පෙරළිකාර යුධ හමුදාව නාවික හමුදාවත් බිම හෙළයි

471

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් ඊයේ (19) පෙරළිකාර යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර නාවික හමුදාව අවසන් මිනිත්තුවේ දී පරාජය කරමින් ලකුණු 25-27 ක තියුණු ජයක් වාර්තා කිරීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දීය.

ඔමල්කගේ උත්සාහය වතුරේ යවමින් හැව්ලොක් ඉදිරිපෙළ කුසලානය උදුරා ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සති අන්තයේ තවත් තරගයක් අද (19) …

යුධ හමුදා ක්‍රීඩා සමාජය පසුගිය සතියේ මහනුවර ක්‍රීඩා සමාජයේ අපරාජිත වාර්තාව බිඳ හෙලුවේ නිත්තවෙල දී ම මහනුවර ක්‍රීඩා සමාජය නොසිතූ ලෙස පරාජය කරමිනි. ඊට පෙර ඔවුන් ප්‍රබල CH&FC ක්‍රීඩා සමාජය ද පරාජය කළේ තරගාවලියේ පෙරළිකාරයින් ඔවුන් බව අනෙක් කණ්ඩායම්වලට පෙන්වමිනි.

නාවික හමුදා නායක තිළිණ වීරසිංහගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර මිනිත්තු 10ක් ගතවද්දී පළමුවෙන් ලකුණු රැස් කළේ නාවික හමුදා කණ්ඩායමයි. කසුන් ද සිල්වා යුධ හමුදා ආරක්ෂක වළල්ල බිඳ හෙලා ඉදිරියට ගිය අතර තිළිණ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය.  සේලරුවන්ට හොඳ පිළිතුරක් ලබා දීමට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ අශෝක ජයලාල් සමත් වූයේ යුධ හමුදාව වෙනුවෙන් ලීග් තරගාවලි 16ක සිය අත්දැකීම් භාවිතා කරමිනි. නාවික හමුදා ක්‍රීඩකයින් මර්දනය කරමින් අශෝක ගෝල කණු අතරින්ම ලකුණු රැස් කළ අතර ඉසුරු මැදගෙදර අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (නාවික 07-07 යුධ)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මීළඟ මිනිත්තු 20 සම්පුර්ණයෙන්ම තමන් සතු කර ගැනීමට නාවික හමුදා නායක තිළිණ වීරසිංහ සමත් වූයේ උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමිනි. මගහැරුණු දඬුවම් පහර දෙකක් නිසා සිදුවුණු වැරදි නිවැරදි කර ගනිමින් උත්සාහක දිනුම් ද්විත්වයකින් කණ්ඩායමට දායකත්වය ලබා දුන් අතර ඉන් එකක් ප්‍රවර්තනය කිරීමට ද ඔහු සමත් විය. කෙසේ වෙතත් ඔහුට හිමි වුණු තෙවන දඬුවම් පහරත් සාර්ථක කර ගැනීමට තිළිණ අසමත් වීම නාවිකයින්ට මහත් පාඩුවක් විය. චතුර සෙනෙවිරත්න නොමග යැවූ ඉසුරු මැදගෙදර පළමු අර්ධය අවසානයට පෙර දෙවන යුධ හමුදා ප්‍රහාරය එල්ල කළේ අපහසු කෝණයකින් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමින්.   

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 14 – 17 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ සත්කාරක කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දෙන්නට චතුර සෙනෙවිරත්න සමත් වූයේ නාවික පෙරමුණ තවත් ඉදිරියට රැගෙන යමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින්ගේ නොසන්සුන්තාවයකින් මදක් ප්‍රමාද වූ තරගයේ මීළඟට ලකුණු රැස් කළේ ලද විවේකයෙන් මනා ලෙස සංවිධානය වූ යුධ හමුදා ක්‍රීඩකයිනි. අශාන් බණ්ඩාර සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ විශිෂ්ට ධාවනයක යෙදෙමිනි.

එතැන් සිට යුධ හමුදා ක්‍රීඩකයින් දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූ අතර පිටියට පැමිණි ගයාන් සාලින්ද පළමු පන්දු හුවමාරුවේ සිටම තරගය යුධ හමුදාව දෙසට හරවන්නට සමත් විය.

වසර දෙකකට පසු මහනුවර ඔටුන්න බිම වැටේ

මෙතෙක් කිසිදු කණ්ඩායමක් හමුවේ පරාජය නොවුණු මහනුවර කණ්ඩායම සමඟ තරමක් පසුබැස සිටින …

මිනිත්තු විස්සක් ඉතිරිව තිබිය දී තිළිණ වීරසිංහ ලකුණු තුනක් එකතු කළේ දඬුවම් පහරකින් ලකුණු රැස් කරමිනි. ඒ වන විට ලකුණු පුවරුව දැක්වූණේ ලකුණු 19-25ක් වූ අතර යුධ හමුදාවට ප්‍රබල නාවිකයින් හමුවේ තරගය ජය ගැනීමට නම් කිසියම් යම් කිසි ක්‍රීඩකයෙකුගෙන් විශේෂ ශිල්ප දැක්වීමක් අවශ්‍ය විය. පිටියට පැමිණි මොහොතේ සිටම තරගයේ  ස්වභාවය වෙනස් කළ ගයාන් සාලින්ද යුධ හමුදාව දිනවමින් ඉතිරි ලකුණු 8ම වාර්තා කළේ නාවිකයින් ගිල්ලා දමමිනි.

72 වන මිනිත්තුවේ දී Scrum අවස්ථාවකින් පන්දුව ලබා ගත් ගයාන් යුධ හමුදාව වෙනුවෙන් ලකුණු රැස් කළේ පිටිය කොණෙන් ධවල රේඛාව ඉක්මවා යමිනි. ඒ අනුව ලකුණු පරතරය තවත් අඩු වූයේ අවසන් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකටම ජය මග විවර කරමිනි. අවසන් මිනිත්තුවේ දී අදීශ වීරතුංග හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර එයින් හිමි වූ දඬුවම් පහර ගයාන් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර හැරියේ පිට පිට දෙවන සතියටත් ඩයලොග් අන්තර් සමාජ රග්බි පිටියේ පෙරළියක් කරමිනි.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 27 (4T, 2C, 1P) – 25 (4T, 1C, 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – විනෝද් කුමාර් (යුධ)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – අශෝක ජයලාල් (1T) , ඉසුරු මැදගෙදර (1T, 2C), අශාන් බණ්ඩාර (1T), ගයාන් සාලින්ද (1T, 1P)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – තිළිණ වීරසිංහ (2T, 1C, 1P), චතුර සෙනෙවිරත්න (1T), කසුන් ද සිල්වා (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<