේ පුහුණුකරු මට NGO කණ්ඩායමක් (මැජික් බස්) පුහුණු කරන්න රැකියාවක් ලබා දුන්නා. මම ගොඩක් සතුටු වුනා වගේම ජාතික කඳවුරෙන් ආවට පස්සේ මම කෙළින්ම මැජික් බස්එකත් එක්ක එකතු වුනා.

අද ඇය ප්‍රකට පුහුණුකාරිනියකි.

මුම්බායි වලට එනකොට මට අවබෝධ වුනා, ‘ඉංග්‍රීසි අමතක කරන්න, මම මගේ හින්දි භාෂාව ඉගෙන ගන්නත් වැඩ කරන්න ඕනකියලා. NGO එකේ ප්‍රධානියා ඉංග්‍රීසි කතා කරද්දී මට වචනයක්වත් තේරුණේ නැහැ.

මම නැවතිලා හිටියේ ඩොක්යාඩ් පාරේ කුලියට. මගේ පඩිය රුපියල් 5000යි. මම මගේ අධ්‍යාපනයයි කුලියයි දෙකම ඒ අතර කළමනාකරණය කරගත්තා. 2008න් පස්සේ මම පාපන්දු ක්‍රීඩා කළේ නැහැ. මට උසස් වීමක් ලැබුණා සහ මගේ රස්සාව වෙනුවෙන් ගොඩක් ගමන් යන්න වුනා. මගේ පාසල තිබුණේ පූනේ වල, මම හිටියේ මුම්බායි වල. රස්සාවයි, අධ්‍යාපනයයි මාරුවෙන් මාරුවට කරන්න අමාරුයි.

මම අවංකවම ධනාත්මක පුද්ගලයෙක්. මම කවදාවත් මං කරමින් හිටපු දේවල් අතෑරියේ නැහැ. පාපන්දු ක්‍රීඩාවෙන් සහ මගේ මුල් කාලේ ගොවිපලෙන් උගත් සාරධර්ම, මාව අද ඉන්න කෙනා බවට පත්කරන්න ඉතාම වැදගත් වුනා. වටිනාකම් සහ මගේ ජීවිතය අතර මම ගොඩනගාගත්තු සම්බන්ධකම වඩා හොඳ හෙටක් සඳහා මාව රැගෙන යන්න උදව් වුනා. අදටත් හැම මිනිත්තුවක්ම උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න මම මගේ දවස විශ්ලේෂණය කරනවා.

ඔබ ක්‍රීඩා කිරීමෙන් පසුව පුහුණුකාරීත්වයට මාරු වුනේ ඇයි? මේ තීරණය ආවේ කොතනින්ද?

මැජික් බස්එකේ වැඩ කරන්න ගත්තායින් පස්සේ මට තේරුණා පාපන්දු ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙන බව. කෙමෙන් කෙමෙන් දියුණු කිරීම ක්‍රීඩකයන්, පුහුකණුකරුවන් සහ දෙමාපියන්ව කෙතරම් දියුණුවට පත්කරනවද කියලා තේරුම් ගන්න මැජික් බස්එක මට ගොඩක් උදව් වුනා. මගේ අධ්‍යාපනය ඉදිරියට කරගෙන යෑම අත්‍යාවශ්‍යයි කියන එක ඒ ක්‍රියාවලියේ දී මම අවබෝධ කරගත්තා.

ඉන්දියානු තේරීම් කඳවුර දෙපාරක්ම අවලංගු වුණු නිසා ගොඩක් අවස්ථා නැති බවත් මට දැනුණා. වැඩ කරන එක ප්‍රමුඛ දේ වුනා වගේම ඒක දවසින් දවස වැඩුණා. ජීවිකාව වෙනුවෙන් මුදල් උපයන්න මට ඕන වුනා වගේම හෙමින් හෙමින් මම ජාතික තරගාවලි ක්‍රීඩා කරන එක නැවතුණා. ඒත් වෙලාව තිබුණු හැම විටකම මම දේශීය මට්ටමේ තරගාවලි වලට සහභාගී වුනා.

ආසියානු පාපන්දු සම්මේලනයෙන් ‘A’ ශ්‍රේණියේ පුහුණුකාරිනියක වූ ළාබාලතමයායි ඔබ. ඔබ එය ළඟා කරගත්තේ කොහොමද?

අන්ජු, පුහුණුකිරීමක් අතරතුර

‘A’ ශ්‍රේණියේ උපාධිය සමත් වෙන්න මට අවුරුදු ගණනාවක සූදානමක්, මහන්සියක්, කැපවීමක් කරන්න සිදු වුනා. මං හිතන්නේ ඒක ලොකු වගකීමක් සහ තවත් අභියෝග භාරගන්න ඒක විසින් මාව පොලඹවනවා කියලයි. මට පාපන්දු පුහුණුකාරීත්වය ගැන ආසාවක් ඇති වුනේ මගේ පාපන්දු ක්‍රීඩා ජීවිතේ අවසන් කාලයේ දී. 2010 දී නෙදර්ලන්තයේ KNVB ජාත්‍යන්තර පුහුණුකරණ පාඨමාලාවට මගේ පළමු විදෙස් චාරිකාව හැටියට යන්න ලැබීම, මං ගැන විශ්වාසය තබන්න මට උපකාර වුනා.

මම මගේ පළවෙනි ‘D’ ශ්‍රේණියේ බලපත්‍රය 2012දී මුම්බායි වලදී සමත් කරලා තිබුණා. ඒකෙන් පස්සේ තව දේවල් ග්‍රහණය කරගනිමින් මාව තවත් දියුණු කරගන්න මම අවධානය යොමු කළා. හැම පාඨමාලාවකටම පස්සේ මම අවබෝධ කරගත්තා මම වෘත්තීයමය වශයෙන් දියුණු වෙන බව.

කාන්තා කණ්ඩායමක් පුහුණු කිරීම හා සැසඳීමේ දී පිරිමි කණ්ඩායමක් පුහුණු කිරීම කොච්චර අමාරු ද?

අවංකවම රැකියාවේ දී මම පිරිමි පාපන්දු/කාන්තා පාපන්දු කියලා වෙනස් කරලා හිතන්නේ නැහැ. මූලික මට්ටමේ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් මම පුහුණුකිරීම් සහ උපදේශනයන් බොහොමයක් කරලා තියෙනවා. ඉතින් මම වැඩිපුරම පුහුණු කරන්නේ පිරිමි පුහුණුකරුවන්ව. මම කලින් මුම්බායි වල පිරිමි කණ්ඩායමක වැඩ කරලා තියෙනවා. ලෝකේ පුරාම පිරිමි පුහුණුකරුවන්ට පාපන්දු ක්‍රීඩා කිරීම් වල, පුහුණු කිරීම් වල, තරගාවලි වල වැඩිපුර ඉඩ කඩ ලැබෙනවා.

Watch – රොනාල්ඩෝට කලින් හිටපු රොනාල්ඩෝ – Ronaldo Nazario De Lima

ඉතින් ඔව්, අත්දැකීම් වැදගත්. ඒත් ඔබට ආත්ම විශ්වාසය තිබෙනවා නම්, ඔබ හොඳින් ඉගෙන ගන්නෙකු නම්, කරන්න බැරි දෙයක් නැහැ. පිරිමි අයත් එක්ක වැඩකරද්දී මම කවදාවත් හිතන්නේ නැහැ මම කාන්තාවක් කියලා. මම ප්‍රමුඛත්වය දෙන්නේ ගුණාත්මකභාවය ලබා දෙන්න සහ වඩා හොඳ වෘත්තිකයෙකු වෙන්න.

පෞද්ගලිකව සහ වෘත්තීයව ඔබට ඔබ ගැන තිබෙන සිහිනය කුමක්ද?

මට ඕන පුළුවන් විදිහකට මගේ රටට සේවය කරන්නයි. මම අඩියෙන් අඩිය තමයි යන්නේ. පාපන්දු ක්‍රීඩා කිරීමේ හීනය මම සැබෑ කරගෙන තියෙන්නේ. නමුත් පුහුණුකාරිනියක හැටියට තාම පටන් ගත්තා විතරයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<