උතුරු මැද සහ බස්නාහිර යලිත් ජය ගනී

317
Women’s Provincial T20 Championship

අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනයට අදාළ තරග වලදී ජයග්‍රහණ වාර්තා කරන්නට උතුරු මැද සහ බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් සමත් විය. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ දී ඊයේ (06) පැවති මෙම තරග වලදී උතුරු මැද පළාත් කණ්ඩායම තම තරගය පහසුවෙන් ජය ගැනීමත් බස්නාහිර පාලාත් ජයග්‍රහණය සුපිරි පන්දු වාරයක් (Super Over) දක්වා ඇදීයාමත් කැපී පෙනුනි.

පසුගිය ලිපි: බස්නාහිර සහ උතුරු මැද කාන්තාවෝ ජයග්‍රගණ වාර්තා කරයි

උතුරු මැද පළාත් සහ දකුණු පළාත් කණ්ඩායම් අතර තරගය

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ දකුණු පළාත් නායිකාවයි. ඇය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත් පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් දකුණු පළාත් කණ්ඩායමට සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ගොඩ නගන්නට නොහැකි විය. ඔවුන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදීමට මෙහිදී උත්සාහ දැරූ අතර එම උත්සාහය සාර්ථක වුවත් අවසන් භාගයේදී ඉනිමට වේගය එක් කරන්නට ඔවුන් අසමත් විය.

ඡායාරූප ඇල්බමය

ඒ අනුව ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 107ක් පමණයි. අනුෂ්කා සංජීවනී ලකුණු 48ක් ලබා ගත් අතර චමරි පොල්ගම්පල නොදැවී ලකුණු 31ක් රැස් කරන ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල උතුරු  මැද පළාත් ක්‍රීඩිකාවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 108ක් ලබාගෙන තරගය ජය ගන්නට සමත් විය. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දුවාර 16යි එක් පන්දුවක් පමණි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල චමරි අතපත්තු ලකුණු 63ක් ලබාගත් අතර ඕෂධී රණසිංහ ලකුණු 31ක් ලබා ගන්නට සමත් විය.

ලකුණු පුවරුව

දකුණු පළාත – 107/3 (20) – අනුෂ්කා සංජීවනී – 48, චමරි පොල්ගම්පොල – 31

උතුරු මැද පළාත – 108/2 (16.1) – චමරි අතපත්තු – 63, ඕෂධී රණසිංහ – 31, චමෝදි ගුණරත්න – 2/16

උතුරු මැද පළාත් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.


බස්නාහිර පළාත් සහ මධ්‍යම පළාත් කණ්ඩායම් අතර තරගය

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම් නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. කෙසේ වෙතත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 91ක් පමණයි. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටත් වඩා තනිව ලබාගත් නිපුනි හංසිකාගේ ඉනිම අවසන් වුනේ ලකුණු 46කටයි. ඊට අමතරව පිත්තෙන් සැලකිය යුතු දායකත්වයක් සපයන්නට කිසිදු බස්නාහිර ක්‍රීඩිකාවක් සමත් නොවූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 3ක් සහ ෂෙරීනා රවිකුමාර් කඩුලු 2ක් දවා ගන්නා ලදී.

පහසු ඉලක්කයක් ලෙස දිස්වූ ලකුණු 92 හඹා යාම වරින් වර කණ්ඩායම් දෙකේම වාසියට දෝලනය වන බවක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් අවසානය තෙක් තම සටන අත් නොහැරි බස්නාහිර ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් කණ්ඩායමද ලකුණු 91කට සීමා කිරීමට සමත් විය. ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 34කින් සහ යශෝධා මෙන්ඩිස් ලකුණු 19කින් මධ්‍යම කණ්ඩායමට දායකත්වය ලබා දුන් නමුත් ඔවුන්ට හැකිවුණේ බස්නාහිර පාලාත් ලකුණු සංඛ්‍යාව සම කිරීමට පමණයි.

මේ අනුව තරගයේ තීරණය ලබා දීම සඳහා දෙපිලටම එක් පන්දුවාරය බැගින් වූ තරගයක් (Super Over) භාවිත කරන්නට විනිසුරුවන්ට සිදුවිය. මෙහිදී සාමාන්‍යයෙන් භාවිත කරන නීති රීති අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවන්නේ තරගයේදී ලකුණු හඹා ගිය කණ්ඩායමටයි. මේ අනුව මධ්‍යම පළාත් ක්‍රීඩිකාවන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් එක් කඩුල්ලක් දැවී ලකුණු 6ක් ලබා ගන්නට සමත් විය. බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් පන්දු 5ක් පමණක් වැය කරමින් කිසිවෙක් නොදැවී ලකුණු 7ක් ලබාගෙන මේ තරගය ජය ගන්නට සමත් විය.

ලකුණු පුවරුව

බස්නාහිර පලාත – 91/9 (20) : නිපුනි හංසිකා – 46, උදේශිකා ප්‍රබෝධිනී – 3/15, ෂෙරීනා රවිකුමාර් – 2/20

මධ්‍යම පළාත – 91/8 (20) : ප්‍රසාදිනී වීරක්කොඩි – 34, යශෝධා මෙන්ඩිස් – 19

Super Over ලකුණු පුවරුව

  • මධ්‍යම පළාත – 6/1 (1)
  • බස්නාහිර පළාත – 7/0  (0.5)    

තරගය ලකුණු සමවීම හේතුවෙන් ජය පැරදුමෙන් තොරයි. බස්නාහිර පලාතට සුපිරි පන්දුවාරයේ ජය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට