බ්ලූ, ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ වොලිබෝල් තරගාවලිය අද ආරම්භ වේ

215

11 වන වරට පවත්වනු ලබන බ්ලූ, ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය අද (24) සහ හෙට (25) කොළඹ රාජකීය විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවලියේ පුහුණුවීම් සඳහා ක්‍රීඩකයින් 25ක්

ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවලියට සමගාමීව, ඉරානයේ ඉෆ්සහන් හී පැවැත්වීමට නියමිත පුහුණු සැසියක් සඳහා ක්‍රීඩකයින් 25කගෙන් ..

රාජකීය විද්‍යාලයීය සංගමයේ ප්‍රධානත්වය යටතේ මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ රාජකීය විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධ උපදේශක හා කළමනාකරණ කමිටුව (RCVAMC) මඟිනි. බස්නාහිර පළාත නියෝජනය කරමින් පාසල් 50කට අධික සංඛ්‍යාවකින් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වනු ඇතැයි සංවිධායකයින් විශ්වාස කරයි.

විශේෂයෙන් මෙම තරගාවලිය බස්නාහිර පළාතේ වොලිබෝල් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන හොඳම පාසල් කණ්ඩායම් අතර පවා ඉතා ප්‍රචලිතව ඇත. තරගාවලියේ බාලක තරග අංශය වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 3ක් ඔස්සේ පැවැත්වෙන අතර තරගාවලියේ බාලිකා තරග අංශය පැවැත්වෙන්නේ වයස අවුරුදු 20න් පහළ වයස් කාණ්ඩය යටතේ පමණි.

“අපේ මූලික අරමුණ ඉහළ ප්‍රමිතියකින් යුතු වොලිබෝල් තරගාවලියක් සංවිධානය කරලා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ තත්වය ඉහළ නැංවීම. ඒ වගේම අපිට අවශ්‍යයි මේ ක්‍රීඩාව ජාතික තලයේ මෙන්ම පාසල් ක්ෂේත්‍රය තුළත් ජනප්‍රිය කරන්න. 2005 වසරේ දී පටන් ගත්ත මෙම තරගාවලිය මේ වන විට සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 11 වෙනි වරට වීම ඒකට හොඳ සාක්ෂියක්.”

රාජකීය විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධ උපදේශක හා කළමනාකරණ කමිටුවේ සභාපති නිර්මල සරත්චන්ද්‍ර මහතා තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

“අද වන විට වොලිබෝල් ක්‍රීඩාව අප පාසල ඉහළින්ම දක්‍ෂතා දක්වන ක්‍රීඩාවලින් එකක් බවට පත්කරන්න රාජකීය විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධ උපදේශක හා කළමනාකරණ කමිටුවට හැකි වෙලා තියෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුළ ජාතික තලයේ දක්‍ෂ කනිෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම බිහි කරන්න අපිට හැකි වුනා. ඒක අපි ලබා ගත්ත ලොකු ජයග්‍රහණයක්.”

තවදුරටත් අදහස් දක්වමින් සරත්චන්ද්‍ර මහතා පැවසීය.

පසුගිය වසරේ වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාවය දිනා ගත් කඳාන ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායමට මෙවර ද ශූරතාවය දිනා ගැනීමට නම් තවත් ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම සමඟ තරග වැදීමට සිදු වනු ඇත. විශේෂයෙන් පසුගිය වසරේ අනුශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමෙන් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේ දී වයස අවුරුදු 16න් පහළ හා 18න් පහළ බාලක ශූරතා පිළිවෙළින් ගොන්සාල්වේස් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යා පීඨය විසින් දිනා ගත් අතර එම වයස් කාණ්ඩවල අනුශූරතාවය දිනා ගනු ලැබුවේ සුභාෂි රාජකීය විද්‍යාලයීය සහ කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම් විසිනි.

අනෙක් පසින් පසුගිය වසරේ දී වයස අවුරුදු 20න් පහළ බාලිකා අංශයේ ශූරතාවය පානදුර අගමැති බාලිකා විද්‍යාලය විසින් දිනා ගත් අතර එහි අනුශූරියන් බවට පත්වූයේ කෙහන විද්‍යාලයීය කණ්ඩායම යි.

තරගාවලියේ තීරකයින් ලෙස ශ්‍රී ලංකාවේ සිටින හොඳම තරග තීරකයින් කටයුතු කරනු ලබයි. එමෙන්ම මෙහි දී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට වටිනා කුසලාන සහ පදක්කම් පිරිනැමීමට ද නියමිතයි. විශේෂයෙන් පැවැත්වෙන තරග අංශ දෙක සඳහාම තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා සහ හොඳම පන්දු සකසන්නා යන සම්මාන ද පිරිනැමෙනු ඇත.

තරගාවලියේ සමාරම්භක උළෙල තරගාවලිය ආරම්භක දිනය වන අද දින පෙ. ව. 8 ට පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ අර්ධ අවසන් තරග සහ අවසන් මහා තරග හෙට  පෙ. ව. 10.30 ට ආරම්භ වනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට