පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව දෙවන තරගයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

3894

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය හෙට (29) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි. සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගාවලියක් ද වෙනවා.

මාස 7ක විරාමයකට පසුව නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගයේ දී දැක්වූ දස්කම් පිළිබඳව සැබැවින්ම සතුටු විය යුතු වෙනවා.

කොදෙව් පිතිකරුවන් දඟපන්දු යවන්නන්ට එරෙහිව පළමු තරගයට වඩා ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත නොවුවහොත් මේ තරගයේ දීද ඔවුන්ට ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට කිසිඳු අවස්ථාවක් නොලැබෙනු ඇත.

වැඩි අවධානයට,

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී අගනා ලකුණු 147ක් රැස් කරගත් අතර ඉන් නොනැවතුනු ඔහු, දෙවන ඉනිමේ දීද ලකුණු 83ක් වාර්තා කරගත්තා. ඔහු මේ වර්ෂය තුළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තුන්වැනි ස්ථානයේ සිටින්නේ තරග 6ක් පමණක් ක්‍රීඩා කරමින් වන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 70කට වඩා වැඩි අගයක පවතිනවා.

ඔහු දැනට නොකඩවා ටෙස්ට් අර්ධ ශතක 6ක් වාර්තා කරගෙන තිබෙන අතර ඔහු මීළඟ තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් රැස් කරගතහොත් දැනට තිබෙන ලෝක වාර්තාව සම කිරීම සඳහා ඔහුට හැකියාව ලැබෙනවා.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන ඕෂද ප්‍රනාන්දු සහ කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් හැරෙන්නට අනෙක් සියලුම දෙනා පාහේ පිතිකරුවන් ලෙස යම් සාර්ථකත්වයක් ලබාගැනීමට සමත් වුනා.

කොදෙව් මුල්පෙළ පිතිකරුවන්ගෙන් Nkrumah Bonner හැරෙන්නට අනෙක් කිසිඳු පිතිකරුවෙකුට අර්ධ ශතකයකට එහා ගිය ඉනිමක් දියත් කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ. කඩුලු රකින දකුණත් පිතිකරු Da Silva පසුපෙළ පිතිකරුවෙකු ලෙස යම් සාර්ථකත්වයක් ලබාගත්තා. ඒ නිසාවෙන් දෙවන ටෙස්ට් තරගයේ දී නායක Kraigg Brathwaite, Shai Hope, Roston Chase සහ Jermaine Blackwood හට පිතිකරණයේ දී වැඩි වගකීමක් සහිතව ක්‍රීඩා කළ යුතු වෙනවා.

කණ්ඩායම් සංයුතිය,

දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමත් සමඟම දෙවන ටෙස්ට් තරගයේ දී නිසැක වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවෙනවා. එම ස්ථානය බොහෝ දුරට චරිත් අසලංක වෙත ලැබෙනු ඇති අතර එසේ වුවහොත් ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇත. එසේම ඔහු තවමත් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන ද නැත. එසේ නොමැති වුවහොත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවීමට ද යම් ඉඩක් තිබේ.

කොදෙව් කණ්ඩායම ද නිසැක වශයෙන් වෙනස්කම් කිහිපයක්ම සිදු කරනු ඇති අතර පළමු තරගයේ දී ආබාධයකට ලක්වුනු Jeremy Solozano හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසුනොවන්නේ නම්, Shai Hope හෙට තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

කොදෙව් කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ දී ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ ක්‍රීඩා කළ නමුත් Shannon Gabriel වෙනුවට තවත් අතිරේක දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන Veerasammy Permaul හෙට තරගය සඳහා කැඳවීමට වැඩි ඉඩක් තිබෙනවා.

දෙවන තරගය සඳහා අපේක්ෂිත කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.
  • බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano/Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul.

වැදගත් ක්‍රීඩකයින්,

ශ්‍රී ලංකා පිතිකරණය තනිකරම රඳා පවතින්නේ දිමුත් කරුණාරත්නගේ ඉනිම මත වන අතර ඔහු මෑත කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසියා. ඔහුගේ ඉනිම වටා අනෙක් පිතිකරුවන් සිය ඉනිම් ගොඩනංවාගන්නා නිසා දිමුත් කරුණාරත්නගේ ඉනිම ශ්‍රී ලංකාවට වැදගත්ම ඉනිමක් වෙනවා.

ලසිත් ඇඹුල්දෙණිය පළමු ටෙස්ට් තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 50 සීමාව අභිබවා ගිය අතර ඔහු වටා ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා යන දඟපන්දු යවන්නන් සිය දස්කම් දක්වනු ඇත.

කොදෙව් පිතිකරණයේ වගකීම ද බොහෝ දුරට රඳා පවතින්නේ නායක Brathwaiteගේ ඉනිම මත වන අතර ඔවුන්ගේ පිතිකරුවන් ස්වීප් සහ රිවර්ස් ස්වීප් පහරවල් එල්ල කිරීම සඳහා යම් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. එසේ නොමැති නම් දඟපන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා යම් අකාරයකින් පාද චලනය හෝ හොඳ මට්ටමක තිබිය යුතු අතර Da Silva හැරෙන්නට අනෙක් පිතිකරුවන්ගේ පාද චලනය ද පැවතියේ ඉතාමත් අවම මට්ටමකයි.

තණතීරුවේ ස්වභාවය සහ කාලගුණය,

පළමු ටෙස්ට් තරගයේ දී මෙන් මේ තරගයට ද විටින් විට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වීමට වැඩි ඉඩක් තිබෙනවා. එසේම කාසියේ වාසිය ජය ගන්නා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා වැඩි ඉඩක් තිබෙනවා. පළමු තරගයේ තණතීරුවට වඩා තරමක වියළි ස්වභාවයකින් යුත් මේ තණතීරුව පළමු තරගයේ දී දඟපන්දු යවන්නන් වෙත ලබා දුන් සහයට වඩා වැඩි සහයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි නමුත්, එය කාලගුණික

තත්වය මත ද තරමක් වෙනස් වීමට හැකියාවක් පවතිනවා.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<