ශූරතාවය විද්‍යාරතනයට; රාජකීයයන්ට දෙවැනි තැන

3093
Youth common wealth games boxing trials

කනිෂ්ඨ ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් තරග ඊයේ (04) මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවති අතර එහි දී පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය සමත් විය. ඔවුන්ට පමණක් දෙවැනි වූ රාජකීය විද්‍යාලයීය බොක්සිං කණ්ඩායම අනුශූරතාවයට පත්විය. කාන්තා අංශයේ ශූරියන් බවට පත්වූයේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයයි. එහි අනුශූරතාවය වත්තේගම දුනුහප්පාව කනිෂ්ඨ විද්‍යාලයට හිමිවිය.

ගමේ සහ නගරයේ යෞවනයන් කරට කර සටනක

2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම තෝරා ගැනීමේ තරග අද (03) කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී ඇරඹිණි.

කනිෂ්ඨ ජාතික බොක්සිං ශූරතාවලිය පසුගිය වසරේ දී නොපැවැත්වුණත්, එය මේ වසරේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය තීරණය කළ අතර මෙවර තරගාවලිය පැවැත්වුණේ 2016 වසර වෙනුවෙනි. මීට සමගාමීව 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වන මූලික සංචිතය තේරීමේ තරග කිහිපයක් ද පැවැත්විණි.

ඊයේ පැවතියේ කනිෂ්ඨ කාන්තා සහ පිරිමි අවසන් තරග යි. ඉන් හරි අඩක්ම ජයග්‍රහණය කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම කැපීපෙනිණි.

දිනයේ කනිෂ්ඨ ශූරතා තරග ආරම්භ වූයේ කාන්තා කි.ග්‍රෑ. 54 බර පන්තිය වෙනුවෙන් පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් දෙපලක් වූ ජේ. කුමුදුමාන සහ එස්. සෝමරත්න අතරයි. එහි දී ජේ. කුමුදුමාන ක්‍රීඩිකාවට පහසු ජයක් අත්විය.

කාන්තා කි.ග්‍රෑ. 48 බර පන්තිය වෙනුවෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ක්‍රීඩිකාවන් දෙපලක් වන පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ කව්මිණි ගමගේ සහ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ එස්. ඉලංගරත්න අතර තරගයක් පැවැත්විණි. එහි දී ක්‍රීඩිකාවන් දෙපලගෙන්ම උසස් තාක්ෂණික දක්ෂතා ප්‍රදර්ශනය වූ අතර පළමු වටය තුළ දී ඉලංගරත්න විසින් කව්මිණිට දැඩි අභියෝගයක් එල්ල කරන ලදී. නමුත් දෙවන වටයේ සිට තම සුපුරුදු ක්‍රීඩා ශෛලියට අවතීර්ණ වූ කව්මිණි, වේගවත් ප්‍රහාර රැසක් සමඟින් නරඹන්නන්ගේ අවධානය දිනා ගත්තාය. තෙවන වටය දක්වාම ඒ දක්ෂතා රඳවා ගත් කව්මිණි ජයග්‍රහණය ලබාගත්තේ විනිසුරු තීරණ 5න් 5ම තමා වෙත පවරා ගනිමිනි.

කාන්තා කි.ග්‍රෑ. 64 බර පන්තිය යටතේ දුනුහප්පාව කනිෂ්ඨ විද්‍යාලයේ ඩී. සිල්වා සහ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ එස්. ඉමාලි තරග වැදුණු අතර ඉන් ජය ගන්නට එස්. සිල්වා සමත් වූවාය. ඉමාලි වෙත දැඩි ප්‍රහාර කිහිපයක් එල්ල වෙද්දී ඇය තරගය අවසන් වන තෙක් බොක්සිං වළල්ල හැර නොයාම විශේෂ සිදුවීමක් විය.

පිරිමි අංශයේ කි.ග්‍රෑ. 46-49 (ලයිට් ෆ්ලයි වෙයිට්) බර පන්තියේ අවසන් තරගය, කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලයේ ඒ. කපුකොටුව සහ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ එම්. හඳුවල අතර යි. තරගකරුවන් දෙදෙනාම වේගවත් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වනු දැකිය හැකි විය. කපුකොටුවට තම දිගු බාහුවල වාසිය ලැබී තිබූ අතර හඳුවලට ලැබී තිබූ වාසිය වූයේ ඔහුගේ වේගයයි. කෙසේ වෙතත් තෙවන වටයේ දී පැහැදිලි මුෂ්ටි ප්‍රහාර දෙකක් හඳුවලට එල්ල වූ බව විනිසුරු විසින් සංඥා කෙරිණි. පැති විනිසුරුවන්ගේ තීරණ 4-1ක් වශයෙන් ජයග්‍රහණය හිමිවූයේ කපුකොටුවටයි.

පිරිමි, කි.ග්‍රෑ. 52 (ෆ්ලයි වෙයිට්) බර පන්තිය සඳහා රාජකීය විද්‍යාලයේ එන්. ප්‍රවීන් සහ කල්‍යාණප්‍රදීප විද්‍යාලයේ බී. මනරම් තරග වැදිණි. එහි දී උපක්‍රමශීලීව ක්‍රීඩා කළ මනරම්, තම ප්‍රතිවාදියාව අසමබර කළ අතර එහි දී ප්‍රවීන් ආබාධයකට ලක්විය. පසුව තරගය මනරම් වෙත පැවරීමට රාජකීය විද්‍යාලයීය පුහුණුකරු අබ්දුල්ලා ඉබුනු තීරණය කළේ තම ක්‍රීඩකයාගේ තත්වය සලකා බලමිනුයි.

පිරිමි, කි.ග්‍රෑ. 56 (බැන්ටම් වෙයිට්) බරපන්තියේ ශූරතාවය සඳහා හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ කේ. මධුරංග සහ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ එම්. කරුණාසිංහ තරග වැදිණි. එහි දී මධුරංග, දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වෙමින් විනිසුරු තීරණ 5න් 5ම තම වාසියට හරවා ගත් අතර කරුණාසිංහට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

පිරිමි, කි.ග්‍රෑ. 69 (වෙල්ටර් වෙයිට්) බර පන්තියේ ශූරතාවය සඳහා තරග වැදුණේ රාජකීය විද්‍යාලයේ එම්. මොහොමඩ් සහ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ පී. රත්නසිරි ය. එහි දී උද්යෝගීමත්ව තරගය ආරම්භ කිරීමට මොහොමඩ් සමත් වූවත් දෙවන සහ තෙවන වටවල දී ප්‍රතිවාදියාව තම දෑත්වලින් විලංගු ලා තබා ගැනීම වෙනුවෙන් ඔහුට දඬුවම් හිමිවිය. තරගය අවසන් වූයේ රත්නසිරිට ජය හිමිකර දෙමිනි.

පිරිමි කි.ග්‍රෑ. 91, එසේත් නැත්නම් හෙවි වෙයිට් අංශය වෙනුවෙන් රාජකීය විද්‍යාලයේම ආර්. ප්‍රමුක් සහ ඩී. රත්නායක තරග වැදුණු අතර බොක්සිං කවය තුළ දිස්වූයේ සුහද තරගයක ස්වභාවයකි. ඉන් අනතුරුව ජයග්‍රහණය රත්නායක වෙත පැවරීමට විනිසුරු තීරණය කළේය.

කනිෂ්ඨ ජාතික බොක්සිං තරගාවලිය අවසානයේ දී ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණු අතර එහි මූලාසනය දැරුවේ පාසල් බොක්සිං සංගමයේ සභාපතිතුමා මෙන්ම මහානාම විද්‍යාලයේ විදුහල්පතිධූරය ද දරන එල්. එම්. ඩී. ධර්මසේන මහතා ය.

සම්මාන, ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බෙදී ගියේ මෙසේයි.

පිරිමි ශූරතාවය – හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය.

පිරිමි අනුශූරතාවය – රාජකීය විද්‍යාලය.

දක්ෂතම ක්‍රීඩකයා – කේ. මධුරංග.(විද්‍යාරතන)

දක්ෂතම පරාජිතයා – ඒ. හඳුවල.(විද්‍යාරතන)

කාන්තා ශූරතාවය – පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය.

කාන්තා අනුශූරතාවය – වත්තේගම දුනුහප්පාව මහා විද්‍යාලය.

දක්ෂතම ක්‍රීඩිකාව – කව්මිණි ගමගේ. (පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය)

දක්ෂතම පරාජිතයා – එස්. ඉලංගරත්න (වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය)

මේ හා සමගාමීව 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා වරම් දිනා ගන්නා ක්‍රීඩකයන්ගේ මූලික සංචිතය තෝරා ගැනීම සඳහා වන තරගාවලියේ අවසන් පූර්ව තරග කිහිපයක් ද පැවැත්විණි. අද (05) එහි අවසන් තරග පැවැත්වේ. ඊයේ පැවති තරගවල දී ජයග්‍රහණ වාර්තා වූයේ මෙසේයි.

පිරිමි, කි.ග්‍රෑ. 46-49 (ලයිට් ෆ්ලයි වෙයිට්) – ධීරානන්ද විදුහලේ එස්. බණ්ඩාරට එරෙහිව විද්‍යාරතන විද්‍යා පීඨයේ ජේ. කුමාර තරග වැදුණු අතර ජය හිමිවූයේ බණ්ඩාරට යි.

පිරිමි, කි.ග්‍රෑ. 46-49 (ලයිට් ෆ්ලයි වෙයිට්) – රාජකීය විද්‍යාලයේ ඒ. අල්තාෆ්ට එරෙහිව නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ බී. අබේවික්‍රම තරග වැදුණු අතර ජය හිමිවූයේ අල්තාෆ්ටයි.

පිරිමි, කි.ග්‍රෑ. 52 (ෆ්ලයි වෙයිට්) – සාන්ත ජෝන් විද්‍යාලයේ එස්. හේමජිත්ට එරෙහිව විද්‍යාරතන විද්‍යා පීඨයේ ඩී. තාරක තරග වැදුණු අතර ජය හිමිවූයේ හේමජිත් හටයි.

පිරිමි, කි.ග්‍රෑ. 52 (ෆ්ලයි වෙයිට්) – විද්‍යාරතන විද්‍යා පීඨයේ වයි. ජයලත්ට එරෙහිව රාජකීය විද්‍යාලයේ කෙවින් ප්‍රියරත්න තරග වැදුණු අතර ජය හිමිවූයේ කෙවින්ට යි.

පිරිමි, කි.ග්‍රෑ. 56 (බැන්ටම් වෙයිට්) – විද්‍යාරතන විද්‍යා පීඨයේ වී. කවිශාන්ට එරෙහිව ධීරානන්ද විද්‍යාලයේ සී. ඒකනායක තරග වැදීමට නියමිතව තිබුණත් ප්‍රතිවාදියා නොපැමිණීම නිසා ඒකනායකට ජය හිමිවිය.

පිරිමි, කි.ග්‍රෑ. 56 (බැන්ටම් වෙයිට්) – මුලතිව් මහා විද්‍යාලයේ එම්. ෂර්මිලාන්ට එරෙහිව රාජකීය විද්‍යාලයේ වී. හෙට්ටිආරච්චි තරග වැදීමට නියමිතව තිබුණත් ෂර්මිලාන්ගේ උපන් වර්ෂය පිළිබඳ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් හෙට්ටිආරච්චිට ජය හිමිවිය.

කාන්තා, කි.ග්‍රෑ. 48-51 (ෆ්ලයි වෙයිට්) – පල්ලේබෝවල කනිෂ්ඨ විද්‍යාලයේ කේ. රණවීරට එරෙහිව ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ එස්. කුමාරි තරග වැදුණු අතර ජය හිමිවූයේ කුමාරිට යි.

කාන්තා, කි.ග්‍රෑ. 48-51 (ෆ්ලයි වෙයිට්) – ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ වී. සෙව්වන්දිට එරෙහිව පල්ලේබෝවල කනිෂ්ඨ විද්‍යාලයේ ඊ. ප්‍රියදර්ශනී තරග වැදුණු අතර ජය හිමිවූයේ ප්‍රියදර්ශනීට යි.

අද (05) දිනයේ දී මෙම තරගාවලියේ අවසන් තරග මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වෙන අතර මූලික සංචිතය තෝරා පත්කර ගැනීමෙන් පසුව ඉන් දෙදෙනෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙත පියමන් කිරීමට වාසනාව ලබනු ඇත. පැවැත්වෙන තරගවල ප්‍රතිඵල සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට