විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!

80

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන ඕනෑම කණ්ඩායමක් ඕනෑම තත්ත්වයක් යටතේ පරාජය කිරීමට මනා දක්ෂතාවක් ඇති යුද හමුදා ක්‍රීඩා සමාජයට පසුගිය වසර කිහිපයේ දී එතරම් සාර්ථක වන්නට අවස්ථාවක් නොලැබුනි. මෙවර නව ප්‍රවීණ පුහුණුකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සමඟ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පෙරළියක් කරන්නට යුද සෙබළුන් සූදානමින් සිටියි. 

සෑම කණ්ඩායමකටම විශාල හිසරදයක් වන්නට සමත් වූ යුද හමුදා ක්‍රීඩා සමාජය ආරම්භ වූයේ 1963 වර්ෂයේ දීය. දැනට වසර 56ක් පුරා ප්‍රබල කණ්ඩායම් වලට විශාල හිසරදයක් වෙමින් සිටියත් අද වනතුරු ඔවුන්ට ලීග් රග්බි තරගාවලි ජයක් වාර්තා කරන්නට නොහැකි වී ඇත. නමුත් ප්‍රධාන තරගාවලි ජයක් වාර්තා කරමින් 1981 වසරේ දී ජෝන් සේනාවීරගේ නායකත්වය යටතේ ක්ලිෆර්ඩ් කුසලානය දියගමට රැගෙන යන්නට ඔවුන්ට හැකි විය. එසේම 2001 වසරේ දී යුද හමුදා කණ්ඩායම, අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නට ද සමත් විය.

මෙවර 2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගවාරය සඳහා යුද හමුදා ක්‍රීඩා සමාජය මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ ‘Fly Half’ සහ ‘Full Back’ යන ස්ථාන දෙකේම ක්‍රීඩා කිරීමට මනා දක්ෂතාවයක් ඇති මනෝජ් බණ්ඩාර යි. පසුගිය තරගවාරයේ දී යුද හමුදාවේ පසුපෙළ ශක්තිමත් කිරීමේ වගකීම මනාව ඉටු කරමින් බොහෝදෙනාගේ අවධානය දිනාගත් මනෝජ් හට, පන්දුව රැගෙන ධාවනයේ යෙදීමට ඇති තම ශක්තිමත් සහ වගකීම් සහගත හැකියාව කණ්ඩායම මෙහෙයවීමට රුකුලක් වනු ඇත. 

 

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මොහොමඩ් රිස්වි ‘Scrum Half’ ස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ විශ්වාසය දිනාගෙන සිටියි. නිවැරදි ඉලක්කයට එල්ල කෙරෙන පා පහර මෙන්ම තම ගෝල කලාපයෙන් ඉවතට පන්දුව යොමු කිරීමේ හැකියාව ද ඇති රිස්වි, යුද හමුදා කණ්ඩායමේ වටිනා සම්පතක් බවට පත්වීමට ප්‍රධාන හේතු සාධක ලෙස හැඳින්විය හැකිය. 

නව නියමුවෙක් සමඟ ගුවන් හමුදාව ඉගිළෙන්නට සූදානම්!

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය……………….

එසේම ගයාන් සාලින්ද ‘Full Back’ ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති අතර ඔහුගේ පන්දුවට පා පහරදීම ද තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා යුද හමුදා ක්‍රීඩා සමාජයට ඉතා වැදගත් වනු ඇත. 

පසුගිය වසරේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් වයිපර්ගුණරත්න, CH&FC කණ්ඩායම සමඟ එකතු වීමත් සමඟ පුරප්පාඩු වූ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි ක්‍රීඩකයෙකු සහ ප්‍රවීණ පුහුණුකරුවෙකු වන රදික හෙට්ටිආරච්චි තෝරාපත් කරගෙන ඇත. 

කෙසේ වෙතත් පසුගිය ලීග් තරගවාරයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජයේ දස්කම් එකම තලයක නොතිබුන ද ඔවුන් කෙමෙන් කෙමෙන් දස්කම් අතින් ඉහළ නගින ආකාරයක් දක්නට ලැබුනි. එසේම වසර 23කට පසුව ඔවුන් මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල ක්‍රීඩා පිටියේ දීම පරාජය කිරීමට සමත් වූයේ හිටපු පුහුණුකරු නිහාල් ගුණරත්න යටතේ දීය. එසේම ශ්‍රී ලංකා ජාතික සංචිතයට ද ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් වන්නේ වසරක දී ශ්‍රී ලංකා ජාතික සංචිතයට යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් එක් වූ වැඩිම ක්‍රීඩකයින් ගණන වාර්තා කරමිනි.

ඔහුට සහය වශයෙන් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන හෙන්රි ටෙරන්ස් සහය පුහුණුකරු වශයෙන් යුද හමුදාවේ වැඩ බාරගෙන ඇත. 2012/13 වර්ෂ වලදී හැව්ලොක් රග්බි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ක්‍රීඩකයෙකු වන හෙන්රි, CR&FC, නාවික හමුදා, හැව්ලොක්, CH&FC සහ පොලිස් ක්‍රීඩා සමාජය ද නියෝජනය කර ඇත. 

පාසල් පුහුණුකාරීත්වයෙන් ඔබ්බට ගොස් ඉදිරිපෙළ පුහුණුකරනයේ විශේෂඥයෙකු වන හෙන්රි ටෙරන්ස්, 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ද ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් ද කටයුතු කළේය. 

එළඹෙන අන්තර් සමාජ රග්බි ලීගයේ දී හෙන්රි පුහුණුකරුවෙකු වශයෙන් පාසල් මට්ටමෙන් ඔබ්බට ගොස් පළමු වතාවට අන්තර් සමාජ මට්ටමින් ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටියි. 

ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තු සුන්!

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් ………..

ඒ අනුව මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා එක්වන යුද හමුදා ක්‍රීඩා සමාජය, වසර ගණනාවකින් එක්වන ඔවුන්ගේ ශක්තිමත්ම කණ්ඩායම ලෙස නම් කළ හැක. එමෙන්ම ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක්වන්නේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිව නිසාවෙන් යුද හමුදා ක්‍රීඩා සමාජය තරගාවලියේ දී අනෙක් කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමාන ය. 

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැනගැනීමට රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟම. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<