නිමා වූ 33 වැනි සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී මෙවරත් සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

එහි දී ඔවුන් ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව, වයස අවුරුදු 18න් පහළ බාලිකා ශූරතාව, 20න් පහළ බාලිකා ශූරතාව, සහාය දිවීමේ බාලිකා ශූරතාව දිනා ගනිද්දී, වයස අවුරුදු 16න් පහළ බාලිකා අනුශූරතාව සහ ජ්‍යෙෂ්ඨ බාලක තෙවැනි ස්ථානයත් දිනා ගත්හ. ඊට අමතරව මෙම වසරේ දී හඳුන්වා දුන් මිශ්‍ර පාසල් සමස්ත ශූරතාව ද ලකුණු 269ක් ලබමින්, ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූහ.

සමස්ත ශූරතාවය බස්නාහිරට; අනුශූරතාවය මධ්‍යම පළාතට

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය දින 5ක උණුසුම් තරග ඉසව් රැසකින් අනතුරුව…

ශ්‍රී ලංකා පාසල් ඉතිහාසයේ දුම්බර සරසවිය ලෙස නම් ලද වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භය සටහන් ව ඇත්තේ 1926 වසරයි. කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ මැණික්හින්න ග්‍රාමය මෙහි පිහිටිමයි. බොහෝ පාසල් සේ ම ඉතා දුෂ්කරව ඇරඹි මේ පාසලේ යම් යම් ඉතිහාසගත තොරතුරු අසංක්ෂිප්ත ය. කෙසේ වෙතත් 1931 ඇරඹි ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ මෙය රජයේ පාසලක් ලෙසින් ස්ථාපිත වී ඇත. එහි වැඩි වැඩ කොටසක් කර ඇත්තේ අභයරත්න රත්නායක හෙවත් ඒ. රත්නායක මහතා ය. එවකට ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දුම්බර නියෝජනය කළ මන්ත්‍රීවරයා ය.

අනතුරුව 1940 වසරේ දී එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මැදිහත් වීමෙන් වලල ශාස්ත්‍රාලය නමින් මේ පාසල නම් කෙරෙන්නේ ය. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ වලල ශාස්ත්‍රාලය 1944 ජනවාරි මස 24 වැනි දින වලල මධ්‍ය මහා විද්‍යාලය බවට ස්ථාපිත වන්නේ ය.

රූපය 1 විද්‍යාලයේ නිල වෙබ් අඩවියෙනි

විද්‍යාලය බිහි කිරීමේ පුරෝගාමීයෙකු වූ දුම්බර මිටියාවතෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, දාර්ශනිකයෙක්, අධ්‍යාපනඥයෙක් මෙන්ම ශ්‍රී ලංකා සෙනෙට් සභාවේ අවසාන සභාපති වූ ද ආචාර්ය ඒ. රත්නායකයන් නමින් මේ විද්‍යාලය නම් වෙන්නේ 1979 පෙබරවාරි මස 19 වැනි දින ය. අනතුරුව රජය මගින් ක්‍රියාත්මක කළ ක්‍රීඩා පාසල් ව්‍යාපෘතිය යටතේ 1995 අගෝස්තු 03 වැනි දින මධ්‍යම පළාත් සභාව මගින් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩා පාසලක් ලෙසින් ස්ථාපිත කරන ලදි. ඒ, ඒ වන විට ද මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අතුරින් ක්‍රීඩා දක්ෂතාවලින් ඉදිරියෙන්ම සිටි පාසල වීම ද හේතුවක් කර ගනිමිනි.

මහ වැසි මැද මාරිස් ස්ටෙල්ලා විදුහල සමස්ත බාලක අංශයෙන් පෙරමුණට

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ සිව්වන දිනය සඳහා වන තරග…

එකී ගෞරවය එදා සේ ම අද ද රැක ගැනීමට වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබීම මේ සටහනට ද හේතු වන්නේ ය. එදා මෙදා තුර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මලල කෙළිබිමට බිහි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන අති විශාලය. දිනා ඇති ශූරතා සහ අනු ශූරතා ප්‍රමාණය ද ඒ තරමට ම ය.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් පළමු වරට ක්‍රීඩකයෙක් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගයකට සහභාගී වන්නේ 1990 වසරේ දී ය. ඒ එම වසරේ පැවති මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු 19න් ඉහළ වයස් කාණ්ඩයේ මීටර් 400 ඉසව්වෙන් තෙවැනි ස්ථානය ලබා ගත් පී. රඹුක්වැල්ල ය. පාසල් මලල ඉතිහාසය අලුත් කළ රඹුක්වැල්ල වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් ද පවත්වන පාසල් ප්‍රජාව එම ජයග්‍රහණය ඉහළින්ම සමරන්නේ ය. සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා තරග වැදුණ ද එහි දී ඔහුට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වන්නේ නැත.

Walala A Rathnayake college 1එම වසරේ දී ම මේ වන විට එතෙක් මධ්‍යම පළාත් මාර්ග ධාවන තරගවල දී ආධිපත්‍ය දිනා සිටි අම්පිටිය බෙවරඩ්ස් විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට වලල ඒ. රත්නායක ක්‍රීඩකයෝ සමත් වෙති. පළමු ස්ථාන පහේම ඔවුන් නොමැති වූව ද අනෙකුත් ස්ථානයන් ගණනය කිරීමේ දී ඔවුන්ට එම ස්ථානය හිමි වුණි. වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයීය තරග ඉතිහාසයේ කණ්ඩායම් ශූරතාවක් දිනූ පළමු අවස්ථාවයි ඒ.

අනතුරුව 1991 වසරේ දී සමස්ත ලංකා තරගාවලියේ දී එක් ඉසව්වක ජයග්‍රහණයක් ද, 1992 වසරේ දී සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ 5ක් දක්වා ද ක්‍රීඩා කෞෂල්‍යයන් වර්ධනය කර ගැනීමට දුම්බර සරසවි ක්‍රීඩකයෝ සමත් වෙති. 1993 වසර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී වර්ෂයක් වන්නේ ය. එම වසරේ දී පැවති මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔවුන් එම පළාතේ සමස්ත බාලිකා ශූරතාව හිමි කර ගන්නේ ය. එය ඔවුන් දිනූ පළමු පළාත් සමස්ත ශූරතාව විය.

මේ ජයග්‍රහණය විද්‍යාලයේ ක්‍රීඩාව පැත්තෙන් විශාල පිඹිදීමක් ඇති කළා. මහනුවර උසස් සහ පහසුකම් සහිත පාසල් වෙත එතෙක් හිමිව තිබූ මේ ශූරතාව අපිට ලැබීම අපේ ක්‍රීඩකයන්ට සුවිශේෂී වුනා. මොකද අපේ ළමුන්ට එතරම් පහසුකම් තිබුණේ නැහැ. අපි ඉතා අවම පහසුකම් යටතේ තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඒකම ඇති අපේ ක්‍රීඩකයන්ට මේ ජයග්‍රහණය සමරන්න හේතුවක් කර ගන්න. “ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සුසන්ත ප්‍රනාන්දු මහතා 1990 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වාම වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු සේ කටයුතු කරයි. ඒ මධ්‍යම පළාතේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා විෂය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ තනතුරේ ද කටයුතු කරමිනි.

1993 වසරේ සිට පිට පිට වසර ත්‍රිත්වයක් එකී බාලිකා ශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් වූහ. එකී දක්ෂතාවන් සමඟ සමස්ත ලංකා තරගවලට ද සහභාගී වන ඔවුන්, එහි දී ද පදක්කම් කිහිපයක්ම දිනා ගනිමින් තමන්ගේ තරම රටට පෙන්වීමට ද සමත් වෙති. 1995 වසරේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලීන් නියෝජනය කිරීමට ඔවුන් සුදුසුකම් ලබා ගනිති.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් පළමු වරට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීමට වරම් ලබා ගන්නේ සමන්ත පෙරේරා ය. ඒ චීනයේ පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට ය. අනතුරුව එම වසරේ දී ම ඩී. ඒ. ඉනෝකා ඉන්දියාවේ පැවති 7 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නීය. ඇය එම ඉසව්වේ දී රිදි පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර තරගයක දී පදක්කමක් දිනා ගත් පළමු දුම්බර සරසවි දියණිය වන්නී ය.

ඔවුන් විසින් සමස්ත ලංකා ශූරතාවක් පළමු වරට දිනා ගන්නේ 1998 වසරේ දී ය. ඒ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව දිනා ගනිමිනි. එම තරගාවලියේ බාලක ශූරතාව තියුණු අවසානයක් නිර්මාණය වීම නිසා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ සම සේ බෙදා ගැනීමට ඔවුන්ට සිදු වුණි.

අනතුරුව 2001 වසරේ දී සමස්ත ලංකා ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී දිවයිනේ සියලුම පාසල් අභිබවා යමින් බාලක සහ බාලිකා සමස්ත ශූරතා දිනා ගැනීමට ඔවුන් පළමු වරට සමත් වන්නේ ය. එපමණකින් නතර නොවූ ඔවුන්, ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී ද, ජාතික සහාය දිවීමේ තරගාවලියේ ද බාලක සහ බාලිකා ශූරතා දිනා ගැනීමට සමත් වන්නේ ය. එම ශූරතාවන් ඒ ආකාරයෙන්ම පිට පිටම වසර ත්‍රිත්වයක් දිනා ගැනීමට ඔවුන් සමත් වීම, වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබේ.

එතැන් සිට මෙරට පැවතෙන සමස්ත ලංකා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා, ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා සහ සහාය දිවීමේ ක්‍රීඩා සැණකෙළියේ සෑම වසරක දී ම සුවිශේෂී ජයග්‍රහණයන් වාර්තා කිරීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩකයෝ සමත් වෙති. ඒ අනුව ඔවුන් මේ දක්වා දිනූ ශූරතා ප්‍රමාණය 66කි. බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා ප්‍රමාණය 19කි.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් සුවිශේෂයෙන්ම ලියැවෙන නමක් වන්නේ ඩී. ඒ. ඉනෝකා ය. ඇය ඉතිහාස ගත වන්නේ ජාත්‍යන්තර කාන්තා මැරතන් තරගයක දී පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව ලෙසිනි. 1995 වසරේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී පැවති 7 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරග ඉසව්වෙන් ඇය පැය 2.56.57කින් තරගය නිමා කරමින් රිදී පදක්කමක් දිනා ගත්තා ය.

ඉනෝකා ඊට අමතරව 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 5000 විනාඩි. 16.34කින් නිමා කරමින් ජාත්‍යන්තර තරගයක දී එම ඉසව්වේ ඉහළම දක්ෂතාව ද වාර්තා කරන්නීය.

එමෙන් ම වලල ඒ. රත්නායක මධ්‍ය මහා බිහි කළ තවත් දක්ෂයෙක් වන්නේ මනෝජ් පුෂ්පකුමාර ය. ඔහු 2002 වසරේ දී තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මී. 400 තත්පර 47.56කින් නිමා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගන්නේය. එම තරගාවලියේ ශ්‍රී ලාංකිකයෙක් වාර්තා කළ පළමු පදක්කම එයයි. එමෙන්ම එම තරගාවලියේම 2004 වසරේ දී ද ඔහු එම ඉසව්වෙන් නැවත රිදී පදක්කම දිනා ගන්නේ ය. එකී දක්ෂතාව කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද මනෝජ් ය.

තවද වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය නම තබමින් ආසියානු පදක්කම් දිනූ මලල ක්‍රීඩක ගොන්නට ඇතුළත් විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩකයෝ ද රාශියකි. ඒ අතුරින් මනෝජ් පුෂ්පකුමාර, ජානක වීරසිංහ, ගීතානි රාජසේකර, ඉඳුනිල් දිනේෂ් හේරත්, රංජිත් සුභසිංහ, ජේ. එම්. එච්. සිෆ්රාත් යන අය කැපී පෙණෙති.

මොවුන් සමඟින් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 40ක් පමණ වෙතැයි පැවසේ. ඔවුන් විසින් දිනා ඇති ජාත්‍යන්තර පදක්කම් ප්‍රමාණය 54කි.

පාසලේ විදුහල්පති තුමන්

අපි මේ ජයග්‍රහණ ලබා ගත්තේ විශාල වෙහෙස මහන්සියක් කරමින්. අපි තවමත් පුහුණුවීම් කරන්නේ මීටර් 200ක ධාවන පථයකින් යුත් ක්‍රීඩාංගණයක. පහසුකම් තිබෙන්නේ ඉතාම අවම මට්ටමේ. මේ තරමින් අපිට පුහුණුවීම් කටයුතු කරගෙන යෑමට ශක්තිය දෙන්නේ විද්‍යාලයීය විදුහල්පති ධම්මික හේරත් මහතා. ඒ වගේම ක්‍රීඩා පාසලක් ලෙස මෙය ස්ථාපිත වෙද්දී විදුහල්පති ධූරයේ කටයුතු කළ එච්. යූ. ප්‍රේමතිලක මහතා ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. “

වලල ඒ. රත්නායක විද්‍යාලයේ මලල ක්‍රීඩාවේ දක්ෂතා දිනෙන් දින දියුණුවට පත්වීමේ කොටස්කරුවන් කිහිප දෙනෙක්ම වෙති. ඒ අතුරින් ප්‍රදේශයේ මහ ඇමති සරත් ඒකනායක මහතා ද වේ. ඔහුගේ මැදිහත් වීම මැද පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ දීමනාවත්, පුහුණුකරුවන්ගේ දීමනා ද වැඩි කර දීමට කටයුතු කිරීම ඉතා වැදගත් සේ සලකති. එමෙන්ම ක්‍රීඩා පරිපාලන නිලධාරීනී යමුනා රත්නායක මහත්මිය ද ලබා දෙන සහයෝගය ඉතා වැදගත් ව තිබේ.

සුසන්ත ප්‍රනාන්දු මහතා

මේ සෑම කෙනෙක්ගේම සහයෝගය නැත්නම් අපිට මේ ගමන එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මාව කලාපයේ වැඩවලින් නිදහස් කරල මේ දේවල් කිසිදු අඩුපාඩුවකින් තොරව කරගෙන යෑමට උපරිම සහයෝගයක් ලබා දෙන කලාප අධ්‍යක්ෂ හේමා කුමාරි විජේරත්න මහත්මියට ද මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි. ඒ වගේම මගේ සහාය පුහුණුකරුවන් සේ කටයුතු කරන ඒ. එච්. එස්. පාලිත, ඒ. ඩී. අමරකෝන්, ඉවොන් අබේවික්‍රම සහ මිහිරානි සීලරත්න යන අයට ද මේ ජයග්‍රහණවල ගෞරවය බෙදී යා යුතුයි.” සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.

වලල ඒ. රත්නායක විද්‍යාලය යනු හුදෙක්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම පමණක් බිහි කරනු ලබන ක්‍රීඩා පාසලක් පමණක් නොවන්නේ ය. 1995 ඇරඹෙන ක්‍රීඩා පාසල් සංකල්පයෙන් පසු ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විෂය සඳහා දිවයිනේ විද්‍යාපීඨවලට ඇතුලත් කෙරුණු වලල ඒ. රත්නායක සිසු පිරිස අති මහත් ය. ඔවුන් විසින් මේ කාලය තුළ දේශීය තරග බිමේ රෝපණය කරමින් පෝෂණය කරනු ලබන දරු දැරියන් ප්‍රමාණය ද අති මහත් බවට සැකයක් නැත. හෙට දිනයේ ඔවුන් ද මේ රට සේ ම ලෝකය ද ජයගනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<