WWE ශූරයාගෙන් ඩේවිඩ් වෝනර්ට සටනකට ආරාධනාවක්

99
©Getty Images
  • වාර්තා පිට වාර්තා පිහිට වූ අරවින්ද සහ සනත්

1997 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු වාර්තාගත අයුරින් කැලැන්ඩර් මාසයක් තුළ ජාත්‍යන්තර ලකුණු 750 ඉක්මවා රැස් කරන්නට සමත් විය.

©The Golden era of Sri Lankan Cricket / Dr. Ajith C. S. Perera.

අරවින්ද ද සිල්වා 1997 වසරේ අප්‍රේල් මාසයේ ලකුණු 750 සීමාව පසු කරමින් ලකුණු රැස් කළ අතර සනත් ජයසූරිය 1997 අගෝස්තු මාසයේ ලකුණු 750 සීමාව පසුකර ලකුණු ලබා ගත්තේය.

  • අබ්බාස්ට එරෙහිව ගවස්කාර්

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු සුනිල් ගවස්කාර් ක්‍රිකට් ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම ආරම්භක පිතිකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි. ගවස්කාර් පිතිහරඹයෙන් කෙතරම් ඉහල තලයක සිටියත් ඔහු ටෙස්ට් තරගවල සහ එක්දින ජාත්‍යන්තර තරගවල දවාගෙන ඇත්තේ එක් කඩුල්ල බැගිනි. ටෙස්ට් තරග රටාවේ ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය ලකුණු දෙසීයකට මදක් වැඩිය. 

©Getty Images

ගවස්කාර් ටෙස්ට් තරග 125කටත් එක්දින ජාත්‍යන්තර තරග 108කටත් ඉන්දියාව නියෝජනය කළ අතර තරග රටා දෙකේ දී ම ඔහුගේ ගොදුර වූයේ එකම පිතිකරුවෙකු වීම පුදුමයට කරුණකි. ගවස්කාර් එසේ දවා ගත්තේ කාලයක් ඉන්දියානුවන්ට දැඩි හිසරදයක් වූ පාකිස්තානු සුපිරි පිතිකරු සහීර් අබ්බාස්ගේ කඩුල්ලය.

  • අමුතුම තාලයේ හැට්ට්‍රික් එකක්.

ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ 2013 තරග වාරයේ අපූරු ආකාරයක හැට්ට්‍රික් එකක් දැකගන්නට ලැබුණා. 

©sports.ndtv.com

මෙම සිදුවීම වුණේ මුම්බායි’හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මිචෙල් ජොන්සන් විසින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මයිකල් හසීට පන්දු යවමින් සිටියේ. ඔහු පිට පිටම යවන ලද පන්දු තුනක්  පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි කිරන් පොලාර්ඩ් අතට උඩපන්දු ලෙස ඇදී ආවා. නමුත් ඒ උඩපන්දු ත්‍රිත්වයම රැක ගැනීමට පොලාර්ඩ් සමත් වූයේ නැහැ. මෙම සිදුවීමේ අනෙක් විශේෂත්වය මයිකල් හසී සහ මිචෙල් ජොන්සන් දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ දී නියෝජනය කරන්නේ එකම ප්‍රාන්තයක් වීම.

  • වෝනර් එනු සටනට

2013 වසරේ අළුබඳුන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් රාත්‍රි සමාජශාලාවක දී ගැටුමකට මැදිවුණේය. ජෝ රූට්ට දරුණු ලෙසින් පහර දුන් ඩේවිඩ් වෝනර්ට එක්තරා ඇමෙරිකානුවෙකුගෙන් වීඩියෝවක ස්වරූපයෙන් පණිවුඩයක් ලැබුණේය. එය පණිවුඩයකටත් වඩා අභියෝගයකි.

” ඩේවිඩ් වෝනර් සහෝදරයා, උඹ මෙය නරඹනවා කියල මම දන්නවා. ඊළඟ වතාවේ උඹට කාට හෝ අනින්න ඕන වුණාම උඹේ ප්‍රමාණයට ගැළපෙන, අඩුම ගාණේ බාහුවක් අඟල් 24ක් වත් තියෙන එකෙක් තෝරගනින්.”

මෙම අභියෝගය වෝනර්ට ලබා දෙන්නේ WWE’ හි පුරාවෘත්තයක් බඳු හ(ල්)ක් හෝගන් (Hulk Hogan) ය. එමෙන්ම හෝගන් 2013 අළුබඳුන තරගාවලිය 5-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගන්නා බවටත් අනාවැකියක් ද පළ කළේය.

  • බිනීගේ පන්දු යැවීමෙන් මතු වූ අපූරු වාර්තාව.

2014 වසරේ බංග්ලාදේශයේ ඩකා නුවර පැවති එක්දින තරගයක දී ප්‍රබල ඉන්දියානු කණ්ඩායම ලකුණු 105කට දවා ගන්නට බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. බැලූ බැල්මට සත්කාරක කණ්ඩායමට එය ඉතාම පහසු ඉලක්කයක් විය.

©Indianexpress.com

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 58කට දවා ගන්නට ස්ටුවර්ට් බිනී ප්‍රමුඛ ඉන්දියානු පන්දු යවන්නන් සමත් විය. වරෙක බංග්ලාදේශ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 44කට කඩුලු දෙකක් ලෙසින් වුවත් මොහිත් ෂර්මා සහ රොජර් බිනී ක්‍රියාත්මක විය. මෙම තරඟයේ බිනීගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 4කට කඩුලු 6ක් ලෙසිනි. මෝහිත් ෂර්මා ලකුණු 22කට කඩුළු 4ක් දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 47ක ඓතිහාසික ජයක් ඉන්දියානුවන්ට අත්විය.

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායම් දෙකේම කඩුලු සියල්ල ලකුණු 200කට අඩුවෙන් දැවී ගිය ප්‍රථම අවස්ථාව ලෙස මෙම තරඟය ඉතිහාසයට එක්විය

  • සුද්දට වැරදුන මයින්ඩ් ගේම්ස්

2003 වසරේ එංගලන්තයේ සංචාරය කරපු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය දැරුවේ අවුරුදු 22ක් වයසැති ග්‍රැහැම් ස්මිත්. ඒ වන විට නායකත්වය වගේම ක්‍රීඩා කෞෂල්‍යය ජාත්‍යන්තර මට්ටමේ දී විශාල වශයෙන් පරීක්ෂාවට ලක්වී තිබුණේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසි ජාතිකයින් ස්මිත් අපහසුතාවට පත් කරන්නට උත්සහ කළේ පළමු ටෙස්ට් තරගයේ ආරම්භයටත් පෙර සිටමයි.

©Getty Images

එජ්බැස්ටන්හි පැවැත්වුණ පළමු ටෙස්ට් තරඟය ආරම්භයේ එංගලන්ත නායක නසාර් හුසේන් තරග තීරකවරයාට ග්‍රැහැම් ස්මිත්ව හඳුන්වා දුන්නේ ‘ග්‍රේග්’ නමින්. තමාගේ මෙම ක්‍රියාවෙන් ස්මිත් අපහසුතාවයකට පත් වේ යැයි හුසේන් කල්පනා කළා. ඒ වන විට හුසේන්ගේ නායකත්වයත් එංගලන්තයේ දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් තිබූ කාලයක්.

නමුත් මෙම තරඟයේ ප්‍රථම ඉනිමේ ලකුණු 277ක් මෙන්ම දෙවැනි ඉනිමේ ලකුණු 85ක් ලබා ගත් ස්මිත් තමා මනසින් ඉතාම ශක්තිමත් ක්‍රීඩකයෙකු බවට එදා ලෝකය හමුවේ ඔප්පු කලා. මෙම තරඟයෙන් පසු නසාර් හුසේන් නායකත්වයෙන් ඉවත්කොට මයිකල් වෝන් නායකත්වයට පත් කරන්නට එංගලන්ත බලධාරීන්ට සිදු වුනා.

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක් තරබාරුය. ඔහුගේ…

ලෝඩ්ස්’හි පැවති ඊළඟ තරගයේදීත් ලකුණු 259 ක් රැස්කළ ස්මිත් තරගාවලියේ පළමු දින දහය ඇතුළත රැස්කළ ලකුණු සංඛ්‍යාව 621ක්. කෝඩුකාර නායක ස්මිත්ගේ පිතිහරඹයට පිං සිදුවන්නට තරග 2-2 ලෙස නිමා කරගැනීමට දකුණු අප්‍රිකානුවන් එදා සමත් විය..

එමෙන්ම ටෙස්ට් තරග 109කට නායකත්වය දී ඉන් තරග 53ක් ජයග්‍රහණය කරා මෙහෙයවූ ස්මිත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම නායකයෙකු ලෙසයි සැලකෙන්නේ. විශිෂ්ටත්වය කරා ග්‍රැහැම් ස්මිත් ආ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ මෙම 2003 එංගලන්ත සංචාරයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<