වසර 30ක් සපිරෙන තෙන්දුල්කාර් පුරාවෘත්තය

95

ඒ 1988 වසරයි. සීතල දෙසැම්බර් උදෑසනක බරෝඩා හි පැවති පුහුණු කඳවුරක් සඳහා මුම්බායි කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා වන චන්ද්‍රකාන්ත් පන්ඩිත් පැමිණ සිටියේය. චන්ද්‍රකාන්ත් දහවල් ආහාරය සඳහා පැමිණියේ කිරන් මෝර්ගේ නිවසටය. 

“මම චන්ද්‍රකාන්ත්ට කිව්වා දහවල් ආහාරය ගන්න මගේ ගෙදරට එන්න කියලා. ඔහු කිව්වා කණ්ඩායමේ පොඩි කොල්ලෙක් එක්ක එන්නේ කියලා. ඔහු ගොඩක් නිශ්ශබ්ද, අහිංසක ළමයෙක්. වයස අවුරුදු 15ක විතර. චන්ද්‍රකාන්ත් එක්ක ඔහු ආවා. ඒක තමයි මම තෙන්දුල්කාර් දැකපු පළමු වතාව.” කිරන් මෝර් ඒ නිශ්ශබ්ද දහවල් ආහාරය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය. 

“ඒ කොලුවා ඒ වෙනකොට රන්ජි කුසලානයට ක්‍රීඩා කරලා තිබුණේ නෑ. ඒත් ඔහු ඉක්මනින්ම රන්ජි කුසලානයට ආවා. ඒ ගුජරාටි කණ්ඩායමට එරෙහිව. ඔහු ඒකෙදි ශතකයක් වාර්තා කළා.” 

මේ කොලුගැටයා රන්ජි කුසලානයේ ආරම්භක තරගයේ දී ම තමන් දිගු ගමනකට උරුමකම් කියන බව පෙන්වීමට සමත් විය. රන්ජි කුසලානයේ අවසානයේ දී ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතව තිබුණේය. ඒ වන විට නගරයේ වැඩිම කතාබහ තිබුණේ තෙන්දුල්කාර් පිළිබඳවය. 

“ඔහු ගැන ගොඩක් දෙනා කතා කළා. ඔහු අපේ පුහුණු වීම් කරන තැනට ආවා. කපිල් දේව් වගේ ප්‍රබල වේගපන්දු ‍යවන්නන්ට ඔහු සාර්ථකව මුහුණ දුන්නා.” 

කෙසේ වෙතත් කොදෙව් තරග සංචාරය සඳහා තෙන්දුල්කාර් නම් කර තිබුණේ නැත. නමුත් ඔහු පිළිබඳව කතාබහ අඩු වූයේ නැත. ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය ඉන්දියාවට එතරම් සාර්ථක එකක් වූයේ නැත. 

තෙන්දුල්කාර් පසුව ක්‍රීඩා කළ තරගයක දී ජයග්‍රහණය සඳහා මුම්බායි කණ්ඩායමට එල්ල වූ ඉලක්කය 555කි. මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයන් එකිනෙකා අසාර්ථක වන විට තනි ඉනිමක් ක්‍රීඩා කළ සචින් ලකුණු 103ක් වාර්තා කළේ තම දක්ශතාවයන් තව තවත් ඔප්පු කරමිනි. එම තරගය ඉන්දීය කණ්ඩායමේ පාකිස්තාන තරගාවලියකට ආසන්නව පැවැත්විය. 

“ඇත්තටම ඔහු එහෙම කරන්නේ කොහොමද?”

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ස්ටීව් ස්මිත් අවිවාදයෙන් පිළිගත හැක. ස්මිත් ක්‍රීඩා කරන තරගයක…………….

“ඒකෙන් පස්සේ ඔහුව නොසලකා හරින්න බැරි වුනා. ඔහු දිනෙන් දින ඔප්පු කළා ඔහු ඉහළ මට්ටමේ ක්‍රිකට් සඳහා සුදුසු බව.” තෙන්දුල්කාර්ට ජාතික කණ්ඩායමේ වරම් හිමි කර දුන් තේරීම් කමිටුවේ සාමාජික ගුන්දප්පා විශ්වනාත් පවසා සිටියා. 

වැඩිකල් යාමට පෙර ඉන්දීය කණ්ඩායමේ 187 වැනි ටෙස්ට් තොප්පිය තෙන්දුල්කාර් වෙනුවෙන් සූදානම්ව තිබුණි. ලොව ප්‍රබලතම පිතිකරුවා වීමේ ආරම්භක අවස්ථාව ලෙස එය සටහන් විය. 

කිසිදා බිඳ දැමිය නොහැකි වාර්තා රැසක ආරම්භය සිදු වූයේ 1989 වසරේ නොවැම්බර් මස 15 වැනිදා කරච්චි හිදීය 

“අපි කොදෙව් තරගාවලිය පරාජය වෙලා හිටියේ. ඊට පස්සේ නායකයා වුනේ ශ්‍රීකාන්ත්. ඔහු පාකිස්තාන තරගාවලියට නායකත්වය සැපයූවා. මම හිතුවේ නෑ තේරීම් කමිටුව අවුරුදු 16ක පොඩි කොල්ලෙක්ට අවස්ථාව දෙයි කියලා. මොකද මේ තරගය පාකිස්තාන තරගාවලියක් නිසා. ඔබට ඕනෑම කණ්ඩායමක් සමඟ ඕනෑම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න පුළුවන්. ඒත් පාකිස්තානය එක්ක පාකිස්තානයේ ක්‍රීඩා කිරීම හැමවෙලේම අමාරු දෙයක්. පාකිස්තානය එරට දී ප්‍රබලතම කණ්ඩායමක්. ඒ වගේම එහෙ දී ක්‍රීඩා කරද්දී මානසිකවත් තරගයක් තියනවා. ලොකු පීඩනයක් තියෙනවා. ” 

“හැමෝම තෙන්දුල්කාර්ගේ පිතිකරණය ගැන හිතමින් හිටියේ. ඔහු අධිෂ්ඨානයෙන් ඉන්නවා අපි දැක්කා. ඒත් ඔබේ පළමු ටෙස්ට් තරගය ඇත්තෙන්ම ගොඩක් අමාරුයි.” පසුකලෙක ඉන්දීය කඩුලු රකින්නා වූ කිරන් මෝර් පවසා සිටියා. 

ඉන්දීය පාකිස්තාන වෛරයේ උච්චතම අවස්ථාව උදාවී තිබුණේ 80 දශකයේ අගභාගයේ දී ය. ඒ 1986 වසරේ ඕස්ට්‍රේලියාසියා කුසලානය හිමිකර ගැනීමට පාකිස්තානය සමත් වීමත් සමඟිනි. චේතන් ශර්මා ජාවේඩ් මියන්ඩාඩ් එල්ල කළ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. 

තෙන්දුල්කාර් පන්දුවට පහර දීමට පැමිණියේ ඉන්දීය කණ්ඩායම ලකුණු 41කට කඩුලු 4ක් දැවී සිටි අවස්ථාවක ය. ඒ වකාර් යුනිස්, වසීම් අක්‍රම් හා ප්‍රබල ඉම්‍රාන් ඛාන්ගෙන් යුත් පාකිස්තාන පන්දු බලඇණියට එරෙහිවය. 

“ඒ දවස්වල පාකිස්තානයේ භාවිතා කළේ ග්‍රේස් බෝලය. ඒක ඩූක් බෝලෙ වගේමයි. ලොකු දෝලනයක් තියනවා. ඒත් පාකිස්තානයට එරෙහිව අලුත් පන්දුව වුනත් පරණ පන්දුව වුනත් ක්‍රීඩා කරන එක අමාරු දෙයක්. පරණ පන්දුවෙන් හිතාගන්න බෑ මොන පැත්තට දෝලනය වෙනවා ද කියලා.” කිරන් මෝර් පවසා සිටියා. 

තෙන්දුල්කාර් හමුවේ තිබූ අභියෝගය ලේසි පහසු එකක් නොවීය. පිතිකරණ ලැයිස්තුවේ 6 වැනියා ලෙස ඔහු මුහුණ දී තිබුණේ අසීරු අවස්ථාවකටය. තෙන්දුල්කාර්ට එල්ල වූ පළමු පන්දුව බවුන්සර් පන්දුවකි. ඔහු එයට නිදැල්ලේ ‍යාමට ඉඩ හැරියේය. 

“අපි හැමෝම තෙන්දුල්කාර් ගැන බය වෙලා හිටියේ. ඔහු ගොඩක් අධිෂ්ඨානයෙන් ඉන්නවා දැක්කා. ඒත් මේ ඔහුගේ පළමු ටෙස්ට් තරගය. හැමෙවෙලේම පළමු තරගය අමාරුයි.”

අසීරු පහර, නිදැල්ලේ ‍යැවීම්වලින් පිරුණු තෙන්දුල්කාර්ගේ පළමු ඉනිම නිමා කිරීමට වකාර් යුනිස් සමත් විය. 

“ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුනට මේක ඔහුගේ පළමු ටෙස්ට් තරගය. මේ ටෙස්ට් තරගවල ස්වාභාවය.” 

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තෙන්දුල්කාර්ගේ අසාර්ථකත්වය එතරම් තැකීමක් කර තිබුණේ නැත. නමුත් තෙන්දුල්කාර්ගේ මානසික මට්ටම පහළ වැටී තිබුණි. ඔහුගේ සහෝදරයා වන අජිත් තෙන්දුල්කාර් ද සචින්ගේ සහය සඳහා කරච්චි වෙත පැමිණියේය. 

“අපි ගත්තේ වෙනස් තීරණයක්. ඔහුව තරගයට යොදවන එක ගොඩක් අවදානම් තීරණයක්. ඒත් අපි ඒක ගත්තා. ඊට පස්සේ අපි ඒ ක්‍රීඩකයාට උදව් කරන්න ඕන. එක් තරගයකට විතරක් ඔහුව යොදවන එකේ තේරුමක් නෑ. ඒක නිසා අපි තීරණය කළා ඔහු තරගාවලියටම යොදා ගන්න.” විශ්වනාත් තෙන්දුල්කාර්ගේ පාකිස්තාන තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියා. 

තෙන්දුල්කාර් ‍යොදාගැනීම අභියෝගයක් වුවත් ඉන්දීය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් එම තීරණය ගැනීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර තිබුණි. 

කඩුලු 800 මහ රජු – මුරලි

මුරලේ.. මුරලේ… මුරලේ… ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පුරාවටම එකම ජය ඝෝෂා හඬකි. වසර 18ක කාලසීමාවක්…………….

පාකිස්තාන තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ ෆයිස්ලාබාද් හිදීය. එහි දී තෙන්දුල්කාර් පිටියට පැමිණෙන විට ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 101කට කඩුලු 4ක් ලෙසිනි. සන්ජේ මන්ජේකාර් සමඟින් පිටියෙහි එක්වූ තෙන්දුල්කාර් ලකුණු 143ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. 

ඉම්‍රාන් ඛාන්ගේ In Swing පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබා දෙමින් තෙන්දුල්කාර් දැවී යන විට ලකුණු 59ක් රැස්කිරීමට සමත්ව සිටියේය. තමන් තරගාවලිය සඳහා යොදාගැනීමට තේරීම් කමිටුව ගත් තීරණයට සාධාරණය ඉටු කිරීමට තෙන්දුල්කාර් සමත් විය. 

තෙන්දුල්කාර්ගේ දැවී යාමෙන් අනතුරුව ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 244කට කඩුලු 4ක් ලෙස දිස්වූ අතර ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු 6 ලකුණු 44ක් තුල දවා ගැනීමට පාකිස්තානය සමත් විය. ඉන්දීය ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 288ක් ලෙසිනි. 

පාකිස්තාන තරගාවලියේ සිව්වැනි හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වුණේ සියල්කොට් හිදී ය. 

“සියල්කොට් තණතීරුව මම දැකපු වේගවත්ම තණතීරුව. ඒක වේගපන්දු ‍යවන්නන්ට වඩාත්ම සුදුසු තණතීරුවක්. ඒක පාකිස්තාන වේගපන්දු ‍යවන්නන්ටම හදපු එකක්.” කිරන් මෝර් තම මතකය අවදි කළේය. 

තරගාවලියේ මුල් තරග 3ම ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා මෙම තරගය පාකිස්තානයට තම අභිමානය උදෙසා ජයග්‍රහණය කළ යුතුම තරගයක් බවට පත්ව තිබුණි. 

තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 74ක පරතරයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙවන ඉනිමේ ඉන්දීය මුල් කඩුලු 4 ලකුණු 38ක් තුල බිඳ දැමීමට පාකිස්තානය සමත් විය. පස්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූයේ සචින් තෙන්දුල්කාර් හා නව්ජොත් සිං ය. ඒ වන විට ඉන්දීය කණ්ඩායම ලකුණු 112ක් ඉදිරියෙන් පසු විය. 

එම අවස්ථාවේ දී වකාර් යුනිස් එවූ පන්දුවක් තෙන්දුල්කාර්ගේ මුහුණෙහි වැදුනේය. ඔහුගේ නාසයෙන් ලේ ගලා යාමට පටන්ගත්තේය. ඉන්දීය ක්‍රීඩකයන්ගේ කාමරය වික්ෂිප්තව බලා සිටියේය. 

“ඔහුට ඒක වැදුනම අපේ කාමරයේ හැමෝම බය වුනා. හැමෝම කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව බලාගෙන හිටියා. දෙතුන් දෙනෙක් මැදට දුවගෙන ගියා.” 

කෙසේ වෙතත් තෙන්දුල්කාර්ගේ තුවාලය එතරම් බරපතළ එකක් නොවීය. වේදනාව යටපත් කරගෙන තෙන්දුල්කාර් පන්දුවට පහර දුන්නේය. පාකිස්තානය ජයග්‍රහණයක් සොයමින් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වුවද තෙන්දුල්කාර් ඔවුන්ගේ සිහින සියල්ල බිඳ දැමුවේය. එම තරගයේ දී තෙන්දුල්කාර් ලකුණු 57ක් වාර්තා කළේය. තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවය. 

පකිස්තාන තරගාවලිය තුල තෙන්දුල්කාර් පන්දු 487කට මුහුණ දී තිබුණි. ඉම්‍රාන් ඛාන් ප්‍රමුඛ වේගපන්දු බලඇණිය හමුවේ ඉනිමක දී පන්දු 80කට වඩා පන්දු ප්‍රමාණයකට මුහුණ දීමට තෙන්දුල්කාර් සමත්ව සිටියේය. 

ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ඉන්දීය පාකිස්තාන එක්දින තරගාවලිය ඇරඹීමට නියමිතව තිබුණි. නමුත් එදින ඇතිවූ වර්ෂාව නිසා එක්දින තරගය වෙනුවට පන්දු 20ක ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වීමට සංවිධායකයන් තීරණය කළේය. 

මෙම තරගය ප්‍රදර්ශනාත්මක තරගයක් නිසා තෙන්දුල්කාර් අත්හදා බැලීමට ඉන්දියාව තීරණය කළේය. 

“අපි එක එක දේවල් ගන්න ගියා. අපි නැවත ක්‍රීඩාංගණයට එන විට සචින් අබ්දුල් ඛාදර්ට පහර දෙමින් සිටියා. ඒ වෙලාවේ ක්‍රීඩාංගණයේ තිබුණු ශබ්දය අපිට එළියේ ඉදන්ම ඇහුණා.”  කිරන් මෝර් පවසා සිටියා. 

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle is different to some other Sri Lankan………..

කණ්ඩායම් දෙකෙ හිම ක්‍රීඩකයන් 21 දෙනාම මෙම තරගය පුහුණු තරගයක් ලෙස ක්‍රීඩා කළ ද තෙන්දුල්කාර් එසේ නොවීය. තෙන්දුල්කාර් තම පිත්ත ද රැගෙන ක්‍රීඩා පිටියට ගියේය. පන්දු ‍යැවීම භාරව තිබුණේ මුස්ටාක් අහ්මඩ් ටය. මුස්ටාක්ගේ පන්දුවාරයේ දී හයේ පහර දෙකක් එල්ල කිරීමට තෙන්දුල්කාර් සමත් විය. ඉන් අනතුරුව තෙන්දුල්කාර්ට එල්ල වූ අභියෝගය අබ්දුල් කාදීර් ය. තෙන්දුල්කාර් ඔහුට පිට පිට හයේ පහර තුනක් සමඟින් හයේ පහර හතරක් එල්ල කළේය. 

“ආයා ආයා ආයා ආයා! පන්දුව වීදුරු බිඳගෙන ඇවිත් අපි ළඟට වැටුණා. අබ්දුල් කාදීර් ඒ වෙනකොට ඔහුගේ උපරිම දක්ෂතාවල හිටියේ. ඔහු තමයි ඒ වෙන කොට ලෝකයේ හොඳම පා දඟපන්දු ‍යවන්නා. ඒ වයසේ දී ඔහුට හයේ පහර හතරක් එල්ල කරන එක මට නම් හිතා ගන්නවත් බෑ.” අංකෝලා කියා සිටියේය. 

වසර 24ක වාර්තාගත ක්‍රිකට් දිවියට ඇරඹුම එසේ සටහන් විය. තෙන්දුල්කාර් 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙන විට ටෙස්ට් තරග 200ක්, එක්දින තරග 463ක් ක්‍රීඩා කර තිබුණි. ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලකුණු 15,921ක් වන අතර එහි සාමාන්‍ය 53.8කි. එක්දින ලකුණු 18,426ක් රැස්කරගත් තෙන්දුල්කාර් එහි සාමාන්‍ය 44.8ක් ලෙස සටහන් කරගෙන සිටියේය. 

තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 30 වැනි වසර සමරන විට සචින් තෙන්දුල්කාර් ලොව ක්‍රිකට් පුරාවෘත්තයක් වී හමාරය.

Cricbuzz අසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<