වේල්ස් කුමර ක්‍රීඩකයින්ට පහසු ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

316

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (08) පැවැත්වුණා.

මාතර උයන්වන්ත ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයෙන් මාතර සාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු පහකින් පරදවා ජයග්‍රහණය හිමි කරගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට හැකි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩකයින්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි මාතර සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පන්දුවාර 49.2ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගැනීමට හැකි වුනේ ලකුණු 193ක් පමණයි.

තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තීසඳු සංජාන් ලකුණු 56ක් රැස් කරගැනීමට සමත් වූ අතර නවීන් ද සේරම් ලකුණු 36ක් සහ ප්‍රමුදිත රශ්මික 26ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් රිවිත් ජයසූරිය ලකුණු 21කට කඩුලු 3ක් සහ අචල පෙරේරා ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 194ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩකයින් පන්දුවාර 35.2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුනා.

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉමල්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 61ක් රැස් කරගත්තා. ඔහුට අගනා සහයක් ලබා දුන් ඔමෙත් මෙන්ඩිස්, තරිඳු අමරසිංහ සහ ඔෂාන් මනීශ ලකුණු 31 බැගින් වාර්තා කරගත්තා.

සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් එකම සාර්ථක පන්දු යවන්නා වූ ලෝසිත ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

කෙටි ලකුණු පුවරුව,

සාන්ත තෝමස් විද්‍යාලය – 193 (49.2): තීසඳු සංජාන් 56, නවීන් ද සේරම් 36, ප්‍රමුදිත රශ්මික 26, රිවිත් ජයසූරිය 3/21, අචල පෙරේරා 2/15.

වේල්ස් කුමර විද්‍යාලය – 197/5 (35.2): ඉමල්ක ප්‍රනාන්දු 62*, ඔමෙත් මෙන්ඩිස් 31, තරිඳු අමරසිංහ 31, ඔෂාන් මනීශ 31, ලෝසිත 2/30.

මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩකයින් කඩුලු 5ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<