කවීන් බණ්ඩාරගේ ශතකය බස්නාහිර ජය තහවුරු කරයි

334

කවීන් බණ්ඩාරගේ ලකුණු 144 සවියක් කර ගත් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම, නැගෙනහිර පළාතට එදිරිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (27) සමත් විය. ඊට අමතරව අද දිනය තුල 23න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් ද ආරම්භ විය.

බස්නාහිර උතුරට හා බස්නාහිර දකුණට දැවැන්ත ජයග්‍රහණ

අද (24) අවසන් වූ වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවලින් බස්නාහිර පළාත් උතුර, බස්නාහිර පළාත් දකුණ…

නැගෙනහිර හා බස්නාහිර පළාත් උතුර

B කාණ්ඩයේ තරගයක් ලෙසින් මාතර උයන්වත්ත පිටියේ දී ඊයේ (26) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නැගෙනහිර පළාත් කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

වෞශන්ත ද සිල්වා හැර අනෙකුත් පිතිකරුවන්ට නැගෙනහිර පළාත් පළමු ඉනිම සෑහීමකට පත්විය හැකි මට්ටමකට ඔසවා තැබීමට නොහැකි විය. තුශාර හා බිනුර පිළිවෙළින් කඩුලු 5ක් හා 4ක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ බස්නාහිර පළාත් උතුරු ලකුණු පුවරුවට සවිමත් පදනමක් සකස් කළ දකුණතින් පිත්ත හසුරුවන කවීන් බණ්ඩාර අගනා ලකුණු 144ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. ඔහුට අනගි සහයක් දුන් සාලින්ද උශාන් අර්ධ ශතකයක් වෙත පියමං කිරීමට වාසනාවන්ත විය.

බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම කඩුලු 9ක් දැවී තිබිය දී අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව 282ක් ලෙස දැක්විය. පන්දු යැවීමේ දී සංජික රිද්ම කඩුලු 4යි.

තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නැගෙනහිර පළාත සියල්ලන්ම දැවී ලකුණු 218ක් රැස්කර ගත්තේ, බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමට එක් ලකුණක් තම ජයග්‍රහණය සඳහා ලබා දෙමිනි. එහි දී රමේශ් නිලන්ත ලකුණු 79යි. දුවිඳු තිලකරත්න කඩුලු 5යි.

නැගෙනහිර පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 64 (21.1): වෞශන්ත ද සිල්වා 25, නුවන් තුශාර 5/13, බිනුර ප්‍රනාන්දු 4/26.

බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම – 282/9 dec  (61.1): කවීන් බණ්ඩාර 144, සාලින්ද උශාන් 50, සම්මු අශාන් 29, සංජික රිද්ම 4/50, රමේශ් නිමන්ත 2/56, නිමේෂ් විමුක්ති 2/61.

නැගෙනහිර පළාත දෙවන ඉනිම – 218/10 (51.5): රමේශ් නිලන්ත 79, සචිත ජයතිලක 59, රමිඳු නික්ලේෂල 22, දුවිඳු තිලකරත්න 5/62, බිනුර ප්‍රනාන්දු 3/40.

බස්නාහිර පළාත් උතුර දෙවන ඉනිම – 4/0 (2.2):


පළමු දිනයට පැවැත්වූ තරග

උතුරු පළාත හා උතුරු මැද පළාත

A කාණ්ඩයේ මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් උතුරු පළාත පළමුව පිතිකරණය සඳහා පිටියට පැමිණි අතර, ඔවුන් කොළඹ බ්ලුම්ෆීල්ඩ් තණතීරුව මත සිය පළමු ඉනිමට රැස්කර ගත්තේ ලකුණු 190කි. එහි දී මොහොමඩ් අල්ෆාර් ලකුණු 82යි. පන්දු යැවීමේ දී අකාශ් සේනාරත්න ලකුණු 65ක් තුල කඩුලු 5යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු මැද පළාත තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් රැස්කර ගන්නා ලදි. එහි දී යොහාන් මෙන්ඩිස් ලකුණු 63ක් රැස්කර ගත් අතර, තරගාවලියේ හොඳින් ලකුණු අතර සිටි දිනෙත් තිමෝද්‍ය ලකුණු 34කට දැවී ගියේය. පන්දු යැවීමේ දී වී. ජතුශන් කඩුලු 3යි. ජතුශන් සිය කණ්ඩායමේ පළමු ඉනිමට ලකුණු 23ක් ද එක් කරන ලදි.

උතුරු මැද පළාත උතුරු පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 52ක් පසුපසින් පසුවෙයි.

උතුරු පළාත පළමු ඉනිම – 190/10 (51.5): මොහොමඩ් අල්ෆර් 82, වී. ජතුශන් 23, අකාශ් සේනාරත්න 5/65, සංදීප නිසංසල 2/19.

උතුරු මැද පළාත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 138/7 (36): යොහාන් මෙන්ඩිස් 63, දිනෙත් තිමෝද්‍ය 34, වී. ජතුශන් 3/18, කේ. කපිල්රාජ් 2/39.


බස්නාහිර පළාත් මධ්‍යම හා වයඹ පළාත

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජය ගත් වයඹ පළාත බී. ආර්. සී පිටියේ දී පළමුව පිතිකරණය සඳහා සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය. පළමු දිනය අවසන් වන විට වයඹ පළාත බස්නාහිර පළාත් මධ්‍යම ප්‍රථම ඉනිමට සාපේක්ෂව ලකුණු 76ක් පසුපසින් පසුවෙයි.

හිමාශ ලියනගේ මෙම තරගය තුල ද පිතිකරණයෙන් වැඩි දස්කම් දක්වන ලද්දේ ලකුණු 72ක් වාර්තා කරමිනි. ඔහුට සහයක් වූ ලහිරු විමුක්ති ලකුණු 60යි. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 60ක් තුල කඩුලු 5යි.

දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටින වයඹ පළාත් පළමු ඉනිමට සචින් ජයවර්ධන හා සචින්ත පීරිස් නොදැවී ලකුණු 27*ක් හා ලකුණු 21*ක් එක්කරන ලදි. ලකුණු 38ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට ජනිත ලියනගේ සමත් විය. සහන් නානායක්කාර කඩුලු 2යි.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම – 204/10 (46.1): හිමාශ ලියනගේ 72, ලහිරු විමුක්ති 60, සධීර සමරවික්‍රම 26, තරිඳු රත්නායක 5/60, අසිත ප්‍රනාන්දු 3/52.

වයඹ පළාත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 128/7 (32): සචින් ජයවර්ධන 27*, රුක්ෂාන් ප්‍රනාන්දු 27, ලියෝ ෆැන්සිස්කෝ 26, සචින්ත පීරිස් 21*, ජනිත ලියනගේ 3/38, සහන් නානායක්කාර 2/28.


ඌව පළාත හා දකුණු පළාත

දකුණු පළාත දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 78ක් රැස්කරගත් මෙම තරගය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

පළමුව පිතිකරණය සඳහා උචිත යැයි තීරණය කළ ඌව පළාත කාසියේ වාසිය ජයග්‍රහණය කොට පළමුව පිටියට අවතීර්ණ විය. අවසානයේ දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 198කට සීමා වූ අතර, එහි දී රමේශ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගන්නා ලදි. දක්ෂ පිතිකරණයක නිරත වූ හර්ෂ රාජපක්ෂ ලකුණු 88යි. චරිත් අසලංක හා තිලංග උදේශන කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටින දකුණු පළාත වෙනුවෙන් පසිඳු ඉසිර ලකුණු 35යි. ඔවුන් ඌව පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 120ක් පසුපසින් පසුවෙයි. මෙම තරගය B කාණ්ඩයේ තරගයකි.

ඌව පළාත පළමු ඉනිම – 198/10 (76): හර්ෂ රාජපක්ෂ 88, මීදුම් දිනෙත් 26, රමේශ් මෙන්ඩිස් 4/53, චරිත් අසලංක 2/17, තිලංග උදේශන 2/48.

දකුණු පළාත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 78/3 24): පසිඳු ඉසිර 35.

පළමු දිනය සඳහා පැවැත්වූ තරග තුනේ දෙවන දිනය හෙට (28) ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට