විට්නි සහ රන්දිගේ දක්ෂතා පළමු දිනයේ ම අවධානයට ලක් වෙයි

46

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලිය අද (8) ආරම්භ වූ අතර එහි දී Blues කණ්ඩායම සහ Greens කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා.

අද පැවැති තරගවල දී තරගාවලියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට Greens කණ්ඩායමේ විට්නි ද අල්විස් සමත් වෙන අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Blues කණ්ඩායමේ රන්දි ප්‍රේමරත්න සමත් වෙනවා.

Team Blues සහ Team Greys අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Team Greys ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 97ක් පමණක් වන අතර එම ඉලක්කය තවත් පන්දු 15ක් සහ කඩුලු 5ක් ඉතිරි ව සපුරා ගැනීමට Team Blues ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ Team Blues නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Greys ඉනිමේ ආරම්භක කඩුලු 5 ලකුණු 17ක් තුළ දැවී යනවා. එලෙසින් අසරණව ගිය ඉනිමේ 6 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 43ක් එක් කිරීමට හංසිමා කරුණාරත්න සහ සඳුනි නිසංසලා සමත් වෙනවා.

ඔවුන් අතුරින් සඳුනි නිසංසලා පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඉනිම අවසන් වෙද්දී හංසිමා කරුණාරත්න පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

එම ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ ඉඩ ලබා නොදුන් අතර එහි දී රන්දි ප්‍රේමරත්න ලකුණු 16කට කඩුලු 4ක් ද සහ සචිනි නිසංසලා ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව චේතනා විමුක්ති, දෙව්මි විහංඟ සහ යසන්ති හේරත් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Team Blues ඉනිමේ ආරම්භය ද එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 24ක් වෙද්දී දැවී යනවා. නමුත් 5 වැනි කඩුල්ලට එක් වූ ඉමල්කා මෙන්ඩිස් සහ අමා කාංචනා එක් ව ප්‍රතිවාදීන්ගේ බලය බිඳ දමන්නේ පන්දු 72ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කරමිනුයි.

එහි දී ඉමල්කා මෙන්ඩිස් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟන් ලකුණු 43ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙනවා. තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී අමා කාංචනා පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී තාරිකා සෙව්වන්දි ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මල්කි මදාරා සහ තාරුකා ශෙහානි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Greys – සියලුම දෙනා දැවී 97 (17.5)හංසිමා කරුණාරත්න නොදැවී 40, සඳුනි නිසංසලා 31, රන්දි ප්‍රේමරත්න 4/16, සචිනි නිසංසලා 3/13
  • Team Blues – කඩුලු 5ක් දැවී 98 (17.3)ඉමල්කා මෙන්ඩිස් 43, අමා කාංචනා නොදැවී 37, තාරිකා සෙව්වන්දි 3/13

Blues කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Team Greens සහ Team Red අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Greens කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් එහි දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ ආරම්භක පිතිකාරිනිය වූ විට්නි අල්විස්. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා.

ඇය නෙත්මි සේනාරත්න (9) හා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 44ක සබඳතාවක් ද සහ නායිකා හසිනි පෙරේරා හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 60ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

හසිනි පෙරේරා පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව රශ්මි නෙත්‍රාංජලී පන්දු 5ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශෂින් ගිම්හානි ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Red ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 120ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ උමයංගනා පීරිස්. ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඊට අමතර ව අසේනි තලගුණේ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද, නෙතගි ඉසුරාංජලී පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ද සහ විමෝක්ෂා බාලසූරිය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රශ්මි සිල්වා ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව පියුමි වත්සලා සහ නිමාෂා මදුශානි කඩුලු ද්විත්වය බැගින් ද රිශ්මි සංජනා සහ මල්ශා ශෙහානි කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Greens – කඩුලු 6ක් දැවී 153 (20.0)විට්නි ද අල්විස් 63, හසිනි පෙරේරා 34, ශෂිනි ගිම්හානි 3/20
  • Team Red– සියලුම දෙනා දැවී 120 (18.1)උමයංගනා පීරිස් 37, නෙතගි ඉසුරාංජලී 17, අසෙනි තලගුණේ 19, පියුමි වත්සලා 2/21, නිමාශා මදුශානි 2/30, රශ්මි සිල්වා 4/19

Greens කණ්ඩායමට ලකුණු 33ක ජයක්.

තරගාවලියේ හෙට (9) Team Greens සහ Team Blues අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී ද Team Greys සහ Team Red අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<