2020 දිනන දක්ෂයින් සොයා යෑම මේ තරගාවලියේ අරමුණක් – හෂාන්

231

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වේ.

ඉතාමත් තරුණ ක්‍රීඩකයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් සමඟින් මෙම තරගාවලියට අවතීර්ණ වන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ මූලික ඉලක්කය වී ඇත්තේ 2020 පැවැත්වෙන ලෝක කුසලාන තරුණ එක්දින ක්‍රිකට් තරගාවලියයි.

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් සංචිතය නිකුත් වේ

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (16) ආරම්භ වන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරග…

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (15) කොළඹ දී පැවත්විය. තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරි ඇත්තේ නිපුන් ධනංජයටයි.

අපේ කණ්ඩායම ඉතාමත් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක් ඔවුන් නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීත් අපට මුණගැසුනා. අපේ කණ්ඩායමට මෙවර අලුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා.  එ් ගොල්ලන් එක්ක මේ දිනවල හොඳට අපි පුහුණුවීම් කරගෙන යනවා. මේ තරගාවලිය ඉතාමත් හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නිපුන් දනංජය පැවසීය.

වමතින් පිත්ත හසුරුවන වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය පසුගිය දා නිමා වූ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හා නිමා වූ ඉන්දීය තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවනු ලැබීය. ඒ අතරින් යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනා ගත්තේ ද ඔහුගේ නායකත්වය යටතේ වීම කැපී පෙනේ.

පර්ත් නුවර ශතකයක් වාර්තා කරගත් එකම ශ්‍රී ලාංකිකයා – හෂාන් තිලකරත්න

වර්ෂ 1986 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම්…

මේ සංචිතය අපි තෝරාගත්තේ 2020 තරුණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි. නිමා වූ තරගාවලියේ දී අපේ පිතිකරණ ලැයිස්තුවේ යම් යම් වෙනස්කම් කළේ තරගයේ වාතාවරණය අනුවයි. මේ කණ්ඩායමේ ඉන්න ගොඩක් ක්‍රීඩකයින් තරුණ නිසා 2020 පැවැත්වෙන ලෝක කුසලානයට නව සොයා ගැනීම් කරන ගමන්ම අපිට මේගොල්ලන් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්.” යැයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතායි. ඊට අමතරව චමින්ද වාස් මහතා වේගපන්දු පුහුණුකරු හා සහාය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ උපුල් චන්දන මහතායි. තවද බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා හිටපු 19න් පහළ පුහුණුකරුවෙක් වන නවීඩ් නවාස් මහතායි.

මේ තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ දකුණත් මුල්පෙල පිතිකරුවෙක් වන ටව්හිඩ් හිර්දොයි විසිනි. ඔහු තරගාවලිය පිළිබඳ සිය අදහස් මෙසේ පැවසීය.

මම පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධව මේ තරගාවලිය අපේ කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වේවි. අපේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. ඒ ඉලක්කයට යන ගමනේ දී මේ තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් වේවි.”

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති තරුණ ටෙස්ට් ක්‍රිකට් තරග හතරෙන් එක් තරගයක් (2007 වර්ෂයේ දී) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එසේම මේ කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරග 11ක් පවත්වා තිබෙන අතර එහි දී නම් වැඩි වාසිය හිමිකරගෙන ඇත්තේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ එක්දින ක්‍රිකට් තරග 6ක් ජයග්‍රහණය කරමිනි. ශ්‍රී ලංකාව බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම හමුවේ එක්දින තරග 4ක් ජයග්‍රහණය කර තිබෙන අතර තරග එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබේ.

ටෙස්ට් සංචිත

ශ්‍රී ලංකා 19න් පහළ – නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), නවෝද් පරණවිතාන ( ගාල්ල මහින්ද විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), මොහොමඩ් ශමාස් (කොළඹ සහිරා විද්‍යාලය), ජනිෂ්ක පෙරේරා (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), දිනෙත් ජයකොඩි (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), විජයකාන්ත් වියස්කාන්ත් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය) , අශේන් දිල්හාර (පානදුර සාන්ත ජෝන් විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්: ප්‍රවීන් ද සිල්වා (කැලණිය ගුරුකුල විද්‍යාලය), මුදිත ප්‍රේමදාස (කුරුණෑගල මලියදේව විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය)

බංග්ලාදේශ 19න් පහළ – ටව්හිඩ් හිර්දොයි (නායක), ටන්සිඩ් තමීම්, සාජිඩ් හුසේන්, මොහොමඩ් නවුරස් නබිල් , අමිට් හසන්, ශමීම් හුසේන්, අක්බාර් අලී, මහමදුල් හසන් ජෝයි , රකිබුල් හසන්, මින්හසූර් රහමාන් , මොහොමඩ්  රිෂාඩ් හුසේන් , ශරිෆුල් ඉස්ලාම් මොහොමඩ් මිටන්ජෝයි, අසදුල්ලා හිල් ගලීබ් , ශහීන් අලාම්.

අතිරේක ක්‍රීඩකයින්: ප්‍රිටෝම් කුමාර්, ශහදට් හුසේන්, අවිශේක් ඩයස්, ටන්සිම් හසන් සකීබ්, මෙහෙදී හසන්

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ඔක්තෝබර් 16- 20 – NCC ක්‍රීඩා පිටිය
  • දෙවන ටෙස්ට් තරගය – ඔක්තෝබර් 23-26 – කටුනායක
  • පළමු එක්දින තරගය – ඔක්තෝබර් 30 – දඹුල්ල
  • දෙවන එක්දින තරගය – නොවැම්බර් 1 – දඹුල්ල
  • තෙවන එක්දින තරගය – නොවැම්බර් 3 – දඹුල්ල
  • සිව්දින තරගය – නොවැම්බර් 6 – කටුනායක
  • පස්වන එක්දින තරගය – නොවැම්බර් 9 – කටුනායක

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<