නව වාර්තා 11ක් සමඟින් 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අද (02) නිමාවට පත්විය. සියලුම වයස් කාණ්ඩවල අවසන් තරග 22ක් අද දිනයේ දී පැවැත්වූ අතර තරගාවලියේ දෙවැනි දිනය වන අද දිනයේ දී ද වැඩි ගෞරවය බස්නාහිර පළාතය හිමි විය.
පළමු දිනයේම නව වාර්තා තුනක් බිහි වේ
34 වැනි දිනට පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (1) ආරම්භ …
කොළඹ සාන්ත පීතර විදුහලේ රුමේෂ් තරංග විසින් දිනයේ පළමු වාර්තාව බිහිකරන ලදි. 16න් පහළ බාලක කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 55.58ක දස්කමක් පෙන්වීමට රුමේෂ්ට හැකි විය. එම ඉසව්වේ දෙවැනි ස්ථානය යාපනය හාර්ට්ලි විදුහලේ S. මිතුන්රාජ් විසින් ද, රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ J. V. S. නිමන්ත තෙවැනි ස්ථානය ද හිමිකර ගන්නා ලදි.

අද (2) දිනයේ දී සිදු වූ සුවිශේෂීම සිදුවීම වූයේ කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන්ගේ පරාජයයි. නිමා වූ තරගාවලි කිහිපයක දී ම විශිෂ්ට දක්ෂතා පෙන්වූ හිරුෂ පරාජය කිරීමට පොල්ගහවෙල උල් ඉර්ෂාන් මධ්‍ය මහා විද්‍යාලයේ M. R. රස්නි අහමඩ් හට හැකි විය. ඔවුන් දෙදෙනා අතර ඉතා තියුණු සටනක් පැවති අතර ප්‍රථමයෙන්ම ජය කණුව පසු කළේ අහමඩ් විසිනි. අහමඩ් සහ හිරුෂ අතරෙහි පරතරය වූයේ දශම දෙකක් වන අතර අහමඩ් විසින් වාර්තා කළ කාලය වූයේ තත්පර 11.16කි. එය 16න් පහළ බාලක මීටර් 100 ඉසව්වේ නව තරගාවලි වාර්තාවකි. ගාල්ල මහින්ද විදුහලේ H. S. මල්වැන්න විසින් එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

පසුගිය වසරේ දී 18න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වෙන් මාතර සාන්ත මේරි කන්‍යාරාමයේ W. G. E. ඉමේශිකා විසින් තබා තිබූ වාර්තාව මෙවර බිඳ හෙලන ලද්දේ බෙන්තර ගාමිණී මධ්‍ය මහා විදුහලේ චෙල්සි මෙලනි බෙන්දරගේ විසිනි. ඉසව්ව නිමා කිරීම සඳහා මෙලනි හට තත්පර 11.27ක කාලයක් වැය විය. පසුගිය කාලයේ දී කෙටි දුර ධාවනයෙන් හැකියා පෙන්වූ තවත් ක්‍රීඩිකාවක් වූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන්ට එම ඉසව්වේ දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය.
දිවා ආහාරයෙන් පසුව ද ඉසව් කිහිපයකම අවසන් තරග පැවති අතර එම තරගවලින් ද නව වාර්තා තුනක් බිහි විය. 18න් පහළ බාලක යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් මහව විජයබා ජාතික පාසලේ H. M. I. L. බණ්ඩාර විසින් රන් පදක්කම හිමිකර ගත්තේ නව වාර්තාවක් ද සමඟිනි. ඔහු විසින් මීටර් 15.67 දුරකට යගුලිය විසිකරනු ලැබීය. කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ අකලංක විජේසූරිය විසින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

18න් පහළ බාලක මීටර් 1500 ඉසව්වෙන් ද නව වාර්තාවක් බිහි විය. නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ W. W. P. M. D. විජේරත්න විසින් එම වාර්තාවට හිමිකම් කියූ අතර ඔහු විසින් පෙන්වන ලද දක්ෂතාවය වූයේ මිනිත්තු 4:05:57කි. ඔහු විසින් බිඳ හෙලන ලද්දේ 2013 වසරේ දී අඹතැන්න පුෂ්පදාන මහා විදුහලේ S. I. උදයංග විසින් මෙතෙක් කලක් හිමිකරගෙන සිටි වාර්තාවයි.
දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න
කුණාටුවට පෙර සලකුණු?
ඉසව් තුනක අවසන් ඉසව් පැවැත්වීමටත් ප්‍රථම නව වාර්තා තුනක් බිහි විය. එය ක්‍රීඩා උළෙලට සහ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතයට ඉතා සුබ ලකුණකි. 14න් පහළ බාලක මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව තරගයේ දී හෙන්නතොට විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ S. K. අයේෂ් මිහිරංග විසින් තත්පර 11.26කින් සිය ඉසව්ව නිමා කරමින් නව වාර්තාව බිහි කරන ලදි.
12න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී නව වාර්තාවක් බිහිකිරීමට හලාවත විජය කටුපොත මහා විද්‍යාලයේ R. A. ශසිනි භාග්‍යා දෙවුමිට හැකි විය. ඇය විසින් වාර්තා කළ කාලය වූයේ තත්පර 13.88කි. 16න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරගයකින් නව වාර්තාවක් බිහිකිරීමට නාවල ජනාධිපති විදුහලේ K. S. එදිරිසිංහට හැකි විය. ඇය විසින් වාර්තා කළ කාලය තත්පර 25.68කි.
හෙට (03) දිනයේ දී මෙම ඉසව් තුනෙහිම අවසාන තරග පැවැත්වෙන අතර මෙම වාර්තා බිහිවීමත් සමඟින් එම අවසාන තරග වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු විය. එම අවසාන ඉසව් ත්‍රිත්වයේ දී මෙම වාර්තා නැවත වරක් අලුත්වීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩි වන අතර ඒ අනුව හෙට දිනයේ දී සුගතදාස ක්‍රීඩාංගණය ඉතා තියුණු මුහුණුවරක්ගනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















