2016 ලෝක කුසලාන කාන්තා අවසාන මහා තරඟය අද (3) ඉන්දියාවේ කොල්කටා හිදී ලෝක ශූරී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ප්‍රථමයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. එලයිසා හේලි ලකුණු 4 කට පළමු කඩුල්ල ලෙස දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි මැග් ලැනින් සමඟ එක්වූ එලයිසා විලනි ලකුණු 77 ක සබඳතාවක් දෙවන කඩුල්ල සඳහා ගොඩනංවන ලදි. දෙවන කඩුල්ල ලෙස පන්දු 37 කදී 4 පහරවල් 9 ක් සමඟ වේගවත් ලකුණු 52 ක් ලබා සිටි එලයිසා විලනි දැවී යන ලදි. ලකුණු පුවරුවට තවත් ලකුණු 42ක් එක් වෙද්දී පන්දු 49 කදී 4 පහරවල් 8 ක් සමඟ ලකුණු 52 ක් ලබා සිටි මැග් ලැනින් දැවී යන ලදි. එලයිසා පෙරී 6 පහරවල් 2 ක් සමඟ ලකුණු 28 ක් ලබා සිටියදී දැවී යන ලදි. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 148 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී දේන්ද්‍රා ඩොටින් ලකුණු 33 කට කඩුළු 2 ක් දවාලීමට සමත් විය.

CRICKET-WT20-2016-AUS-WIS-WOMENS-FINAL
©AFP

ලකුණු 149 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු කඩුල්ල සඳහා ලකුණු 120 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැංවීමට හේලි මැතිව්ස් හා ස්ටැෆනි ටේලර් සමත් විය. පළමු කඩුල්ල ලෙස හේලි මැතිව්ස් පන්දු 45 කදී 4 පහරවල් 6 ක් හා 6 පහරවල් 3 ක් සමඟ ලකුණු 66 ක් ලබා සිටියදී දැවී යන ලදි. තවත් ලකුණු 24 ක් එක් වෙද්දී පන්දු 57 කදී 4 පහරවල් 6 ක් සමඟ ලකුණු 59 ක් ලබා සිටි ස්ටැෆනි ටේලර් දැවී යන ලදි. ඔවුන් පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුණු 149 ක් ලබා වාර්තා පොත් අලුත් කරමින් තරඟය කඩුළු 8 කින් ජයග්‍රහණය කර ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පිට පිට සිව්වන වරටත් දිනා ගැනීමට තිබූ ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත රැගෙන යන ලදි.

තරඟයේ වීරවරිය ලෙස හේලි මැතිව්ස් ද, තරඟාවලියේ වීරවරිය ලෙස කණ්ඩායම් නායිකා ස්ටැෆනි ටේලර් සම්මාන දිනා ගන්නා ලදි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම දිනාගත් පළමු ලෝක කුසලාන පන්දුවාර 20 – 20 ලෝක කුසලානය මෙය විය.