තරග වාර්තා 26ක් සමඟ යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල නිමාවෙයි

366

Dinesh Para Athletic Games 2016Para Athletic Games 2016

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති සටහන් උළෙල ඊයේ (14) පැවැත්විය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දින තුනක් පුරාවට පැවති මෙම තරගාවලියේ සමාප්තිය ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ඒ. ඩබ්. ජේ. සී. ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.

පසුගිය ලිපි: යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තා 16ක්

පැරා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් විසින් යුද හමුදාපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව තරගාවලියේ සමාප්ති උත්සවයේ ආරම්භය සිදුවූ අතර යුද හමුදා නිලධාරීන් විසින් පවත්වන්නට යෙදුනු විචිත්‍රවත් සරඹ සංදර්ශයේ ආරම්භයත් ඒ සමඟින්ම ආරම්භ විය. ඒ සරඹ සංදර්ශනය තුළ යුද හමුදා පුහුණුව තුළ ලබාදෙන විශේෂ ශාරීරික ව්‍යායාම කොටස්ද ඇතුලත්ව තිබුනි.

ඉන් පසුව පැමිණි පිරිස පිළිගනිමින් යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ජේ. ආර්. අම්පෙමොහොට්ටී මහතා “අපි දැක්කා ඉතා සාර්ථක ජයග්‍රහණ රැසක් ක්‍රීඩකයින් හිමිකරගන්නවා. තරග වාර්තා 26ක් මේ තුලදී අලුත් වෙලා තියනවා අපි දැක්කා. වසරක් පුරාවට ක්‍රීඩකයින් විසින් ලබා දීපු ඒ දායකත්වය අද සාර්ථකව නිමාවට පත් වෙලා තියනවා. එය මේ ක්‍රීඩකයින්ගේ ජවය තවත් වැඩි කරන්නට උද්දීපනයක් ලබා දෙනවා. ලබන වසරේ මීට වඩා හොඳින් මේ තරගාවලිය පවත්වන්නට අපි බලාපොරොත්තු වනවා” යැයි එතුමන් ප්‍රකාශ කර සිටියේය.

පැවති තරග කිහිපයකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය්‍ය වාදක කණ්ඩායම විසින් රෙජිමේන්තු  07ක තූර්ය්‍ය වාදක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තූර්ය්‍ය වාදන සංදර්ශනයක් පැවැත්වනු ලැබීය.

ඉන් අනතුරුව තරගාවලියේ ජය සංකේත හා කුසලාන ප්‍රදානය කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ඒ. ඩ්බ්. ජේ. සී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර රටක් ජයගත් ක්‍රීඩකයින් හට ලොවක් ජයගන්නට මෙම තරගාවලිය මනා අඩිතාලමක් වනවාට නම් කිසිදු සැකයක් නොමැත.

  • තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ශ්‍රී ලංකා පාබළ හමුදාවේ කෝප්‍රල් ආර්. ඒ. ඩී. සී. සෝමසිරි
  • මලල ක්‍රීඩා ශූරතාවය –  ශ්‍රී ලංකා පාබළ හමුදාව (රන් පදක්කම් 25)
  • මලල ක්‍රීඩා අනුශූරතාවයගජබා රෙජිමේන්තුව (රන් පදක්කම් 12)

විශිෂ්ටයින් මැද අතිවිශිෂ්ටයින් සොයා ගිය යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලියේ

  • වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා –  සැරයන් එච්. එම්. ඩී. පී. හේරත් (ගජබා රෙජිමේන්තුව ) *රියෝහී පැවති පැරා ඔලිම්පික් තරාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ක්‍රීඩකයා
  • තරගාවලියේ සමස්ත අනු ශූරතාවගජබා රෙජිමේන්තුව (රන් පදක්කම් 45)
  • තරගාවලියේ සමස්ත ශූරතාවශ්‍රී ලංකා පාබළ හමුදාව (රන් පදක්කම් 48)

තරගාවලියේ ශූරතාවය ලබා ගත් ශ්‍රී ලංකා පාබළ හමුදා කණ්ඩායම් නායක සැරයන් ප්‍රියන්කර මහතා ThePapare.com වෙත ප්‍රකාශ කරනු ලැබුවේ “අපි ඉතාම තියුණු තරගයක් ගජබා රෙජිමේන්තුවට ලබා දුන්නා. තියුණු තරගයක් අවසානයේ සාර්ථක ලෙස අපේ කණ්ඩායම ජයග්‍රණය කළා. ගිය වසරෙත් ශූරතාව ලබා ගත්තේ අපි. මේ වසරේදීත් ලබා ගත්තේ අපි. එළැබෙන වසරේදිත් අපි මෙම ජයග්‍රහණය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා”යන බවයි.

