එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා දක්ෂයින් සොයා යන “95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය” ඊයේ (31) ආරම්භ වූ අතර එහි දෙවන දිනය අද (1) දිනය පුරාවටම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. අද දිනය තුල ජාතික වාර්තා දෙකක් හා නව තරග වාර්තා තුනක් අලුත් වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය තුල අද දිනයේ දී කාගේත් අවධානයට ලක්වූ පිරිමි හා කාන්තා මීටර 100 අවසන් මහා තරගය ඇතුළුව තවත් අවසන් මහා තරග කිහිපයක්ම සාර්ථකව නිමාවට පත්විය.

යුද, ගුවන් දක්ෂතා මැද ප්‍රථම දිනය නිමා වෙයි

මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (31) ආරම්භ වූ අතර එය හෙට (1) සහ අනිද්දා..

ජවන ඉසව්

දෙවන දිනය සඳහා තරගාවලිය ආරම්භ කරමින් පිරිමි මීටර 10,000 අවසන් තරගය පැවැත්වූ අතර, එහි දී යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ඩී. එල්. සමරජීව 31:37.7ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කරමින් එහි ප්‍රථමයා විය. එහි දී  ආර්. එම්. වයි. ජී. එන්. ඒ. බණ්ඩාර (31:38.2) හා පී. ඒ. පී. මදුරංග (31:43.8) පිළිවෙළින් එහි දෙවැන්නා හා තෙවැන්නා බවට පත්විය.

දසප්‍රයාම ඉසව්වට සමගාමීව පැවැත්වූ පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ මූලික වටයේ තරගවල දී ආර්. ඒ. කේ. කරුණාතිලක විසින් තත්පර 15.10ක කාලයක් තබන ලදි.

2013 වර්ෂයේ පැවැත්වූ ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ, මීටර 1500 කාන්තා ඉසව්වේ වාර්තාවක්ව තිබූ 4:21.00 කාලය, ගයන්තිකා අබේරත්න විසින්ම මෙවර බිඳ හෙළීමට සමත් විය. මෙවර 4:20.64 කාලයක් සනිටුහන් කරමින් ඇය එම නව තරග වාර්තාව පිහිටුවන ලදි. එන්. එම්. සී. දිල්රුක්ෂි (4:20.92) හා යූ. කේ. එන්. රත්නායක (4:21.14) එහි දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් ජයග්‍රහණය කළාය.

එහි පිරිමි තරග ඉසව්වේ දී හේමන්ත කුමාර 3:49.99ක කාලයකින් සිය ඉසව්ව අවසන් කළේය. ජී. ආර්. චතුරංග (3:51.23) හා එච්. කේ. ටී. ෆොන්සේකා (3:52.40) එහි දෙවන හා තෙවන ස්ථානයන් දිනා ගන්නා ලදි.

යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආධිපත්‍යය විහිදූ ඉසව්වක් වන මීටර 100 පිරිමි ඉසව්ව ජයග්‍රහණය කළ යුපුන් ප්‍රියදර්ශන තත්පර 10.52ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කරමින් මෙවර තරගාවලියේ වේගවත්ම මිනිසා වූ අතර, එහි කාන්තා ඉසව්ව තත්පර 11.82කින් අවසන් කළ කුමාරි රත්නායක (කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සමාජය) මෙවර තරගාවලියේ වේගවත්ම කාන්තාව ලෙස අභිසෙස් දිනා ගන්නා ලදි.

මීටර 400 පිරිමි හා කාන්තා ඉසව් ද්විත්වයේම පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර, එහි දී 53.63ක කාලයක් තුල සිය ඉසව්ව නිමා කළ ඊ. ඩබ්. යූ. රත්නාකුමාරි කාන්තා අංශයේ පෙරමුණ ගන්නා ලදි. තත්පර 46.66ක කාලයක් තුල සිය ඉසව්ව නිමා කළ දිලීප් රුවන් එහි පිරිමි ඉසව්වේ ජය තහවුරු කර ගත්තේය.

එසේම දසප්‍රයාම ඉසව්වට සමගාමීව පැවැත්වූ පිරිමි මීටර 1500 තරග ඉසව්වේ පළමුවැන්නා ලෙස අවසන් කළ අජිත් කුමාර කරුණාතිලක (4:49.0) ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් අද බිඳ හෙලූ අතර, ඔහු විසින්ම මෙම වර්ෂයේ දී බැංකොක් නුවර දී ප්‍රසාද ලකුණු 6919ක් ලබාගෙන තබා තිබූ වාර්තාව මෙහි දී බිඳ හෙලීය. ඒත් සමඟින් මෙම තරගාවලි ඉතිහාසය තුල ද ඔහු විසින්ම තබා තිබූ වාර්තාව (ප්‍රසාද ලකුණු 6724) බිඳ හෙලීම සුවිශේෂී සිදුවීමක් වූ අතර එ් නිසාවෙන් අජිත් කුමාර දසප්‍රයාම ඉසව්වෙන් ප්‍රසාද ලකුණු 7000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. දසප්‍රයාම ඉසව්ව අවසානයේ අජිත් කුමාර සම්පූර්ණ ලකුණු 7096ක් ලබා ගැනීමට සමත් විය.

පිටිය ඉසව්

පිටිය ඉසව් ආරම්භ කරමින් පිරිමි යගුලිය විසිකිරීමේ අවසන් මහා තරගය පැවැත්වූ අතර, එහි දී නාවික හමුදා ක්‍රීඩක ඒ. ජේ. ඩී. පෙරේරා මීටර 15.35ක දුරක් සටහන් කරමින් එහි පෙරමුණ ගන්නා ලදි. එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කිරීමට සමිත ජයවර්ධන (මීටර 15.19) හා ඩබ්. එස්. එම්. ප්‍රනාන්දු (14.36) සමත් විය.

