අම්ෂිගේ පන්දුකරණයට කොදෙව්වන් අවනත නොවෙයි

127

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සමඟ කූලීජ්හීදී පැවති තරගයෙන් ලකුණු 7ක ඉතා තියුණු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (17) සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට ශ්‍රී ලංකාව තීරණය කළේය. මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු පමණි.

කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක ආරම්භයක් ලබා ගත් අතර කණ්ඩායමේ මුල් කඩුලු දෙකම ලකුණු 20කට බිඳ වැටුණේ ලකුණු 11ක් ලබා සිටි කිමානි මේලියස් හා ලකුණු 7ක් ලබා සිටි ම්බෙකි ජෝසප් ආ විගසින් දැවී යාම හේතුවෙනි.

ඉන්පසුව පිටියට එක් වූ කර්ක් මැකෙන්සිට ද වැඩි වේලාවක් පිටියේ රැඳීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසර ලබා නොදුන් අතර ඔහු ලකුණු 8කට දැවී ගියේ කොදෙව් ලකුණු පුවරුව 41/3ක් බවට පත්කරමිනි.

කොදෙව් පළමු කඩුලු 3ම දවාලමින් ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ කළේ ආරම්භක පන්දු යවන්නා වූ අම්ෂි ද සිල්වා යි.

කොදෙව් පිතිකරණ බලඇණියේ මුල් පිතිකරුවන් පස්දෙනාගෙන් කිසිම අයෙකුට දිගු ඉනිමක් කරා යාමේ අවකාශ නොලැබුණු අතර ලියනෝඩෝ ජුලියන් හා කෙව්ලෝන් ඇන්ඩර්සන් දෙදෙනාත් පිළිවෙළින් ලබා ගත්තේ ලකුණු 19ක් හා 17ක් පමණි.

එහෙත් ඉන් අනතුරුව පිටියේ එක්වූ මැතිව් පැට්‍රික් හා නයීම් යංග් දෙදෙනා අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සබඳතාවයක් ගොඩනගනු ලැබුවේ වැටී තිබූ කොදෙව් පිතිකරණයට නව ජීවයක් ලබා දෙමිනි. එහි දී ඉතා තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ පැට්‍රික් පන්දු 101ක දී ලකුණු 57ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් පමණක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

ඔහුට අනගි සහයක් ලබා දුන් නයීම් යංග් පන්දු 74කින් ලකුණු 55ක් ලබා ගත්තේ හතරේ පහර හා හයේ පහර දෙක බැගින් තම ඉනිමට අන්තර්ගත කරමිනි. 

ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් ලකුණු පුවරුව 169ක් දක්වා රැගෙන ගිය අතර අනතුරුව ක්‍රියාත්මක වූ කවිඳු නදීෂාන්ගේ පන්දුවක් හමුවේ පැට්‍රික් දැවී ගියේය.  ඊට වැඩි වේලාවක් යාමට මත්තෙන් අනෙක් අන්තයෙක් ක්‍රියාත්මක වූ ලක්ෂාන් ගමගේ, අංක 8 පිතිකරු ෆෝර්ඩිගේ කඩුල්ල දවාලනු ලැබීය.

කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාව 192 බවට පත්වන විට ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව බවට පත් වූ යංග් ද දැවී ගියේ යළිත් වරක් ක්‍රියාත්මක වූ අම්ෂිට තම සිව්වැනි කඩුල්ල හිමිකර දෙමිනි. වැඩි වේලාවක් යාමට මත්තෙන් ජේඩ්න් සීල්ස්ගේ කඩුල්ල ද දවාලමින් තරගයේ 44/5ක් වශයෙන් තම පන්දු යැවීම සටහන් කිරීමට අම්ෂි ද සිල්වා සමත් වූයේ කොදෙව් ලකුණු පුවරුව 207/9කට සීමා කරමිනි.

අනතුරුව ලකුණු 208ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නවෝද් පරණවිතාන හා කමිල් මිෂාර ය.

එහෙත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා මුල් කඩුලු 3ම ලකුණු 8ක් තුළ දැවී ගියේ කොදෙව්වන්ට අති සාර්ථක ආරම්භයක් හිමිකර දෙමිනි.

ඉන් අනතුරුව පිටියට එක් වූ නිපුන් ධනංජය නායකත්වයේ බර තම කරට ගනිමින් දිගු ඉනිමකට මුලපුරනු ලැබුවේ පන්දු තෝරා බේරා ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඔහු පන්දු 128කින් ලකුණු 74ක් ලබාගත්තේ හතරේ පහර දෙකක් හා දැවැන්ත හයේ පහර හයක් තම ඉනිමට අන්තර්ගත කරමිනි. 

ඔහුට නොමද සහයක් ලබා දුන් කමිල් මිෂාර තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 98කින් ලකුණු 50ක් ලබා ගත්තේ හතරේ පහර හතරක් හා හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කරමිනි. 

වැටී තිබූ ඉනිම ගොඩනගමින් ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවයක් පැවැත්වීය.

එහෙත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අශ්මීඩ් නෙඩ්ගේ පන්දුවක් හමුවේ කමිල් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 107/4ක් බවට පත්කරමිනි.

ඊට වැඩි වේලාවක් යාමට මත්තෙන් ලක්ෂාන් ගමගේ ද ලකුණු 8කට දැවී ගියේ නායක නිපුන්ව පිටියේ හුදකලා කරමිනි. 

එහෙත් ඉන් අනතුරුව පිටියට පිවිසි සොනාල් දිනූෂ පන්දු 40ක දී ප්‍රවේගකාරී ලකුණු 45ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබා දෙමිනි. සොනාල් හා නිපුන් අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් සබඳතාවයක් පැවැත්විය. 

නමුත් මුළු ලකුණු සංඛ්‍යාව 188ක් වන විට නායක නිපුන් ධනංජය තම නායකත්වයේ දිගු ඉනිම කෙළවර කළේ තරගයේ සියලු වගකීම් සොනාල් වෙත පවරමිනි.

ඒ සමඟින් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක දී කඩුලු 7ක් දැවී ලකුණු 193ක් පමණක් ලබාගත්තේ අවසන් පන්දු වාරය සඳහා තවත් ලකුණු 15ක් ඉතිරි කරමිනි.

එහෙත් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්කර දමමින් සොනාල් අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දුවෙන්ම දැවී ගියේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 5කින් ලකුණු 15ක් බවට පත්කරමිනි.  නයීම් යංග් ක්‍රියාත්මක කළ එම පන්දු වාරය තුළ ශ්‍රී ලංකා අග පෙළ පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 7ක් පමණි.  

ඒ අනුව තරගයෙන් ලකුණු 7ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූයේ තරගාවලියේ පිට පිටම දෙවන පරාජයත් ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ මැතිව් ෆෝර්ඩ් ලකුණු 29කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

තරගාවලියේ මීලඟ තරගය ශ්‍රී ලංකාව එංගලන්තය අතර හෙට (19) කූලීජ්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – 207 (50): මැතිව් පැට්‍රික් 57 (101), නයීම් යංග් 55 (74), ලියනෝඩෝ ජුලියන් 19 (21), අම්ෂි ද සිල්වා 5/44

ශ්‍රී ලංකාව – 200/8 (50): නිපුන් ධනංජය 74 (128), කමිල් මිෂාර 50 (98), සොනාල් දිනූෂ 45 (40), මැතිව් ෆෝඩ් 3/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<