CH පැරදූ CR ක්‍රීඩකයෝ ක්ලිෆර්ඩ් කුසලාන අවසන් පූර්ව වටයට

562
CH & FC v CR & FC

2018 ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ලෙස CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (17) පැවති තරගය ලකුණු 46-29ක් ලෙස ජයග්‍රහණය කළ CR & FC ක්‍රීඩා සමාජය තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

නාවිකයෝ පොලීසිය හිස් අතින් ගෙදර යවති

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග වටය ආරම්භ කරමින් අද (16) නාවික හමුදා ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජයත් තුරඟ තරග…

තරගය ආරම්භයේ පටන් ප්‍රතිවාදී CH ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කළ CR ක්‍රීඩකයින් තරගයේ 7 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. එහි දී ජොයෙල් පෙරේරා විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට ද තරින්ද රත්වත්තේ සමත් විය. (CR 07-00 CH)

අනතුරුව ඊට වහාම පිළිතුරු දැක්වූ CH ක්‍රීඩකයින් තරගයේ 11 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයට අවතීර්ණ වන්නට සමත් විය. එහි දී CR ක්‍රීඩකයින් ප්‍රදර්ශනය කළ දුර්වල ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ලබාගත් CH කණ්ඩායමේ අනුරාධ හේරත් සාර්ථකව පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සැමුවෙල් මදුවන්ත විසින් සාර්ථක කරගන්නා ලදි. (CR 07-07 CH)

පසුව CR ක්‍රීඩකයින් පිට පිට උත්සාහක දිනුම් තුනක් වාර්තා කර ගනිමින් ඉතා ප්‍රබල ලෙස තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම රීසා රෆයිඩීන් විසින් ද, දෙවන උත්සාහක දිනුම නායක කවිඳු පෙරේරා විසින් ද, තෙවන උත්සාහක දිනුම ගයාන් දිල්ෂාන් විසින් ද වාර්තා කර ගනු ලැබීය. එම අවස්ථාවන් තුනේ දී ම එම උත්සාහක දිනුම් සඳහා ඉවහල් වූයේ ඔවුන් ප්‍රදර්ශනය කළ ඉතා ඉහළ පන්දු හුවමාරු කර ගැනීම සහ CH ක්‍රීඩකයින්ගේ දුර්වල ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය යි. කෙසේ නමුත් එහි දී රත්වත්තේ විසින් ලබාගත් ප්‍රවර්තන අවස්ථාවන් තුනම අසාර්ථක විය. (CR 22-07 CH)

අනතුරුව CH ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබුවත් එය උත්සාහක දිනුමක් නොවන බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම අවස්ථාව ඔවුන්ට අහිමිව ගියේය.

අනතුරුව තරගයේ 35 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට CH ක්‍රීඩකයින් සමත් වූ අතර එය ලබාගත් මදුවන්ත පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කරන්නට සමත් විය. (CR 22-10 CH)

පසුව නැවතත් ක්‍රියාත්මක වූ CH ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් වූ අතර එය වාර්තා කර ගනු ලැබුවේ මෙම තරගයේ සිය දෙවන උත්සාහක දිනුමට හිමිකම් කියූ අනුරාධ හේරත් විසිනි. කෙසේ නමුත් එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට මදුවන්ත අසමත් විය.  

පළමු අර්ධය : CR & FC 22 – 15 CH & FC

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබාගත් CR ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තුවක කාලයක් ගත වන විට උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට සමත් විය. ජොයෙල් පෙරේරා විසින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුමට හිමිකම් කියමින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර රත්වත්තේ විසින් එවර ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කරගන්නට සමත් විය. (CR 29-15 CH)

අනතුරුව ඔවුන් දඬුවම් පහර අවස්ථාව දිනා ගන්නට සමත් වූ අතර එය රත්වත්තේ විසින් සාර්ථක කර ගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය තවත් ඉහළ නංවා ගනිමිනි. (CR 32-15 CH)

අනතුරුව උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට CR ක්‍රීඩකයින් සමත් වූ අතර එම අවස්ථාව ඉක්මනින් ලබාගත් චානක චන්දිමාල් පන්දුව පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට සමත් විය. අනතුරුව රත්වත්තේ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නා ලදි. (CR 39-15 CH)

මහනුවර බැබළ වූ මරීජාට අමතක නොවන තෑග්ගක්

හිටපු ශ්‍රී ලංකා ජාතික රග්බි නායක සහ විශිෂ්ට ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරීජා පසුගිය දා මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තම අවසන් රග්බි තරගයට ක්‍රීඩා කළේ වසර 18ක් පුරා එම ක්‍රීඩා…

අනතුරුව තරගයේ 62 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ CH කණ්ඩායමේ සුදර්ශන මුතුතන්ත්‍රී ඔහු සතුව ඇති අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කරගනු ලැබීය. මදුවන්ත විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට ද සමත් විය. (CR 39-22 CH)

අනතුරුව තරගයේ 73 වන මිනිත්තුවේ දී CH ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබාගත් CR කණ්ඩායමේ චමෝද් ප්‍රනාන්දු පන්දුව ඉදිරියට රැගෙන යමින් එය චානක චන්දිමාල් වෙත බාර කළ අතර ඔහු කිසිදු අභියෝගයකින් තොරව පන්දුව උත්සාහක දිනුම් කලාපයට රැගෙන ගියේ තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරගනිමිනි. අනතුරුව රීසා රෆයිඩීන් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට ද සමත් විය. (CR 46-22 CH)

අනතුරුව තරගය අවසන් වන්නට පෙර CH කණ්ඩායම වෙනුවෙන් මුතුතන්ත්‍රී විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින්, මදුවන්ත විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබුවත් එය CR ක්‍රීඩකයින්ගෙන් ඔවුන්ගේ ජයග්‍රහණය උදුරා ගන්නට ප්‍රමාණවත් වූයේ නැත.

ඒ අනුව තරගය පුරාවට විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ CR&FC ක්‍රීඩකයින් මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය : CR & FC 46 (7T 4C 1P) – 29 (4T 3C 1P) CH & FC

ThePapare.com තරගයේ වීරයා: ඔමල්ක ගුණරත්න (CR&FC ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • CR & FC: ජොයෙල් පෙරේරා 2T, චානක චන්දිමාල් 2T, රීසා රෆයිඩීන් 1T 1C, කවිඳු පෙරේරා 1T, ගයාන් දිල්ෂාන් 1T, තරින්ද රත්වත්තේ 3C 1P
  • CH & FC: අනුරාධ හේරත් 2T, සුදර්ශන මුතුතන්ත්‍රී 2T, සැමුවෙල් මදුවන්ත 3C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<