හෙල්ල විසිකිරීම කාන්තා අවසන් මහා තරගයේ දී කේ. ඒ. එම්. පී. සිල්වා මීටර 48.44ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මෙහි පළමුවන ස්ථානය ජයග්‍රහණය කළ අතර, එච්. පී. පී. එච්. මදුවන්ති (මීටර 45.41) හා පී. ඩී ක්ලැරන්ස් (මීටර 37.43) පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කළාය.

දිනය තුල කැපීපෙනෙන ඉසව්ව බවට පත්වූ කාන්තා රිටි පැනීමේ අවසන් තරගයේ දී අනීතා ජෙගතීශ්වරන් මීටර 3.47ක් තරණය කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවා ලන ලදි. එහි දෙවන හා තෙවන ස්ථානයන් එස්. පී. රණසිංහ (මීටර 3.20) හා සී. හෙරීනා (මීටර 3.00) ජයග්‍රහණය කළාය.

Anitha Jagatheeswaran’s new national record in pole vault

Uploaded by ThePapare.com on 2017-09-01.

දසප්‍රයාම  ඉසව්වේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ දී යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. ඩී. ගුරුසිංහ මීටර 34.90ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේය.  කාන්තා  සප්තප්‍රයාම ඉසව්වේ දුර පැනීම ඉසව්වේ දී මීටර 5.68ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඩබ්. වී. අයි. සුගන්දි එහි ප්‍රථමයා වූවාය.

ඩබ්. වී. අයි. සුගන්දි මීටර 29.40ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සප්තප්‍රයාම  කාන්තා ඉසව්වේ හෙල්ල විසිකිරීම ඉසව්වේ පෙරමුණ ගත්තාය. ඇය යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එම ඉසව්ව සඳහා සහභාගි විය.

දසප්‍රයාම රිටි පැනීමේ පිරිමි තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ආර්. ඒ. කේ. කරුණාතිලක මීටර 4.60ක උසක් තරණය කරමින් එහි පළමු ස්ථානයේ හිමිකරුවා බවට පත්විය. තවද එම ඉසව්වේම හෙල්ල විසිකිරීම ඉසව්වේ පෙරමුණ ගැනීමට කේ. ඩී. පී. කුමාර සමත් වූයේ මීටර 56.03ක් දුරකට හෙල්ල විසිකරමිනි.

තුන් පිම්ම පිරිමි අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් කැපීපෙනෙන දස්කම් දැක්වූ අතර, ඒ අතුරෙන් මීටර 16.36ක දුරක් සනිටුහන් කර ගත් අයි. ඩී. එස්. එස්. ජයසිංහ එහි පළමුවැනි ස්ථානය වෙන්කරවා ගන්නා ලදි. එහි දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් අතීත කරුණාරත්න (මීටර 15.98) හා එම්. එන්. එස්. අහමඩ් (මීටර 15.96) විසින් ජයග්‍රහණය කළේය.

කාන්තා යගුලිය විසිකිරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඩබ්. කේ. ටී. ප්‍රනාන්දු (මීටර 14.52) විසින් මෙම තරගාවලි ඉතිහාසය තුල නව තරග වාර්තාවක් පිහිටවූ අතර, ඇය විසින් බිඳ හෙළන ලද්දේ 2012 වර්ෂයේ දී එන්. එම්. ඩී. මුතුනායක (මීටර 14.50) ක්‍රීඩිකාව විසින් පිහිටුවා තිබූ තරග වාර්තාවකි. එහි සුවිශේෂත්වය වූයේ පැරණි වාර්තාවට හිමිකම් කියූ මුතුනායක (මීටර 12.62) මෙහි දී දෙවන ස්ථානය දිනා ගැනීමයි.

මිටිය විසිකිරීමේ පිරිමි අවසන් තරගයේ දී ඩබ්. ජී. එස්. ආර්. කුමාරසිරි මීටර 49.21ක  දක්ෂතාවක් සනිටුහන් කරන ලදි. එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කිරීමට එල්. ඒ. ඩි. ඊ. පී. අල්නසාන් (මීටර 48.73) හා සිසිර කුමාර (මීටර 48.01) යන යුද හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සමත් විය.

පිරිමි උස පැනීමේ ඉසව්වේ දී මංජුල කුමාර (මීටර  2.21) හා කරට කර තරගයක් දීමට යොවුන් ක්‍රීඩක උශාන් තිවංක (මීටර 2.15) සමත් වුවද, මංජුල තම ස්ථානය සුරක්ෂිත කර ගත්තේය. ඩබ්. පී. ඒ. කේ. පතිරණ (මීටර 2 2.05) උසක් තරණය කර එහි තෙවැන්නා විය.

ඩබ්. වී. අයි. සුගන්දි 2:25.7ක කාලයක් තුල කාන්තා සප්තප්‍රයාම ඉසව්වේ මීටර 800 තරග ඉසව්ව අවසන් කළේය. දිනය අවසානයේ දී පැවැත්වූ මීටර 3000 පිරිමි බාධක දිවීමේ අවසන් තරගයේ දී ආර්. එම්. එස්. පුෂ්පකුමාර 8:52.19කා කාලයක් තුල එම ඉසව්ව අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන ලදි. මීට පෙර 2003 වර්ෂයේ දී පිහිටුවා තිබූ තරග වාර්තාවට හිමිකම් කීවේ ජී. එස්. පී. මෙන්ඩිස් (8:55.07) ක්‍රීඩකයායි.

මෙම තරගාවලියේ තෙවන හා අවසන් දිනය හෙට (2) දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී ක්‍රියාත්මක වේ.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට