Deccan Gladiators වනිඳු ගැන තීරණයක් ගනී

අබුඩාබි T10 තරගාවලිය 2021

8932

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2021 අබුඩාබි T10 තරගාවලියේ දී ද සිය කණ්ඩායමේ රඳවා ගැනීමට Deccan Gladiators කටයුතු කර තිබෙනවා.

2021 අබුඩාබි T10 තරගාවලියේ ක්‍රීඩකයන් බෙදා වෙන්කිරීම අනිද්දා (07) පැවැත්වීමට නියමිතයි. බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක Andre Russell සන්නාම ක්‍රීඩකයා වන Deccan Gladiators කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩක Tymal Mills සහ එක්සත් අරාබි එමීර් ක්‍රීඩක Zahoor Khan ද ඇතුළත් වෙනවා.

මෙවර තරගාවලියේ දී Deccan Gladiators නියෝජනය කිරීමට ලැබීම පිළිබඳව අදහස් දක්වමින්  වනිඳු හසරංග ප්‍රකාශ කර සිටියේ,

මගේ පිතිකරණය සහ පන්දු යැවීම අනෙකුත් තරග ආකෘතීන්ට වඩා මේ ආකෘතියට වඩාත් ගැළපෙනවා කියලා මම හිතනවා. ඒ නිසා මම බලාගෙන ඉන්නේ එහෙට ගිහිල්ලා මගේ උපරිමය කරලා කුසලානය කණ්ඩායමට ගෙනල්ලා දෙන්න.

Andre Russell, Tymal Mills සහ Zahoor Khan වැනි මෙම තරග රටාවේ ප්‍රබලයන් සමඟ එක්ව තරග වදිනකම් මම නොඉවසිල්ලෙන් පසුවෙනවා. ඒ වගේම පා දඟපන්දු යවන්නෙක් විදියට මගේ කුඩා කල වීරයා වුන කණ්ඩායමේ පුහුණුකරු Mushtaq Ahmed හමුවෙන්නත් මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ. මට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා”.

එමෙන්ම වනිඳු හසරංග සිය කණ්ඩායමේ රඳවා තබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ හිමිකරු වන Gaurav Grover ප්‍රකාශ කර සිටියේ,

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු, ඔහුගේ වයසේ දී ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු මෙන් ඉතා අසීරු අවස්ථාවන්ට හොඳින් මුහුණ දෙනවා. ඔහු වගේ තරග දිනවන්නෙක් අපේ කණ්ඩායමේ සිටීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා”.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සියලූම ආකෘතීන් හී වරම් දිනාගෙන ඇති වනිඳු සිය පළමු එක්දින තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් පළමු තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු පා දඟපන්දු යවන්නා වීමට ද සමත් වූ ක්‍රීඩකයෙක්.

ළාබාල වියේ සිටම දස්කම් පෑ වනිඳු විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ප්‍රබල ක්‍රීඩකයන්ට එරෙහිව කැපී පෙනෙන දස්කම් දක්වමින් එම ආකෘතියේ ලෝක මට්ටමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.

එමෙන්ම වනිඳු මේ දිනවල දී පැවැත්වෙන ලොව ප්‍රකට ලීග් ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් සිටිනවා.

මෙම වසරේ අබුඩාබි T10 තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

cricwire.lk ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<