‘බුවා’ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයින්ගෙන් අගනුවර ක්‍රීඩකයින්ට හොඳ සංග්‍රහයක්

1219

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තය අවසන් කරමින් අපරාජිත මහනුවර කණ්ඩායම හා CH&FC ක්‍රීඩා සමාජය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ලකුණු 38-22ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

‘බෝධී’ ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ හමුවේ CR දණ ගසයි

සැමුවෙල් මධුවන්තගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට CH&FC ක්‍රීඩකයින් සමත් වූයේ පීඩනය මහනුවර දෙසට හරවමිනි.

තරගයේ 6 වැනි මිනිත්තුවේ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CH ක්‍රීඩකයින් සමත් වූයේ තරගයේ පළමු වෙඩි මුරය තබමිනි. නිශෝන් හා හිරන්ත පෙරේරා අතර අනගි පන්දු හුවමාරුවකින් පසු පන්දුව ලබා ගත් සුදම් සූරියආරච්චි දක්ෂ ලෙස උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ සංචාරක CH කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දෙමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සැමුවෙල් මධුවන්ත අසමත් වූ නමුත් ඊට මිනිත්තු පහකට පසු හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. (මහනුවර 00-08 CH)

(බුවනෙක ‘බුවා’ උඩන්ගමුව, පසුගිය සති අන්තයේදීත් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර මෙම තරගයේදීත් ඉහළ දක්ෂතා දැක්වූ ඔහු ThePapare.com තරගයේ වීරයා ලෙස අභිෂේක ලැබීය)

කෙසේ වෙතත් CH ආක්‍රමණයට සාර්ථක පිළිතුරක් ලබා දීමට මහනුවර ක්‍රීඩකයින් සමත් වූයේ සිය ප්‍රේක්ෂකයින්ගේ නොමඳ සතුටට හේතු වෙමිනි. මිනිත්තු කිහිපයක් ඇතුළත මහනුවර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ පළමු අර්ධයේ අවසානයට පෙර CH කණ්ඩායමෙන් පෙරමුණ උදුරා ගනිමිනි. මිනිත්තු කිහිපයක උත්සාහයෙන් පසු අනර්ඝ ලෙස පන්දුව හුවමාරු කරමින් පිටියේ වම්පස කොණෙන් දනුෂ් දයාන් පළමු මහනුවර උත්සාහක දිනුම වාර්තා කළ අතර ඊට මිනිත්තු කිහිපයකට පසු නායක රිචඩ් ධර්මපාල හා නොම්මර 8 ක්‍රීඩක බුවනෙක උඩන්ගමුව උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේ CH ක්‍රීඩකයින් පෙරළා පන්දුව සීමාවෙන් එපිටට රැගෙන යමිනි. තිළිණ විජේසිංහ දෙවරක්ම සාර්ථක ලෙස අමතර ලකුණු එකතු කළ අතර ඔහුට ගිලිහී ගියේ එක් අවස්ථාවක් පමණි.

CH&FCට එරෙහිව යුධ හමුදාවෙන් පෙරළිකාර මෙහෙයුමක්

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 08 CH&FC කණ්ඩායම     

දෙවන අර්ධය ආරම්භයේ දී තමන්ගේ අතිනි ගිලිහී ගිය තරගය ආපසු හරවා ගන්නට CH ක්‍රීඩකයින් ප්‍රබල සටනක් දියත් කළේ සිය ඉදිරිපෙළ භාවිතා කරමිනි. 52 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූයේ ප්‍රසාද් මධුසංක ධවල රේඛාව ඉක්මවා යාමත් සමඟයි. සැමුවෙල්ගේ ප්‍රවර්තනය ගෝල කණු අතරින් පාවී ගියේ ලකුණු පරතරය ලකුණු හතකින් අඩු කරමිනි. (මහනුවර 19-15 CH)

කෙසේ වෙතත් සුපිරි මහනුවර සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් සුපිරි ධාවනයක නිරත වී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ ප්‍රේක්ෂකයින්ගේ නොමද සතුටට හේතු වෙමිනි. අවනත ලී නොමග යවමින් CH&FC ආරක්ෂක වළලු බිඳ දැමූ රන්ජන් මීටර 50 සිමාව ආසන්නයේ සිට ධාවනයේ යෙදී ලකුණු රැස් කළ අතර තිළිණ අලංකාර පා ප්‍රහාරයකින් අමතර ලකුණු රැස් කර දෙන්නට සමත් විය. (මහනුවර 26 -15 CH)

අවසන් මිනිත්තු කිහිපයේ දී තරගය තවත් උණුසුම් වූයේ Driving Maul අවස්ථාවක සිට දිව ගිය ප්‍රසාද් මධුසංක සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟයි. සැමුවෙල් මධුවන්ත අමතර ලකුණු එකතු කළේ CH කණ්ඩායම තවදුරටත් තරගයේ රඳවා ගනිමිනි. (මහනුවර 26-22 CH)

නිත්තවෙල අභිමානය සුරැකේ; අපරාජිත වාර්තා බිඳ වැටේ

කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ අර්ශාඩ් ජමාල්ඩීන් හා ශෂික ජයවර්ධන මහනුවර ජයග්‍රහණය තහවුරු කළේ මිනිත්තු කිහිපයක් තුළ තවත් දෙවතාවක් ධවල රේඛාව ඉක්මවා යමිනි. තිළිණ විජේසිංහ ඉදිරියට රැගෙන ගිය පන්දුව ලබා ගත් ජමාල්ඩීන් ක්ෂණිකව CH ආරක්ෂක වළලු අතරින් රිංගා ගිය අතර සුපුරුදු ලෙස ප්‍රතිවාදීන් සියල්ල පෙරළා දමමින් ශෂික ධවල රේඛාව ඉක්මවා යන්නට සමත් විය. තිළිණ විජේසිංහ අවස්ථා දෙකේ දී ම ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 38 (6T, 4C) -22 (3T, 1P, 2C) CH&FC කණ්ඩායම

ThePapare තරගයේ වීරයා – බුවනෙක උඩන්ගමුව (මහනුවර)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • මහනුවර ක්‍රීඩා සමාජය – ධනුෂ්ක රන්ජන් (1T), බුවනෙක උඩන්ගමුව (1T), ධනුෂ් දයාන් (1T), අර්ශාඩ් ජමල්දින් (1T), ශෂික ජයවර්ධන (1T), තිළිණ විජේසිංහ (4C)
  • CH&FC කණ්ඩායම – සුදම් සූරියආරච්චි (1T), සැමුවෙල් මධුවන්ත (1P, 2C), ප්‍රසාද් මධුසංක (2T)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<