චලනිගේ ගෝල ද්විත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

524
ශ්‍රී ලංකාවට එරෙහිව මැලේසියාව | කාණ්ඩ අංශයේ තරග ‍| 5 වැනි SAFF කාන්තා ශූරතාවලිය 2019

මාලදිවයින ගෝල 2-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 5 වන SAFF කාන්තා ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය. ඒ තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස නේපාලයේ ෂහිඩ් රංග ශාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. චලනි ඒකනායක තරගයේ අර්ධ දෙකේම ගෝල වාර්තා කළේ ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන එමිනි.

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

5 වැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම…

ඉන්දියාව හා මාලදිවයින B කාණ්ඩයේ තරග කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලිකම අපේක්ෂාව වූයේ අවසන් පූර්ව වටයට පිවිසීමයි. මාලදිවයින පෙර තරගයේ දී ඉන්දියාව හමුවේ ගෝල 6-0ක පරාජයක් ලැබීම ශ්‍රී ලංකාවට අමතර වාසියක් ද විය.

පළමු පා පහරේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් අර්ධය ආක්‍රමණය කළත් ඔවුන්ගේ ආක්‍රමණවල සංවිධානාත්මක බවක් තිබුණේ නැත.

එරන්දි ලියනගේ දකුණු පස වින්ග් ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා කළ අතර ඇයගේ ප්‍රහාරයන් මත ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන් බලාපොරොත්තු තබාගෙන සිටින බව දක්නට ලැබුණි. අනෙක් ක්‍රීඩකයින් ඇයට කිහිප වතාවක්ම පන්දු යොමු කළත් ඔවුන්ගේ එම උත්සාහයන් ගෝල බවට පරිවර්තනය කිරීමට හැකියාවක් තිබුණේ නැත.  

20 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගෝලයක් වාර්තා කළත් විනිසුරු එම ගෝලය නිශ්ප්‍රභ කළේ ගෝල රකින්නියට බාධා කිරීමක් සිදු වූ බව පවසමිනි.  

අනතුරුව එරන්දිට ස්වර්ණමය අවස්ථාවක් හිමි වූ නමුත් ගෝල චතුරශ්‍රය තුළ සිට නිසි ලෙස ගෝල රාමුවට එල්ලය ගැනීමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. ගෝල රකින්නිය කිසිවක් කළ නොහැකි ස්ථානයක සිටි අතර ප්‍රහාරය නිසි ලෙස ස්ථානගත වූවා නම් එය නිසැක ගෝලයක් වන්නට ඉඩ තිබුණි.

කොළඹ ක්‍රීඩකයෝ චෙන්නායි ක්‍රීඩකයින්ට යටත් නොවෙති

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ පාපන්දු සමාජය සහ…

ඊට මොහොතකට පසු ඉමේෂා මදුශානිගේ නිදහස් පහරක් එරන්දිගේ පාදය අසලටම වැටුනත් ඇයට එම අවස්ථාවත් මගහැරුණු අතර මෙවර ඇයගේ ප්‍රහාරය ඇදී ගියේ ගෝල රාමුවේ ඉහළ දාරයෙන් එළියටයි.

අචලා සංජිවනි, නිලුක්ෂිකා කුමාරි හා චලනි  ඒකනායක මැදපෙළ ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ඉමේෂා මධුශානි මාලදිවයින් ක්‍රීඩිකාවන්ගෙන් පන්දුව උදුරා ගනිමින් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළේ කණ්ඩායමේ ශක්තිය වෙමිනි.

40 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවට ගෝල චතුරශ්‍රයෙන් පිටත නිදහස් පහරක් හිමි වූ අතර අම්නීත් ලීසා එම අවස්ථාව නැවැත්වීමට සමත් වුනත් පන්දුව නිසි ලෙස රැක ගැනීමට සමත් වූයේ නැත. චලනි එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන පන්දුව දැල තුලට එල්ල කළේ ශ්‍රී ලංකාවට තරගයේ පෙරමුණ රැගෙන එමිනි.

පළමු අර්ධය: මාලදිවයින 00 – 01 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ ද වැඩි වේලාවක් පන්දුව සමඟ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවයි.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු පහක් ගතවෙද්දී චලනි සිය දෙවන ගෝලය වාර්තා කළේ ලද පළමු අවස්ථාවෙන්ම ගෝල රාමුවේ ඉහළ කොනෙන් පන්දුව යොමු කරමින් චලනි අලංකාර ගෝලයක් වාර්තා කළ අතර අචලා සංජීවනී එම ගෝලයට සිය උපරිම දායකත්වය ලබා දුන්නේ දක්ෂ පන්දු යොමු කිරීමකිනි.

කොළඹ පාපන්දු කණ්ඩායමට එක් ගෝලයක් හරස් වේ

2019 ආසියානු පාපන්දු ශූරතාවලිය යටතේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම සහ ඉන්දියාවේ…

අවසන් මිනිත්තු දහයේ දී මාලදිවයින් ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ නමුත් ශ්‍රී ලංකා දැල් රකින්නිය අයෝමි එම සියලු අවස්ථා වළක්වන්නට සමත් විය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව හමුවේ මාලදිවයින් කණ්ඩායම තරග දෙකම පරාජය වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉන්දියා ගැටුමෙන් පසුව B කාණ්ඩයේ ප්‍රමුඛයින් කවුදැයි යන්න තීරණය වනු ඇත.

අවසන් ලකුණු තත්වය: මාලදිවයින 00 – 02 ශ්‍රී ලංකාව

ThePapare.com තරගයේ වීරයා – චලනි ඒකනායක

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවෝ:

  • ශ්‍රී ලංකාව – චලනි ඒකනායක 41’, 50’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<