ආසියානු තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාවෙන් 12ක්

1023

එළඹෙන 18 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන 18 වන ආසියානු තරගාවලියේ දී ජවන හා පිටිය තරග ඉසව්වල දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් නම් කර ඇත. නම් කරන ලද මෙම සංචිතය මලල ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 06 දෙනෙකුගෙන් සමන්විත වේ.

කඩුල්ලත්, ප්‍රයාමයත් එක සේ තරණය කළ ශක්තිමත් ගැහැණිය – සුගන්ධි

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යැයි කියමනක් සිංහල ව්‍යවහාරයේ තිබුණ ද..

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ආරම්භයේ දී මේ සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරනු ලැබූ අතර අනතුරුව ඔවුන්ට තරගාවලියට සිය සුදුසුකම් ලබා ගැනීම තහවුරු කර ගැනීම සඳහා 96 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඔවුන් දැක්විය යුතු දක්‍ෂතා මට්ටම් නියම කරන ලදි. ඒ අනුව පසුගිය දා අවසන් වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දැක්වූ දක්‍ෂතා මත ඉන් ක්‍රීඩකයින් 14 දෙනෙක් තරගාවලිය සඳහා සිය සුදුසුකම් සපුරා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංකගේ ඇතුළත් කිරීම ඔහුගේ නම ඇතුළත් කිරීමේ දී සිදු වූ තාක්‍ෂණික දෝෂයක් හේතුකොට ගෙන තරගාවලියේ සංවිධායකයින් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ අතර තවදුරටත් මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතව සිටි උපමලයිකා රත්නකුමාරිගේ ඇතුළත් කිරීම සංවිධායකයින් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත්තේ දේශීය බලධාරීන් විසින් එම ඉසව්ව සඳහා සහභාගී වන අනෙක් ක්‍රීඩකයින් සඳහන් නොකිරීම හේතුවෙනි.

මීටර 2.24ක පෞද්ගලික හොඳම දක්ෂතාවයකට හිමිකම් කියන උෂාන් මෙම ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වූ අතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ දී ද ශ්‍රී ලංකාවට පදක්කමක් සඳහා තරගයක් ලබා දීමට පැහැදිලි අවස්ථාවක් තිබුණි.

Ushan will miss the opportunity take part in the Asian games due to a technical blunder by the officials

අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, අජිත් ප්‍රේමරත්න, පසිඳු කොඩිකාර සහ දිලිප් රුවන්ගෙන් සමන්විත පිරිමි 4x400m කණ්ඩායම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වනු ඇත. ඒ අතරින් මීටර 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් අරුණ දර්ශන සහ ඔහුට අවසානය දක්වා දැඩි තරගයක් ලබා දෙමින් දෙවන ස්ථානය දිනා ගත් කාලිංග කුමාර මීටර 400 ඉසව්ව සඳහා ද තරග වදිනු ඇත.

මීටර 800 පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ඉඳුනිල් හේරත් මාස 4කට අධික කාලයක් කෙන්යාවේ විශේෂ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව මෙම තරගාවලියට එක්වන අතර ඒ අනුව ඔහු ද මෙහි දී පදක්කමක් දිනා ගැනීමට දැඩි බලාපොරොත්තුවකින් පසුවනු නොඅනුමාන ය. ඉඳුනිල් හේරත් මෙම වසරේ මුල භාගයේ දී කෙන්යානු අගමැති කුසලාන තරගාවලියට සහභාගී වෙමින් එහි දී මීටර 800 ඉසව්වේ ජාතික වාර්තාව තමන් සතුකර ගන්නට සමත් වූ අතර ඔහු කෙන්යාවේ දී ලබාගත් දැනුම සහ අත්දැකීම් මෙම තරගාවලියේ දී ඔහුට අතිශය ප්‍රයෝජනවත් වනු ඇත.

තරගාවලියේ පිටිය ඉසව්වල දී ශ්‍රී ලංකාවේ එකම නියෝජනය සිදු කරනු ලබන්නේ දුර පැනීමේ ක්‍රීඩක ප්‍රසාද් විමලසිරි විසිනි. ඔහු මේ වන විට ආසියාවේ 5 වන ස්ථානයේ පසුවන අතර මෙම තරගාවලියේ දී ඔහු සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වන මීටර 8.14ක ඉක්මවා යාමට සමත් වුවහොත් ඔහුට ද මෙහි දී පදක්කමක් දිනා ගැනීමට පැහැදිලි අවස්ථාවක් ඇත.

තරගාවලිය අතරතුර අපේක්ෂිත දැඩි ආර්ද්‍ර තත්වයන් හේතුවෙන් ඇමෙරිකාව පදනම් කරගත් ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකා හිරුණි විජේරත්න මෙහි දී මැරතන් ඉසව්ව සඳහා සහභාගී නොවුනත් ඇය එහි දී කාන්තා මීටර 10000 ඉසව්ව සඳහා සහභාගී වනු ඇත. නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා ඉසව්වේ ප්‍රබල තරගකාරිනියන් වුවත් ඔවුන් දෙපළට ඉන්දියානු සහ මැදපෙරදිග ක්‍රීඩිකාවන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වනු නොඅනුමාන ය.

බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක පසුගිය කාලය පුරාවට ඉහළ දක්‍ෂතා දක්වමින් ඇය විසින්ම එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ජාතික වාර්තාව ද නැවත වරක් අලුත් කිරීමට සමත් වූ අතර ඇයට ද පදක්කමක් දිනා ගැනීම සඳහා ගයන්තිකාට සහ නිමාලිට මෙන් තරගාවලියේ දී බහරේන සහ ඉන්දියානු ක්‍රීඩිකාවන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වනු ඇත.

මේ දක්වා තරගාවලි 18ක් පුරාවට ශ්‍රී ලංකාව දිනා ගෙන ඇති මුළු පදක්කම් 46න් 27ක්ම මලල ක්‍රීඩා ඉසව්වලින් හිමි වී ඇති අතර ඒ අනුව එය එක් ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව දිනාගෙන ඇති වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස සටහන් වී ඇත. අවසන් වරට 2014 වසරේ දී පැවති ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් වූයේ පදක්කම් 2ක් පමණක් වන අතර එම පදක්කම් ද්විත්වයම හිමි වූයේ පිරිමි සහ කාන්තා ක්‍රිකට් ඉසව්වලිනි. කෙසේ නමුත් මෙවර තරගාවලියේ දී ක්‍රිකට් ක්‍රීඩාව ඉසව්වක් ලෙස නොපැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ සිය ස්ථානය වෙන්කර ගැනීම සඳහා මලල ක්‍රීඩා ඉසව් අතිශය වැදගත් වනු ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියක දී මලල ක්‍රීඩා ඉසව්වලින් අවසන් වරට පදක්කමක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ 2006 වසරේ දී වන අතර එහි දී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර 100 ඉසව්වේ රිදී පදක්කම සහ කාන්තා මීටර 200 ඉසව්වේ ලෝකඩ පදක්කම සමඟින් සමස්ත පදක්කම් 2ක් සහ රොහාන් ප්‍රදීප් කුමාර, රෝහිත පුෂ්පකුමාර, ප්‍රසන්න අමරසේකර සහ අශෝක ජයසුන්දරගෙන් සමන්විත වූ පිරිමි 4x400m සහය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අනුව 2010 සහ 2014 තරගාවලිවල දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වලින් කිසිදු පදක්කමක් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ අතර මෙවර තරගාවලියට එක්වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර 12ක කාලයකින් පසුව ශ්‍රී ලංකාවට ආසියානු තරගාවලියක මලල ක්‍රීඩා ඉසව්වලින් පදක්කමක් හිමිකර දීමේ අපේක්‍ෂාවෙන් තරගාවලියට එක්වේ.

Photo Album – Sri Lanka Athletics Squad for Asian Games 2018

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය:

අරුණ දර්ශන (400m, 4x400m), කාලිංග කුමාරගේ (400m, 4x400m), අජිත් ප්‍රේමකුමාර (4x400m), පසිඳු කොඩිකාර (4x400m), දිලීප් රුවන් (4x400m), ප්‍රසාද් විමලසිරි (දුර පැනීම), ඉඳුනිල් හේරත් (800m), ගයන්තිකා අබේරත්න (800m), නිමාලි ලියනආරච්චි (800m), නිලානි රත්නායක (3000m බාධක දිවීම), හිරුණි විජේරත්න (10000m)

කණ්ඩායම සමඟ එක්වන නිලධාරීන්:      

සමන් කුමාර (කළමනාකරු), භද්‍රා ගුණවර්ධන (පුහුණුකාරිනී), සජිත් ජයලාල් (පුහුණුකරු), ලුවිස් මිරැන්ඩා (පුහුණුකරු)

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියලුම දක්‍ෂතා ඔබ වෙත සමීප කිරීමට සූදානමින් පසුවේ.

2018 ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට අදාළ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ThePapare.com හි ආසියානු තරගාවලියේ ‘hub’ ඒක වෙත පිවිසෙන්න. – https://www.thepapare.com/asiangames

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<