ඇමරිකාවට වැඩි වාසි සමඟ ලෝක ශූරතාව ඇරඹෙයි

World Athletics Championship 2025

109
World Athletics Championship 2025

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (13) ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වුනා.

ඊයේ දිනය තුළ ම පදක්කම් කිහිපයක් බෙදී ගිය අතර, තවත් ඉසව් කිහිපයකම මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වුනා. එම තරග ඉසව්වල දී ලෝකයේ බලාපොරොත්තු සහගත මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද පිටියට පිවිසෙන අයුරු දැක බලා ගැනීමට හැකියාව ලැබුණා.

මුල්ම පදක්කම් යුගලය කැනඩාවට සහ ස්පාඤ්ඤයට

මලල ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් කාන්තා සහ පිරිමි කිලෝමීටර් 35 ඇවිදීමේ ඉසව්ව ක්‍රියාත්මක වූ අතර, එහි දී පිරිමි ඉසව්වේ ජය කැනඩාවේ Evan Dunfee හට හිමි වුනා. මේ අතර කාන්තා ඉසව්ව ජය ගැනීමට ස්පාඤ්ඤයේ Maria Perez විසින් සමත් වුනා.

ඊයේ සවස් වරුවේ දී පිරිමි මීටර් 3000 ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වුනා. එහි දී බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වූ, මීට පෙර දෙවරක් ලෝක ශූරයා වූ මොරොක්කෝවේ Soufiane El Bakkali පහසුවෙන් ම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කාන්තා දුර පැනීමේ ඉසව්වේ දී වත්මන් ඔලිම්පික් ශූරිය වන ඇමරිකාවේ Tara Davis Woodhall මූලික වටයේ හොඳම දුර ප්‍රමාණය ද වාර්තා කරමින් (මීටර් 6.88ක්) අවසන් තරගයට පහසුවෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මීටර් 100 සටන ඇරඹෙයි

කාන්තා සහ පිරිමි මීටර් 100 මූලික වටයේ තරග ඊයේ ක්‍රියාත්මක වුනා. මෙහි දී කාන්තා ඉසව්ව නියෝජනය කළ වත්මන් ඔලිම්පික් ශූරී Julien Alfred මූලික වටයේ හොඳම කාලය ලෙස තත්පර 10.93ක් වාර්තා කළ අතර, මහා බ්‍රිතාන්‍යයේ Daryll Neita සහ ඇමරිකාවේ Melissa Jefferson-Wooden තත්පර 11ට අඩු කාල වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර මෙම ඉසව්ව වෙනුවෙන් විශේෂ අවධානයක් හිමි වූ වත්මන් ලෝක ශූරී Sha’carri Richardson මෙම තරගවාරයේ සිය පෞද්ගලික හොඳම කාලය ලෙස තත්පර 11.03ක් වාර්තා කළා. එමෙන්ම ජැමෙයිකාව නියෝජනය කරන Shericka Jackson, Shelly Ann Fraser Pryce සහ Tina Clayton ද පහසුවෙන් ම ඉදිරි වටය වෙනුවෙන් සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වට වල දී හොඳම කාලය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ Gift Leotlela සමත් වුනේ තත්පර 9.87ක් සමඟයි. මේ අතර වත්මන් ඔලිම්පික් ශූර Noah Lyles සහ ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ජැමෙයිකාවේ Kishane Thompson ද පහසුවෙන් ම මූලික වටයේ කඩ ඉම තරණය කිරීමට සමත් වුනා.

මෙම මීටර් 100 ද්විත්වයේ ම අවසන් තරග අද (14) සවස් කාලයේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

ලෝක ශූරයින් සටනේ

පිරිමි රිටි පැනීම ඉසව්වේ මූලික වටයෙන් පහසුවෙන් ම ඉදිරියට යාමට වත්මන් ලෝක ශූර Mondo Duplantis සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්වේ මූලික වටයට සහභාගී වූ කෙන්යාවේ Faith Kipyegon ද අමතර වෙහෙසක් නොයොදාම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ඇමරිකාවට වැඩි වාසි

ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි යගුලිය විසි කිරීම ඉසව්ව පහසුවෙන් ජය ගැනීමට වත්මන් ලෝක ශූර ඇමරිකාවේ Ryan Crouser සමත් වුනේ මීටර් 22.34ක දක්ෂතාවක් සමඟයි. මෙය ඔහුගේ මෙම තරගවාරය සඳහා හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.

කාන්තා මීටර් 10000 ඉසව්ව ජය ගැනීමට කෙන්යාවේ Beatrice Chebet සමත් වූ අතර, එහි රිදී පදක්කම නව ජාතික වාර්තාවක් ද සමඟම ඉතාලිය වෙත රැගෙන යාමට Nadia Battocletti සමත් වුනා.

ඊයේ දිනයේ අවසන් ඉසව්ව ලෙස මිශ්‍ර 400×4 ඉසව්ව ක්‍රියාත්මක වූ අතර, එහි දී තරගාවලි වාර්තාව සම කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුනා. මෙහි දෙවැනි ස්ථානය නෙදර්ලන්තයට හිමි වූ අතර, නෙදර්ලන්ත ක්‍රීඩිකා Femke Bol විසින් පසුගිය ඔලිම්පික් උළෙලේ දී මෙන් නැවත වරක් ඇමරිකාවෙන් පදක්කම සොරා ගැනීමට දැරූ උත්සාහය මෙවර සාර්ථක වුනේ නැහැ.

අද සවස නදීශා තරග බිමට

ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අද ක්‍රියාත්මක වීමට නියමිතයි. අද දිනය තුළ කාන්තා මැරතන් ඉසව්ව ක්‍රියාත්මක වන අතරම, අද සවස් වරුවේ කාන්තා සහ පිරිමි මීටර් 400 මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙහි දී ශ්‍රී ලංකාවේ නදීශා රාමනායක ඉසව්වේ 05 වැනි මූලික වටයේ තරගයට සහභාගී වීමට නියමිත අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.27ට ආරම්භ වනු ඇති.

මේ අතර අද දිනයේ දී කාන්තා කවපෙත්ත විසිකිරීම, කාන්තා දුර පැනීම, පිරිමි මීටර් 10000 සහ කාන්තා සහ පිරිමි මීටර් 100 අවසන් තරග ද ක්‍රියාත්මක වනු ඇති.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>