එයාලා හිතපු තරම් අභියෝගයක් වුනේ නැහැ –  කොළඹ පුහුණුකරු

323

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සහ ඉන්දියාවේ චෙන්නයින් පාපන්දු ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේ දී අද (06) පැවති වූ පළමු අදියරේ තරගය නිමාව දුටුවේ කණ්ඩායම් දෙකටම තවදුරටත් තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු දල්වාගත හැකි පසුබිමක් නිර්මාණය කරදෙමිනි.

කොළඹ ක්‍රීඩකයෝ චෙන්නායි ක්‍රීඩකයින්ට යටත් නොවෙති

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ පාපන්දු සමාජය සහ ඉන්දියාවේ ‘Chennaiyin FC’ කණ්ඩායම අතර…

තරගයේ මිනිත්තු 90 පුරාවටම දෙපිලේම ක්‍රීඩකයින් ගෝල වාර්තා කරන්නට අපොහොසත් වූ හෙයින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

තරගයෙන් අනතුරුව  පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා කණ්ඩායම් දෙක නියෝජනය කරමින් ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනා සහ නායකයින් දෙදෙනා එක්ව සිටි අතර එහි දී චෙන්නයින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෝන් ග්‍රෙගරි මහතා අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ සමස්තයක් වශයෙන් දිනය අවසානයේ දී තම කණ්ඩායම අත්කරගත් ප්‍රතිඵලය පිළිබඳ යම්තාක් දුරකට තමා සැහීමකට පත්වන බවයි.

“අපි කොහොමත් තරගයට කළින්ම බලාපොරොත්තු වුනා කොළඹ ක්‍රීඩා සමාජයෙන් විශාල අභියෝගයක් අපිට එල්ල වේවි කියලා, මොකද එයලා පහුගිය තරග කිහිපය ඉතා හොඳින් ක්‍රීඩා කරලා හොඳ මානසික මට්ටමක් නිර්මාණය කරගෙන තිබුණා. කොහොම වුනත් අත්කර ගත්ත ප්‍රතිඵලය පිළිබඳ මම සතුටුයි. ගෝල ලබා නොදී ඉන්න පුළුවන් වීම තමයි මෙතන දී අපිට වැදගත්ම කාරණය වෙන්නේ. පිටියේ වාසියත් කොළඹ කණ්ඩායම සතු වුනා කිව්වොත් මම නිවැරදි මොකද අපි සෙල්ලම් කරන ක්‍රීඩා පිටිවල ගත්තොත් ඒවායේ මීට සාපේක්ෂව පන්දුවේ ඉපිලීම වැඩියි.”

“මේ තරගාවලියේ තරග අදියර දෙකකින් ක්‍රියාත්මක වන නිසා ඒක අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරමක් අභියෝගාත්මක වගේම වෙනස් අත්දැකීමක් ගෙන දුන්නා. අපි ඒක නිසාම තරගයක් සැලසුම් කරන්න ඕනෑ විනාඩි 90කට නෙවෙයි විනාඩි 180කට. එය හිතන තරම් පහසු කටයුත්තක් නෙමේ.”

චෙන්නායින් කණ්ඩායමෙන් කොළඹට දැවැන්ත අභියෝගයක්

2019 AFC කුසලාන පාපන්දු තරගාවලියේ Play off වටයේ දී කොළඹ ක්‍රීඩා සමාජය හා ඉන්දියානු සුපර් ලීග් ශූරයින් වන චෙන්නායින්…

“ගොඩක් ක්‍රීඩකයින්ට අද දවසේ පැවති තරගයට නිසියාකාරව අනුගත වෙන්න සෑහෙන වෙහෙසක් දරන්න සිදු වුනා, මොකද තරගය ආරම්භ කරන්න තිබුණ නියමිත වේලාවට කලින් ක්‍රියාත්මක කරන්න ගත් තීරණය නිසා. කොහොම වුනත් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය කියන්නේ ඉතාමත් දක්ෂ කණ්ඩායමක් කියන එක පැහැදිලිව කියා සිටින්න මම කැමති.”

ග්‍රෙගරි මහතා එසේ සිය අදහස් දක්වද්දී කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන රුවන් කුමාර මහතා තම මතය මෙසේ ගෙන හැරපෑවේය.

“චෙන්නයින් පිලට හොඳ තරගයක් දෙන්න පුළුවන් වුන එක ගැන සතුටුයි. අපි  ඔවුන් මීට වඩා තර්ජනාත්මක අයුරින් තරගයට අවතීර්ණ වෙයි කියලා බලාපොරොත්තු වුනත් හිතූ තරම් අභියෝගයක් එල්ල කරන්න ඔවුන්ට බැරි වුනා මොකද අපි එයාලට හිතැඟි පරිදි ක්‍රීඩා කරන්න කිසිම අවකාශයක් ලබා දුන්නේ නැහැ. චෙන්නයින් කණ්ඩායම සතුව ප්‍රබල අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම හිටියත් ඔවුන් මෙල්ල කරගෙන ක්‍රීඩා කරන්න අපේ ක්‍රීඩකයින්ට පුළුවන් වුනා.”

කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන Chennaiyin සංචිතය නම් කෙරේ

දෙවතාවක් ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි ක්‍රීඩා සමාජය (Chennaiyin FC ) 2019 AFC කුසලානට සුදුසුකම් ලැබීමේ playoff…

“අපි තරගයට කලින්ම ඉඳන් සැලසුමක් ඇතිව සංවිධානය වෙලා තමයි පිටියට පිවිසුණේ. අපි දැනගෙන හිටියා උඩින් එන පන්දුවලට අපිට ක්‍රීඩා කරන්න තරමක් අපහසුයි කියලා, මොකද එයාලගේ අපිට සාපේක්ෂව උසින් වැඩි ක්‍රීඩකයින් බොහෝ දෙනක් ඉන්නවා. ඉන්දියාවේ ඊළඟට පැවැත්වෙන දෙවන අදියරේ දී හොඳින් ක්‍රීඩා කරලා ජය ගන්න එක තමයි අපේ අපේක්ෂාව. අසිකූර්ගේ ආබාධය තාම සුව වෙලා නැති නිසා අපි හිතුවා ඔහුව මේ තරගයේ දී විවේක ගන්වන්න.”

කොළඹ ක්‍රීඩා සමාජයේ නායක චරිත රත්නායක ද සිය පුහුණුකරුගේ මත සනාථ කරමින් පවසා සිටියේ කණ්ඩායමක් වශයෙන් එකා මෙන් ක්‍රීඩා කරමින් ඉදිරියේ දී එල්ල වන ඕනෑම බාධකයක් ජය ගැනීමට තරම් ආත්ම ශක්තියක් සිය කණ්ඩායම සතුවන බවය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<