යුද හමුදාවේ සියලුම පාබළ රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 400කගේ පමණ සහභාගීත්වයෙන් මෙම පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්විනි. මලල ක්‍රීඩා සමඟ අනෙකුත් ක්‍රීඩා නියෝජනය කළ ක්‍රීඩකයින් සමඟ මෙම තරගාවලියට ක්‍රීඩකයින් 1000කගේ පමණ සහභාගීත්වයක් ලැබී ඇති බව  වාර්තා වේ.

විශේෂයෙන් 2016 රියෝ ක්‍රීඩා උළෙලෙන් පසුව මම මගේ රෙජිමේන්තුවෙන් තරගාවලි 03කට සහභාගී වුණා. මම මගේ රෙජිමේන්තුව වෙනුවෙන් මගේ කාර්යය මැනවින් ඉටු කළා. මගේ ඉදිරි බලාපොරොත්තුව 2017 ලෝක ශූරතා පැරා තරගාවලියේදී රන් පදක්කම ලබා ගැනීමත් 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදී රන් පදක්කම ලබා ගැනීමත් මගේ එකම බලාපොරොත්තුව” යැයි ThePapare.com සමඟ රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් මෙම වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානය ලබාගත් ක්‍රීඩක (ගජබා රෙජිමෙන්තුව) සැරයන්. දිනේශ් ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉන් අනතුරුව තරගාවලිය නිමා කරමින් “ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවට මාගේ ඉමහත් කෘතඥතාවය පිරිනමනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් වන් ඔබ රට වෙනුවෙන් දිවි පුද කර, විවිධ ආබාධ තත්ත්වයට පත්ව සිටියද සෙබළ සහෝදරත්වය මෙන්ම සටන්කාමීත්වයද මැනවින් ප්‍රදර්ශනය කිරිමටත්, නොහැකියාවන් අභිබවා හැකියාවන් ඉදිරිපත් කිරිමටත්, සමස්ත ආබාධ සහිත රණවිරුවන්ගේ පුනර්ජීවය වෙනුවෙන් වන පුනරුත්තාපනය වෙනුවෙන් වන මෙම ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අනාගතයේදීද පැවැත්වෙනු ඇතැයි මම අපේක්ෂා කරමි. ශ්‍රී ලංකා අන්තර් රෙජිමේන්තු පැරා ක්‍රීඩා උළෙල මෙයින් සමාප්ත වූ බවට ප්‍රකාශ කරමි.” යැයි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ඒ. ඩබ්. ජේ. සී. ද. සිල්වා මහතා ප්‍රකාශ කිරිමත් සමඟ තරගාවලියේ රෙජිමේන්තු ධජ පහත හෙළනු ලැබමින් තරගාවලිය සමාප්තිය සනිටුහන් කරන ලදී.

තරගාවලියේ ක්‍රීඩා ශූරතා සටහන –

  • වෙඩි තැබීමේ ශූරතාවය – ගජබා රෙජිමේන්තුව
  • වොලිබෝල් ශූරතාවය(වාඩි වී සිට) – ශ්‍රී ලංකා පාබළ හමුදාව
  • පිහිණුම් ශූරතාව – ගැමුණු හේවා බලෑණිය
  • මේස පන්දු ශූරතාවය –ගජබා රෙජිමේන්තුව
  • රෝද පුටු ධාවන ශූරතාවය – ගජබා රෙජිමේන්තුව
  • රෝද පුටු ටෙනිස් සම ශූරතාව – ගජබා රෙජිමේන්තුව හා කාළතුවක්කු රෙජිමේන්තුව.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට