ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

165

මෙම වසරේ පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරගාවලිය වන 14 වන වරට පැවැත්වෙන ‘FINA’ ලෝක පිහිනුම් ශූරතාවලිය 2018 තරගාවලිය එළඹෙන 11 වන දින චීනයේ ‘Hangzhou’ නුවර දී ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වනු ඇත.

මහමායා ආධිපත්‍ය බිඳ වැටේ; විශාඛා, Killer Whaleට ජාතික ශූරතා

මහනුවර මහමායා බාලිකා විද්‍යාලය පරාජය කරමින් කොළඹ විශාකා විද්‍යාලය 2018 ජාතික පිහිනුම් කිරුල දිනා…

මෙම ‘FINA’ ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේ සියලුම තරග මීටර 25 පිහිනුම් තටාක වල පවත්වනු ලබන අතර ‘FINA’ මඟින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම පිහිනුම් ශූරතාවලිය වන මීටර 50 පිහිනුම් තටාකයේ තරග පැවැත්වෙන තරගාවලිය පවත්වනු නොලබන වසරවල දී මෙම තරගාවලිය පවත්වනු ලබයි. එම සම්ප්‍රදාය යටතේ 1993 වසරේ සිට මෙම තරගාවලිය අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන අතර ඒ අනුව 14 වන වරට පවත්වනු ලබන මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව හිමිව ඇත්තේ චීනයේ ‘Hangzhou’ නගරයට යි.

දින 6ක් පුරාවට ‘Hangzhou Olympic and International Expo Centre’ හිදී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා රටවල් 178ක් නියෝජනය කරමින් ලෝකය පුරා සිටින ප්‍රමුඛ පෙළේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 960කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇත. සමස්ත තරගාවලිය කේවල ඉසව් 34කින් සහ සහය ඉසව් 12කින් සමන්විත වන අතර සෑම දිනකම උදෑසන එක් එක් ඉසව්වල මූලික වටයේ තරග පවත්වා එදින සවස් වරුවේ දී එම ඉසව්වල අවසන් තරග පැවැත්වෙන පරිදි තරගාවලියේ කාලසටහන නිර්මාණය කර ඇත.

ඒ අනුව මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ අත්දැකීම් බහුල පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන චෙරන්ත ද සිල්වා සහ කයිල් අබේසිංහ සමඟින් නැඟී එන පිහිනුම් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන තිමාලි බණ්ඩාර සහ සාවින්දී ජයවීර යි.

චෙරන්ත ද සිල්වා සහ කයිල් අබේසිංහ මෙම වසර පුරාවට ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා මීට මාස කිහිපයකට පෙර ගෝල්ඩ් කෝස්ට් හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මෙන්ම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති ආසියානු තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්‍ෂතා අතරට එන්නට සමත් වූහ. එහි ඔවුන් දෙදෙනා දැක්වූ කැපී පෙනෙන දක්ෂතාවය වූයේ ආසියානු තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මීටර 100×4 පිරිමි පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාව එම ඉසව්වේ අවසන් මහා තරගය දක්වා රැගෙන යාමයි. ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම් කණ්ඩායමක් ආසියානු තරගාවලියක දී එවන් දක්ෂතාවයක් දැක්වූයේ ඉතිහාසයේ පළමු වරට වීම එහි විශේෂත්වය යි.

ජාතික බේස්බෝල් ලීග් ශූරයන් කිරුළු පළඳියි

2018 ජාතික බේස්බෝල් ලීග් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (8) දියගම දී පැවැත්වුණු අතර…

එමෙන්ම චෙරන්ත මෙම තරගාවලිය සඳහා සහභාගී වන්නේ තායිලන්තයේ ‘Phuket’ නුවර ‘Thayapura’ ජාල ක්‍රීඩා පිහිණුම් මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර දී ය. ඔහු 2014 වසරේ දී කටාර් හි ඩෝහා නුවර පැවති මෙම තරගාවලියේ 12 වන අදියර සඳහා ද සහභාගී වූ නමුත් එහි දී ඔහුට තරගාවලියේ මූලික වටයෙන් ඔබ්බට යාමට අවස්ථාවක් හිමි වූයේ නැත.

කයිල් අබේසිංහ ද 2016 වසරේ දී කැනඩාවේ ඔන්ටාරියෝ නුවර පැවති මෙම තරගාවලියේ 13 වන අදියර සඳහා සහභාගී වූ අතර එතැන් පටන් දිනෙන් දින සිය දක්‍ෂතා වැඩිදියුණු කරගනිමින් සිටින අතර ඒ අනුව ඔහු 2017 වසරේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් දෙකක් ද දිනා ගන්නට සමත් විය. ඒ අනුව චෙරන්ත සහ කයිල් මෙවර තරගාවලියේ දී ප්‍රතිවාදී තරගකරුවන් හට ප්‍රබල තරගයක් ලබා දීමේ අරමුණින් පසුවනු ඇති බව නොඅනුමාන ය.

ඔවුන් දෙදෙනා සමඟ තරගාවලියට එක්වන ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ කොළඹ විසාකා විද්‍යාලයේ සාවින්දී ජයවීර සහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තිමාලි බණ්ඩාර ය. මෙම තරගාවලිය ඔවුන් දෙදෙනාගේම පළමු ජාත්‍යන්තර අත්දැකීම වීම විශේෂත්වයකි. කෙසේ නමුත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම පාසල් මට්ටමේ පිහිනුම් තරගාවලිවලට සහභාගී වෙමින් එහි දී වාර්තා බිඳ දමමින් ඉහළ දක්‍ෂතා දක්වා ඇති අතර ඒ අනුව ඔවුන්ට මෙම තරගාවලිය ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබාගැනීමට මනා පිටිවහලක් වනු නොඅනුමාන ය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <