එස්.එල්.පී.එල්. අධ්‍යක්‍ෂ ඇතුළු පස්දෙනකුගේ කොන්ත්‍රාත්තු අහෝසියි

119

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ යෙදී සිටින වත්මන් සේවක සංඛ්‍යාවෙන් පස්දෙනකු හැර අන් සියලුම දෙනාගේ කොන්ත්‍රාත්තු සේවා කාලය 2016 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට නව ක්‍රිකට් අතුරු කමිටුව තීරණය කර ඇතැයි ‘මව්බිම’ ට වාර්තා වේ.

පසුගිය සිකුරාදා (05දා) රැස්වූ ක්‍රිකට් අතුරු කමිටුව මෙම තීරණයට එළැඹී ඇතැයි දැනගන්නට ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (එස්.එල්.පී.එල්.) තරග අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අජිත් ජයසේකර, දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා වන ලක්‍ෂ්මන් ද සිල්වා හා ප්‍රධාන ආරක්‍ෂක කළමනාකරු එස්.එම්. රණසිංහ යන මහත්වරුන්ගේ සේවා කාලය මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වීමත් සමඟ නතර කිරීමට තීරණය කර ඇත. මෙකී නිලධාරීන් තිදෙනාගේම වයස අවුරුදු 65 ඉක්මවා තිබීමද මෙසේ ඔවුන්ගේ සේවා කාලය තවත් දීර්ඝ නොකිරීමට එක් ප්‍රධාන හේතුවක් යැයි පැවැසෙන අතර එස්.එල්.පී.එල්. තරගාවලියක් මෙරට නොපවත්වන තත්ත්වයක් තුළ රියැදුරකු සමඟ නිල වාහනයක් සහ රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක මාසික වැටුපක් ලබමින් එම අධ්‍යක්‍ෂවරයා ලෙස අජිත් ජයසේකර මහතා කටයුතු කිරීමද අනවශ්‍ය වියදමක් ලෙස මින් පෙරද කතාබහට ලක්වී තිබිණි.

එසේම මේ මස 30දායින් තම කොන්ත්‍රාත්තු සේවා කාලය අවසන් වීමට නියමිතව සිටින මාධ්‍ය කළමනාකරු රජිත් ප්‍රනාන්දු මහතාගේ හා අලෙවි කළමනාකාරිනි නවුෂලී ද සිල්වා මෙනෙවියගේ සේවා කාලයද තවදුරටත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්තව සිටින සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව 220ක් පමණ වෙයි.

මේ අනුව එස්.එල්.පී.එල්. තරග අධ්‍යක්‍ෂවරයා යටතේ යම් රාජකාරියක් තිබුණේ නම් මින් පසු එම කටයුතු තරගාවලි කමිටු කළමනාකරු යටතේ ක්‍රියාත්මක වන අතර කොන්ත්‍රාත්තු කාලය ඉක්මයෑම හේතුවෙන් පසුගියදා ඉවත් කරන ලද නීති නිලධාරිනියගේ රාජකාරි කටයුතුද වහාම ක්‍රියාත්මක වන පරිදි මානව සම්පත් කළමනාකරුවාට පවරා ඇත.

කෙසේ වෙතත් පෙරේදා ක්‍රිකට් ආයතනයේදී පැවැති ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ විශේෂ මාධ්‍ය හමුවෙන් පසුව අතුරු කමිටු නිලධාරීන් ක්‍රිකට් ආයතන කාර්ය මණ්ඩලයද හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර තමන් ක්‍රිකට් පරිපාලනයට පැමිණියේ සේවක කප්පාදුවකට නොවන බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට කටයුතු කිරීමට බවත් අතුරු කමිටු නිලධාරීන් පැවැසූ බවද වාර්තා වේ. තවද අතුරු කමිටුව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් අජිත් ජයසේකර මහතා තම අප්‍රසාදය පළකරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවද දැන ගන්නට ඇත.